ධනය ලැබේ නම් බල්ලන්ටත් “තාත්තේ” කියන්නට පොළඹවන තෘෂ්ණාව

ධනය ලැබේ නම් බල්ලන්ටත් "තාත්තේ" කියන්නට පොළඹවන තෘෂ්ණාව

“සල්ලි දෙයියන්ගේ මල්ලී” යනුවෙන් ව්‍යවහාරයක් අපේ ජනවහර තුළ පවතී. “සල්ලි ඇත්නම් මොනවද කරන්න බැරි?” මේ තවත් එවැනිම ප්‍රචලිත කතාවකි. මේ ව්‍යවහාර තුළින් කියවෙන්නේ කුමක්ද? මිනිසාට සැප සම්පත් ළංකර ගැනීමට, ඉසුරුමත් ජීවිත ගත කිරීමට, ජන සමාජය තුළ මහා බලවතුන් වීමට මුදල් මහත්සේ ප්‍රයෝජනවත් වන බවයි. මිනිසුන්ගේ සිත් තුළ සිටින දෙවියන් ඕනෑ දෙයක් කළ හැකි බලවතුන් ය. දෙවියන්ට කළ හැකි දේ සල්ලි වලටත් කළ හැකිය යන අදහස ඇතිව සල්ලි දෙවියන්ගේ මල්ලි යන කථාව ව්‍යවහාර වෙයි.

සත්‍ය වශයෙන්ම සල්ලි යැයි මෙහි සදහන් කළේ මොනවාද? මුදල් යයි කියනුයේද සල්ලිවලටමය. මුදල් හුවමාරු මාධ්‍යයකි. මුදල් දී වෙනත් දේ මිළදී ගත හැකි හෙයිනි. එහෙයින් මුදල් ඇති අයම ධනවත්තු වෙති. ධනවතුන්ට තමන්ගේ සුඛ විහරණයට අවශ්‍ය දේ සපයා ගත හැකි හෙයින් ඔවුහු සැප විදින්නෝ වෙති. එනම් යාන වාහන, ගේ දොර, ඉඩ කඩම්, අතට පයට දැසි දැස්සන්, පමණක් නොව පසිදුරන් සන්තර්පණයට අවශ්‍ය සියලු දෑ අඩුවක් නැතිවම සපයා ගත හැකිය. මේ නිසා සියලුම මනුෂ්‍යයෝ ධනවත් වීමට මහත් කැමැත්තක් දක්වති. ඒ නිසා ධනය සෙවීමට විවිධ උපක්‍රම අනුගමනය කිරීමටද මිනිස්සු පෙළඹෙති.

වර්තමානයේ එදිනෙදා කුලියක් කර ජීවත් වන්නා දිළින්දෙකි. අවංක රජයේ සේවකයාද දිළින්දෙකි. ධර්මානුකූල සාධාරණ වෙළෙන්දා ධනවත් නොවේ. කය වෙහෙසා වැඩ කරන ගොවියාද  ධනවතෙක් නොවේ. එසේනම් මෙකල ධනවත්තු කවුද? මත්පැන්, මත්කුඩු ජාවාරම් කරන්නෝ අසාධාරණ ලෙස පාරිභෝගිකයා ගසා කන වෙළෙන්දෝ කුළියට මිනී මරණ පාතාලයෝ යුද අවි නිපදවන්නෝ හා වෙළදාම් කරන්නෝ ජනතාවගේ ශුභ සිද්ධිය වෙනුවෙන් රජයෙන් වෙන් කරන මුදල් ගසා කන දේශපාලකයෝ කොන්ත්‍රාත්කරුවෝ ධනවතුන් ය. මේ මෙකල ධනවතුන් යැයි පෙනී සිටින අයගේ ධන උපයන මාර්ග වලින් කිහිපයකි.

ධනය තුළින් පසිදුරන් පිනවීමට අවශ්‍ය සියල්ල සපයා ගත හැකි නිසාම මිනිසාට කොතරම් ධනය තිබුණත් සෑහීමක් ද නැත. එහෙයින් කවර අසාධාරණ පිළිවෙතකින් හෝ ධනය ඉපැයීමට පෙළැඹීම ලෝකය තුළ සදාතනික ධර්මයකි. මේ අතර ඇතැමෙක් සාධාරණ ලෙස ධනය උපයති. ලොව වැඩි දෙනෙක් ධනය උපයනුයේ සාධාරණ ලෙස නොවෙති. තෘෂ්ණාව විසින් මෙහෙයවනු ලබන ලෝකය තුළ කුසලාකුසල, පින් පව් පිළිබද තැකීමක් නැත. බුද්ධ කාලීන සමාජය තුළ පවා එබදු අසාධාරණ ධන ඉපැයීම් බහුලව තිබුණු බවට තොරතුරු ඇත. මිනිසුන් මරා දෙවියන් පුදමින් ධනය සෙවීමට ක්‍රියා කළ හොරු පන්සිය දෙනෙක් රහතන් වහන්සේ නමක් මැරීමට ගත් උත්සාහයක් ධම්ම පදයේ එන සංකිච්චි තෙරුන් පිළිබද කථා පුවතකින් කියැවෙයි. සිය පුත් සෝණ තෙරුණ්ගෙන් බණ ඇසීමට ගිය ධනවත් උපාසිකාවක ගෙය බිද මහත් ධනස්කන්ධයක් පැහැර ගැනීමට ක්‍රියා කළ හොරු නවසිය දෙනෙකුගෙන් යුත් සොර මුළක් ගැන ධම්ම පදයේම භික්ඛු වග්ගයේ සදහන් වෙයි.

මේ ආකාරයන් ධනය රැස් කරන අයට කිසිදා ධනය නිසා සැපතක් නම් ලැබේයැයි කිව නොහැක. ඒ බව නොදන්නා නිසාම ධනය සදහා ඇති ආශාව තව තවත් වැඩි වීමෙන් මහත් අපරාධවලට මිනිස්සු පෙළඹෙති. කුමන ආකාරයෙන් ධනය රැස් කළත් ඉන් ලෞකික ජීවිතයේදීවත් ප්‍රයෝජනයක් නොගන්නා දැඩි ලෝභය හෙවත් අභිද්‍යාව ඇති අයද සිටිති. ඔවුහු මසුරෝය. මසුරු බව නිසා තම ධනය තමාද භුක්ති නොවිදී. එයින් දූ දරුවන්ටත් රටට වත් වැඩක් නැත. තමන් සතුටු වන්නේ තමා ධනවතෙකි. සිටුවරයෙකි. කෝටිපතියෙකි. යන ධන මදය තුළිනි. ඔහුගේ ධනය මෙළොවටත් පරලොවටත් වැඩක් නැති එකක්ම වෙයි. දැඩි ලෝභයෙන් රැස් කළ ධනය නිසා තමාටම මහත් විපතක් සිදුකර ගත් සිටුවරයෙකුගේ කථා පුවතක් බුදුන් දවස සැවැත් නුවරින් අසන්නට ලැබෙයි.

ජේතවනාරාමය ආසන්නයේම අසූකෝටියක් ධනය ඇති තෝදෙයිය බමුණෙක් විසීය. ඔහු ධනය ඉපැයීම මිස වියදම් කිරීමට කිසිසේත් කැමති නොවූ තද මසුරෙකි. තමා ධනවතෙකැයි යන හැගීම නිසා ඔහු තුළ මානයක්ද විය. තෝදෙය්ය බමුණු තෙමේ සිය පුතාට නිතර උපදෙස් දුන්නේ ධනය ඉපැයීමට මිස වියදම් කිරීමට නොවේ. “හැකිතරම් ධනය උපයන්න අදුන් උරච්චි කොට (ගලගා) ගාන්නා සේ ඉතා සුළුවෙන් වියදම් කරන්න යනු නිතර පුතාට දුන් උපදේශයයි. මේ දැඩි ලෝහය නිසා හෙතෙම කිසි දිනෙක ජේතවනාරාමයේ වැඩ සිටින බුදුන් වහන්සේ ට හෝ භික්ෂු සංඝයා වහන්සේට දානයක් පිරිනැමුවේ නැත. දන් දීමට අකැමැති නිසාම දෙව්‍‍රම් වෙහෙරට කිසිදා ගියේද නැත. නිතර දෙව්රම් වෙහෙරට යන අය දකින විට උපහාසයෙන් කථා කොට, සිනාසෙයි. බුදුන් වහන්සේටද නිතර නිග්‍රහ කිරීම ඔහුගේ සිරිත විය.

ඔහුට ඇති අසූ කෙලක් ධනය රැක ගැනීම ගැන නිතර සිතූ හෙතෙම සිය පුතුට ද නොදැනෙන සේ වත්තේ හතර කොණම රහසිගතව ධනය නිදන් කොට තැබීය. මහත් ලෝභයෙන් ධනය රැකීම ගැනම සිතමින් සිටි තොදෙය්ය බමුණා හදිසියේම රෝගාතුර වී මිය ගියේය. ධනයට ඇති ලෝභය නිසාම ඔහු එම ගෙදරම සිටි බැල්ලියකගේ කුස තුළ පිළිසිද ගති. බලුපැටවා ඉපදී වැඩෙත්ම බුදුන් වහන්සේ මග වඩින විට බුරන්නටද පටන් ගත්තේය.

එක් දිනක් බුදුන් වහන්සේ බමුණු ගෙදර ඉදිරිපිට පාරේ වඩිනු දුටු බලුපැටවා පාරට දුවගොස් මහ හඩින් බුරන්නට පටන් ගත්තේය. මේ දුටු බුදුන් වහන්සේ බල්ලාට කතා කොට “තෝදෙය්ය, නුඹ ඉස්සර වගේම දැනුත් මට බුරලා පව් සිදු කරගන්නව නේද?”යි ඇසූ සේක. බුදුන් වහන්සේගේ මේ වචන ඇසූ තෝදෙය්යගේ පුත් සුභ බ්‍රාහ්මණයාට මහත් සේ කෝපයක් ඇති විය. ඔහු වහා බුදුන් වහන්සේ වෙතට කඩා පැන උන්වහන්සේට බැණ වැදිණි.

“මේ බලු පැටවාට මගේ පියාගේ නම කියා කතා කළේ ඇයි? ඔබ බුදු කෙනෙක් නොවෙයි. බමුණු වංශයට නිග්‍රහ කරන්න ආ ද්‍රෝහියෙක්”

එවිට බුදුන් වහන්සේ, “සුභ කලබල වෙන්න එපා, මා කියන දේ ටිකක් අහන්න. ඔබේ පියා මෑතකදී මිය ගියාද?” ඇසූ සේක. සුභගේ පිළිතුර වූයේ “ඔව්” යන්නයි.

“එසේ නම් සුභ මේ බලු පැටවා වී ඉපදී සිටින්නේ ඔබේ ඒ මිය ගිය පියාය”යි.

එවිට සුභ අසන්නේ “ඒ මගේ පියා විය නොහැකියි. ඔබට පුලුවන්ද ඒ බව ඔප්පු කර පෙන්වන්න?”

“හොදයි සුභ, ඔබ මේ බලු පැටියා හොදට නාවන්න. ඊට පසු හොදට රසට බඩ පිරෙන්න කෑම දෙන්න. ඉන්පසු සැප පහසු පලසක් මත නිදිකරවා ඇග පිරිමදිමින් ආදරය දක්වන්න. හොදට නින්ද යන විට පුරු පුරු හඩක් නගාවි. එවිට ආදරයෙන් කතාකොට “තාත්තේ, ඔබ අර ධනය සගවා තැබූ නිධාන හතර ඇත්තේ කොතැනදැයි අසන්න”යි බුදුන්වහන්සේ කී සේක.

“හොදයි. මම අදම ඒක කරනවා, යම්කිසි විදියකින් එය වැරදුනොත් ඔබ වංචාකාරයෙක් බව මුළු රටේම ප්‍රචාරය කරනවා” මෙසේ කී සුභගේ යටිසිතේ මහත් සතුටක්ද ඇතිවිය. අසූ කෝටියක් ධනය ලැබේ නම් බල්ලාට තාත්තේ කියන එකත් මහ වැඩක් දැයි සිතූ ඔහු එදිනම බුදුන් වහන්සේ වදාළ ලෙසම බලුපැටියාට කවා පොවා නිදි කරවා “තාත්තේ, අර ඔබ නිදන් කළ ධනය සගවා ඇති තැන් මට කියන්නැ”යි ඉල්ලා සිටියේය. එවිට වහා නැගී සිටි බලි පැටවා දිවගොස් වත්තේ හතර කොන නිදන් ඇති තැන පහුරු ගෑවේය. මේ අනුව ඒ ස්ථාන හාරා බැලූ සුභට සත්‍ය ලෙසම ඒ ස්ථාන වල තිබූ නිධාන මතුකර ගත හැකි විය.

නිම්හිම් නැති අප්‍රමාණ සතුටට පත් සුභ වහ වහා බුදුන් වෙත ගොස් වැද වැටී “ඔබ වහන්සේ සැබෑ බුදුවරයෙක්. ඒ බලු පැටවා මගේ පියා බවත් පිළිගන්නවා. අනේ මට සමාවනු මැනවි. මට තවත් දැන ගන්න දේ තියෙනවා”

“බුදුරජාණන් වහන්ස, ඇයි මිනිසුන් මෙසේ තිරිසන්ව උපදින්නේ? සමහරු පොහොසත්, සමහරු දුප්පත්, සමහරු අඩු වයසින් මිය යනවා, සමහරු බොහෝකල් ජීවත් වෙනවා, සමහරු මෝඩයින් වෙනවා. ලෝකයේ මේ වෙනස්කම් වලට හේතුව පහදා දෙන්නැ”යි කියා සිටියේය.

මෙහිදී බුදුන් වහන්සේ සුභ බ්‍රාහ්මණයාට ධර්මය දේශනා කරමින් පුද්ගලයා විසින් කරනු ලබන හොද හා නරක ක්‍රියාවන්ම අනුව විපාක ලැබෙන බවත්

කල හොද නරක ඔහු පසු පසම ගමන් කරන බවත් ඒ නිසා ලොව මිනිසුන් අතර වෙනස්කම් ඇතිවන බවත් විස්තර කළ සේක. ධර්ම දේශනාව අවසානයේ මහත් ප්‍රසාදයට පත් සුභ තිසරණ සරණ ගිය උපාසකයකු බවට පත්විය.

මේ කථාව තුළින් පැහැදිලි වන වැදගත් කරුණු කීපයකි. අප මුලින් සදහන් කළ පරිදි ධනය හා තෘෂ්ණාව අතර ඇත්තේ දැඩු සබදතාවයකි. තෘෂ්ණාව බලවත් නම් ධනය ලබා ගැනීමට කොතරම් පහත් නීච ක්‍රියාවක් වුවත් කළ හැකි බව එක් කරුණකි. ගෙදර සිටින බලු පැටවාට තම පියාගේ නම යොදා කතා කළ විට සුභ බලවත් කෝපයට පත්වූයේ ඔහු තුළ පැවති මානය හේතුවෙනි. කිසිදා ජේතවනාරාමයට නොගිය බුදු ගුණයක් ගැන අවබෝධයක් නැති ඔහු බුදුන්වහන්සේට තර්ජනය කරන්නට තරම් මානාධික විය. පියා බල්ලෙකුව ඉපිද සිටින බව පිළිගැනීමට ඔහුගේ මානය ඉඩ නොදෙයි. එය තමාද බලු කමට සම්බන්ධ වන හෙයිනි. එහෙත්,ධන නිධාන කිසිදු අපහසුවකින් තොරව ලබා ගැනීමට නම් බල්ලාට “තාත්තේ” යයි කිව යුතු විය. ධනය කෙරෙහි වූ මහත් තෘෂ්ණාව හමුවේ මානය පෑළදොරින් පළාගිය හැටිද පුදුමයි. ධනය ලැබෙන බව හරියටම නොදන්නා ඔහු සැකයෙන් යුතුව වුවද, තාත්තා බලුව උපන්බව පිළිගෙන ගෙදර සිටි බැල්ලියගේ පැටියාට තාත්තේ යයි කීමට පෙළඹුණි. තෘෂ්ණාව ඇතිවිට කළ නොහැකි පහත් වැඩක් තිබේදැයි මොහොතකට සිතන්න.

තෝදෙය්ය බමුණාට තෘෂ්ණාව සමගම තිබුණේ මහත් වූ මසුරුකමකි. ඔහු දනක් පිනක් කළේ නැත්තේ එහෙයිනි. ධනය රැකීම ඔහුගේ මහත් වූ ආශාව විය. මරණ මොහොතේදී ද එම බලවත් ආශාවම ඉදිරියට පැමිණි හෙයින් ධනය රකින්නට ඒ නිවසේම බලුව ඉපැදීමට තෝදෙය්ය බමුණාට සිදුවිය. අසූ කෙළක් ධනය වියදම් කොට ඔහු ලබා ගත්තේ බලු උපතකි. තෘෂ්ණාව, මසුරුකම හා මානය සමග එක්වූ අවිද්‍යාව තුළ ගිලුණු ජීවිත වලට මරණයෙන් මතු තිරිසන් යෝනියන්හි ඉපැදීම හැර සුගතියක් නම් නැති බව අවධාරණය කළ යුතු කරුණකි.

ධනය ඉපැයීම නුසුදුසු දෙයක්ද? නොකල යුතු දෙයක්ද? නැත. තෝදෙය්ය බමුණා මෙන්ම අනේපිඩු සිටුතුමාද සිටියේ සැවැත්නුවරමය. සාධාරණව ධනය ඉපැයූ ඔහුද මහ ධනවතෙකි. බුදුන් වහන්සේගේ ධර්මය අසා උපාසකයකු වූ හෙතෙම මසුරන්මය ධනය පමණක් නොව මසුරන් වලින් මිළ කල නොහැකි ලොව චක්‍රවර්ති රාජ්‍යයද අභිබවා යන උතුම් සැපත නම් වූ නිවනට උල්පත වූ, අචල ශ්‍රද්ධාව නැමැති මහා ධනය (සද්ධා ධනං) වන සෝතාපන්න භාවයටද හිමිකරුවෙක් විය. නොමසුරුවද, ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුතුවද පණස් කෝටියක් ධනය වියදම් කොට ජේතවනාරාම භූමිය මිළට ගෙන, උපයන සියලු ධනය වැය කරමින් ජේතවන විහාරය ඉදිකොට, ජීවිත කාලය මුළුල්ලේ බුදුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ව්නුවෙන් දානාදී සිවුපසයෙන් උපස්ථාන කොට, මුදල්මය ධනයෙන් දිළින්දෙකු වුවත් අවසානයේ ජීවිතය හැරපියා ගොස් මහත් දිව්‍ය සම්පත් භුක්ති විදින්නේ ස්ථිර වශයෙන්ම පරම ශාන්ත වූ නිවන් සම්පත්ද ලබනු ඇත.

පියාගේ මසුරු බව කෙසේ වෙතත් පෙර පින් ඇති හෙයින් බුදුන්වහන්සේගෙන් ධර්මය අසන්නට වාසනාව තිබූ සුභ ගේද නිවන් දොරටු විවෘත විය. එහෙත් ඉතින්  තෝදෙය්ය?….. ධනය…. හොදට හොදයි… නරකට නරකයි. ධනය, හොදට හොදයි…. නරකට නරකයි!

අයි. ඩබ්ලිව්. ආයුපාල

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *