“ආනන්දයෙනි, පාරාසරිය බ්‍රාහ්මණයා තම ශ්‍රාවකයන්ට ඇසින් රූප නොබැලිය යුතුය. කණින් ශබ්ද නොඇසිය යුතු යැයි ඉන්ද්‍රිය භාවනාවක් උගන්වති. ඒ අනුව රූප නොපෙනෙන අන්ධයාත්, ශබ්ද නොඇසෙන බිහිරාත් ඉන්ද්‍රිය භාවනාව වඩන්නෙකි. පාරාසරීය බ්‍රාහ්මණයා උගන්වන ඉන්ද්‍රිය භාවනාව එක විදිහක්. මා උගන්වන භාවනාව තවත් විදිහක් යයි බුදුහු වදාළහ. එවිට අනද හිමි ඔබ වහන්සේ උගන්වන ඉන්ද්‍රිය භාවනාව කෙසේදැයි කියාදෙනු මැනවයි බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියේය. ආනන්දයෙනි,මේ සස්නෙහි මහණ වී සිටින භික්ෂුවක් රූපයක් දැක සතුටු වෙයි. නැත්නම් අසතුටු වෙයි. එසේත් නැත්නම් සතුටු – අසතුටු දෙකම හෙවත් මැදහත් වෙයි. උපේක්ෂා වෙයි. ඒ භික්ෂුව තම සිතේ සතුටක් ඇතිවිය. නැතහොත් අසතුටක් ඇතිවිය. එසේත් නැත්නම් මැදහත් බවක් ඇතිවී යයි දැනගනියි. දැනගෙන ඒ රූපාරම්මණයෙහි ඇලීමෙන් හෝ ගැටීමෙන් හෝ මුළාවීමෙන් හෝ සිත කිලුටු වීමට ඉඩ නොදී ත්‍රිලක්ෂණ ( අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) මෙනෙහි කරමින් සිත මැදහත්ව තබා ගනී. ඒ මනාප අමනාපයන් හේතූන්ගෙන් හටගත් බැවින් වෙනස්වන සුළුය. ඕලාරිකය, අනිත්‍ය සමුත්පන්න යයි මෙනෙහි කරයි. විදර්ශනා උපේක්ෂාවෙහි සිත පිහිටුවා ගනියි. ඇස් ඇත්තෙක් ක්ෂණයකින් ඇහි පිය හැර ක්ෂණයකින් ඇහි පිය වසන්නේද එසේම යමෙකුට රූපයන් දැක ඇතිවන මනාප අමනාප හා වැදගත් බව ක්ෂණයකින් නිරුද්ධ වේද විදර්ශනා උපේක්ෂාව සිත් හි පිහිටාද එය රූපාරම්මණ විෂයෙහි ඉන්ද්‍රිය භාවනාව යැයි මම කියමි.
කණින් ඇසෙන ශබ්දයෙහි ද, නැහැයෙන් ඉව දැනෙන ගන්ධයෙහිද, දිවෙන් දැනෙන රසයෙහිද, කයින් දැනෙන ස්පර්ශයෙහිද, මනසින් දැනෙන ධම්මාරම්මණයෙහිද අනුත්තර ඉන්ද්‍රිය භාවනාව මේ ලෙසින්ම දත යුතුයි.
ඇස් කන් නාසාදී ඉන්ද්‍රිය හයට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, ආදී ආරම්මණ හය නිසා හිතේ ඇතිවන මනාප අමනාපයන් අනිත්‍ය- දුක්ඛ- අනාත්ම වශයෙන් බලමින් ක්ෂණයකින් විදර්ශනා උපේක්ෂාව ඇතිකරගත හැකිනම් එය බුදු සස්නෙහි උගන්වන අනුත්තර ඉන්ද්‍රිය භාවනාවයි.
ආනන්දයෙහි, යම්කිසි භික්ෂුවකට ඇසින් රූපයක් දැක, කණින් ශබ්දයක් අසා නාසයෙන් ගදක් ආඝ්‍රාණය කොට, දිවෙන් රසක් දැන, ශරීරයෙන් ස්පර්ශයක් ලබා, මනසින් අරමුණක් දැන, ඇතිකරගන්නා සතුටක් අසතුටක් හා වැදගත් බවක් වෙයි නම්, එයින් ඒ භික්ෂුව පීඩිත වෙයිද ලජ්ජාවට පත්වෙයිද පිළිකුල් කෙරෙයිද එය සෙබපටිපදාවයි.
ආනන්දයෙනි, ඉතා උතුම් ඉන්ද්‍රිය භාවනාවයි. මා විසින් මේ දේශනා කළේ හිතවත් වූ, අනුකම්පාව ඇති, ශාස්තෘවරයකු විසින් තම ශ්‍රාවකයන්ට අනුකම්පාවෙන් යමක් කළ යුතු නම් එය මා විසින් ඔබට කරන ලදී. ආනන්දයෙනි,
ඒතානි ආනන්ද රුක්ඛමුලානි
ඒතානි සුඤ්ඤාගාරානි
ඣායථානන්ද මාපමාදත්ථ
මා පච්ජාවිප්පටිසාරීනො අහුවත්ථ
අයංවො අම්භාතං අනුසාසනා
මේ තියෙන්නේ ගස් මුල්, මේ තියෙන්නේ ශූන්‍යාගාර, ධ්‍යානවඩන්න, ප්‍රමාදවෙන්න එපා. පසුව පසුතැවිලි වෙන්න එපා. මෙය තමයි ඔබට මගේ අනුශාසනාව. යයි බුදුන් වහන්සේ අනද හිමියන්ට පැවසූහ. අනද හිමි මේ බුදු වදන් ඉතා සතුටින් පිළිගත්තේය.
(ඉන්ද්‍රිය භාවනා සූත්‍රය – මජ්ධිම නිකාය)