බුදු වදනින් යකු දැමුණේ කිම ඔබ තවම නොදැමුණේ

බුදු වදනින් යකු දැමුණේ කිම ඔබ තවම නොදැමුණේ

“කිංශූද චිත්තං පුරිසස්ස සෙට්ඨං

  කිංශූ සුචින්නෝ සුඛමාව හාති

 කිංශූ හවේ සාදු හරං රසානං

 කතං ජිවිං ජිවිතමාහු සෙට්ඨං

 සද්ධීය චිත්තං පුරිසස්ස සෙට්ඨං

 ධම්මෝ සුචිණ්ණෝ සුඛ මාවහාති

  සච්චං හවේ සාදු හරං රසානං

  පඤ්ඤා ජීවිතං ජිවිත මාහු සෙට්ඨං”

ඉහත සදහන් ගාථා දෙක අප බොහෝ දෙනෙකුට අසා හුරු පුරුදු ආලවක සූත්‍රයේ සදහන් වන්නකි. මින් පළමුවැන්න යක්ෂයා විසින් බුදුන් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්න කිහිපයකි. එනම්… මෙලොව උපන් මිනිසාට ඇති ලොකුම දැහැමි ම ශ්‍රේෂ්ඨතම සම්පත්තිය කුමක්ද? කුමන දෙයක් පුරුදු පුහුණු කිරීමෙන් ලොවේ ලොව්තුරු සැප ලැබේද? ලෝකයේ ඇති රස අතුරින් මිහිරිම රසය කුමක්ද? ජීවත් වීම අතුරින් උතුම්ම ජීවත් වීම කුමක්ද? යන්නයි.

අප තිලෝගුරු අමා මෑණි බුදු පියාණන් වහන්සේ ඊට පිළිතුරු දෙමින් “යක්ෂය… මිනිසාට ඇති උතුම්ම සම්පත්තිය ශ්‍රද්ධාවයි. මනසේ පුරුදු පුහුණු කළ ධර්මය ලොවේ ලොව්තුරු සැප ලබාදෙයි. ලොව මිහිරිම රසය සත්‍ය රසයයි. ජීවත් වීම අතුරින් උතුම්ම ජීවත් වීම ප්‍රඥාවන්තව ජීවත්වීමයි.” යනුවෙන් වදාළ සේක.

අපගේ බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලා වදාරන අවස්ථාවේ ආලවක යකු බුදු ඇසට පෙනී ගිය නිසාත් මේ ගමනින් බොහෝ දෙනෙකුට හිත සුව සැලසෙන නිසාත්, බුදුන් වහන්සේ බොහෝ දුරක් ගෙවා අලවි පුරයට වැඩි සේක. එසේ වැඩ වදාරා අලෙවි යකුගේ මැදුරට පිවිස ඔහුගේ අසුනෙහි වැඩ සිටිනු දුටු යක්ෂයාගේ මුරකරු වන ගදුභ වෙව්ලා ගියේය. ඉක්මනින්ම යකු සොයා ගොස් මේ පුවත සැල කළ සිටියෝය. යක්ෂයාගේ කෝපය නිම් හිම් නැති විය. මොහු එක්වරම නොමරා වද දී පසුව මරමියි සිතූ යකු බුදුන් වහන්සේ ඇවිදුවා වෙහෙස කරවන්නට සිතා ගෙන ‘නික්ඛම සමණ’ යයි ගර්ජනා කළේය. බුදුන් වහන්සේ වැඩිහිටියෙකුගේ අණට කීකරු වන කුඩා දරුවකු සේ නිවසින් බැහැරට වැඩි සේක. “පවිස සමණ” යනුවෙන් නැවත ගර්ජනා කරනු ඇසුණි. බුදුන් වහන්සේ නැවතත් නිවස තුළට පිවිසි සේක. තෙවරක්ම මෙසේ නික්මීම හා පිවිසීම සිදු වූ අතර සිව්වැනිවර  බුදුන් වහන්සේ යක්ෂයාගේ අණට කීකරු නොවූ සේක. “යක්ෂය නුඹට කැමැත්තක් කරන්න. මම මෙතනින් නොසෙල්වෙමි.”යි බුදුන් වහන්සේ සිංහ නාද කළ සේක.

මදක් කල්පනා කළ යකුට මේ අවස්ථාවේ අගනා අදහසක් පහළ විය. තම යක්ෂ පරම්පරාවෙන් පැවත ආ එහෙත් කිසිවෙකුටත් තවම පිළිතුරු සොයා ගැන්මට අපොහොසත් වූ ප්‍රශ්ණාවලියක් ඔහුට සිහිපත් විය. ප්‍රශ්න අසා ශ්‍රමණ භවත් ගෞතමයන් වෙහෙසට පත් කරවමියි සිතා මෙසේ පැවසුවේය.

“ශ්‍රමණ භවත් ගෞතමය මම නුඹෙන් ප්‍රශ්ණ කිහිපයක් අසමි. ඒවාට පිළිතුරු දීමට නොහැකි වුවහොත් මම නුඹගේ හදවත පලමි. සිත අවුල් කරමි. කකුල් කෙටි දෙකෙන් අල්ලා පරසක්වල ගසමි.”යි යක්ෂයා ගර්ජනා කළේය.

අපගේ අමා මෑණී බුදු පියාණන් වහන්සේ සන්සුන් වදනින් යුක්තව “යක්ෂය දෙවියන්, මරුන්, බ්‍රහ්මයින් සහිත මේ කිසිවෙක් තථා ගත හදවත පළන්නට හෝ තථාගත සිත පෙළන්නට හෝ දෙකකුලින් අල්ලා පරසක්වල ගසන්නට හෝ සමතෙකු ඇතැයි මම නොදනිමි. ප්‍රශ්ණයක් ඇත්නම් අසන්න මා එයට පිළිතුරු දෙන්නම්” යනුවෙන් පැවසූ සේක. ඊට පසු යක්ෂයා විසින් මා ඉහතින් සදහන් කළ ගාථාව විචාරණ ලදින් බුදුන් වහන්සේ ඊට දුන් පිළිතුරු එහි දෙවෙනි ගාථාවෙන් දැක්වේ.

කෙසේ වෙතත් ආලවක යකුගේ ප්‍රශ්ණාවලියට පිළිතුරු දී අවසාන වන විටම යකු දමනය වී තිබුණි. ආලවක සූත්‍රයේ ඇතුළත් වන මේ කරුණු අපේ ජීවිතයට වැදගත් වන්නේ කෙසේ දැයි බැලිය යුතුය. මිනිසාට ඇති සම්පත් අතර සවිඥානක වූත් අවිඥානක වූත් සම්පත් ඇත. දූ දරුවන් ද ඉන් ප්‍රධානය. ඒවායින් මේ ලෝකය තුළ අපේ ජීවිත සැපවත් වෙයි. එහෙත් ඉන් එහා කිසිවක් කළ නොහැකිය. ඊටත් වඩා වටිනා සම්පත්තියක් අප තුළ ඇත. ඒ ශ්‍රද්ධාවයි. එනම් ත්‍රිවිධ රත්නය පිළිබද අප තුළ පහළවන අකලංක අචල විශ්වාසයයි. මින්ද අමූලිකා ශ්‍රද්ධාව නොව ආකාරවතී ශ්‍රද්ධාවම ශ්‍රේෂ්ඨ වන්නේය. එනම් බුදුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය ආර්යය සංඝ රත්නය කෙබදුද යන්න යම් තරමින් හෝ වටහාගෙන ක්‍රියා කරයි නම් එය ආකාරවතී ශ්‍රද්ධාවයි. යම් ස්ත්‍රීයක වේවා. පුරුෂයකු වේවා. ගිහියෙකු වේවා. පැවිද්දෙකු වේවා. තථාගත සම්මා සම්බෝධිය විශ්වාස කරයි නම් අරහං සම්මා සම්බුද්ධාදී නව අරහාදී බුදු ගුණ දැනගෙන බුදුන් වහන්සේ පිළිබද විශ්වාසය ඇති කර ගනී නම් ඒ තුළ ඇත්තේ අප්‍රමාණ සැනසිල්ලකි. ධර්ම රත්නය හා ආර්යය සංඝ රත්නයද ගුණ වශයෙන් ගෙන මෙනෙහි කරන විට ඇති වන ශ්‍රද්ධාවද එලෙසමය.

තවද ශ්‍රද්ධාවේ ප්‍රභේද කිහිපයකි.

  • සම්පාදන ශ්‍රද්ධාව:- යමෙකුගේ ඇතිවන පැහැදීමයි. කෙලෙස් මළ ඈත් වන්නේ ශ්‍රද්ධාව තුළිනි. තෙරුවන් ගුණ සිහි කිරීමේදීද දාන, සීල, භාවනාදී ක්‍රියා තුළින්ද මේ ශ්‍රද්ධාව ඇති වේ.

  • සම්පක්ඛන්ධන ශ්‍රද්ධාව:- මේ ඉහත ශ්‍රද්ධාවට වඩා දියුණු වූ එකකි. උදාහරණයක් ගතහොත් යම් පිරිසක් ගගකින් එතෙර වීමට පැමිණි අවස්ථාවක ඒ ගගේ නපුරු තැන් නිසා ගොඩ විය නොහැකිව සිටින විට ධිර වීර පුරුෂයකු කඩුවක් අතින් ගෙන පැමිණ නපුරු සතුන් විනාශ කර පිරිස එගොඩ කරන්නාක් මෙන් බාධක කරදර මධ්‍යයේ තමා බලාපොරොත්තු වූ යම් උතුම් දාන, ශීල, භාවනා පිංකමක් සපුරා ගත් විට ඇතිවන ශ්‍රද්ධාවයි.

  • ඕකප්පන ශ්‍රද්ධාව:- සෝවාන් ආදී මග ඵල ලාභීන් ළග ඇති නොසෙල්වෙන ශ්‍රද්ධාවයි.

  • ආගම ශ්‍රද්ධාව:- බුදු බව පතන බෝසත්වරුන් විසින් ඇති කරගන්නා ශ්‍රද්ධාවයි.

  • අධිගම ශ්‍රද්ධාව:- අරහත් මාර්ගය තුළදී ඇතිවන උතුම් ශ්‍රද්ධා සම්පත්තියයි.

ආලවක යකුගේ දෙවෙනි පැනයට පිළිතුරු සපයන බුදුන් වහන්සේ ලොව්තුරා සැප ලබා දෙන එකම දේ ධර්මය පුරුදු පුහුණු කිරීම බව දේශනා කළ සේක. දස කුසල ධර්ම මෙහිදී වැදගත් වේ. සිතින් කයින් වචනයෙන් සිදු කරන දස කුසල් මේ ගණයට වැටේ. එනම් ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිච්ඡාචාරයෙන් වැලකී පිසුණාවාචයෙන් පරුසාවාචයෙන් මුසාවාදයෙන් සම්පප්‍රලාපයෙන් වැලකී අභිඥාවෙන්, ව්‍යාපාදයෙන්, මිථ්‍යාදෘෂ්ටියෙන් වැලකී තුන් දොර සංවර කර ගැනීමයි. සම්මා දිට්ඨියෙන් යුක්තව ධම්ම චරියාවේ නියුතු වීමෙන් ලොව්තුරා සැප ඇති වේ. මරණින් මතු සුගතිගාමී වේ. නිවනට හේතු වේ.

ලොව මිහිරිම රසය සත්‍ය රසය බව බුදුන් වහන්සේ වදාළ සේක. දිවට දැනෙන රස කිහිපයක් ඇතත් මෙහිදී දේශනා කර ඇත්තේ එවැනි රස නොවේ. මනස තුළට දැනෙන උතුම්ම රසය සත්‍ය රසයයි. සත්‍යවාදී බව ජීවිතයක් තුළ ඇති වටිනාම ගුණාංගයකි. බොරුව මුසාව කියයි නම් ඒ කෙනාගෙන් ලජ්ජාව බිය ඈත් වේ.

“ඒකං ධම්මං අතීතස්ස- මුසාවාදිස්ස ජන්තුනෝ

විතිණ්ණ පරලෝකස්ස- නත්ථි පාපං අකාරියං”

සත්‍ය නමැති ධර්මය ඉක්මවා පරලොව පිළිබද තැකීමක් නැති මුසාවාද සංඛාත අයට් නොකළ හැකි පවක් නැත යන්න එහි අරුතයි.

ගෞතම බෝසතුන්ද පාරමී පුරන අවධියේ පෘතග්ජන ස්වභාවය තුළින් යම් යම් පාප කර්ම කළද සත්‍යවාදී බව සුරැකි බව බුදුන් වහන්සේ ම ඉතා උසස් ලෙස දේශනා කර ඇත. එසේ නම් බුද්ධ ශ්‍රාවක අපද සත්‍යවාදී ජීවිතයක් ගත කළ යුතුව ඇත.

සිව්වැනි පැනයට පිළිතුරු ලෙස ජීවත් වීමේදී ශ්‍රේෂ්ඨම ජීවිතය නම් නුවණින් ජීවත් වීමයි. එවිට යථාර්තය වටහා ගත හැක. මෙය ගිහි පැවිදි කාටත් පොදුය. පංචශීලයද මැනවින් රකිමින් දාන සීල භාවනාදී උතුම් පිංකම් වල යෙදෙමින් නුවණින් ජීවත් වේ නම් එය වටී. පැවිදි අයෙකු නම් ශීලාදී ගුණය රකිමින් ජීවත් වීම නැණවත් පැවිදි ජීවිතයකි. මේ සමාජයේ ජීවත් වන මිනිසුන් එක් ආකාරයකට කොටස් තුනකට බෙදිය හැකි බව බුදුන් වහන්සේ වදාළ සේක. එනම් ඒකචක්ඛු, ද්වීචක්ඛු හා අන්ධ අයයි. අන්ධයාට කිසිදා ආලෝකයක් දැකිය නොහැක. තමා ලබාගත් මනුස්ස දිවිය වටිනාකමින් තොරව මෙලොව පරලොව දෙකම විනාශ කරගන්න අය මේ ගණයට වැටේ.

එකැස් ඇත්තා මෙලොව ගැන පමණක් අවධානය දක්වයි. මොලොව ජීවිතය යහපත් කර ගනු වස් ලැබුණු ලෞකික ජීවිතය සැපෙන් ගත කිරීමට පමණක්ම සිතයි. ඒ සදහා ඕනෑම නරකක් කිරීමට පෙළඹෙයි. ආර්ථික දියුණුව පිළිබදව පමණක්ම සිතන මොවුනට පරලොවක් පිළිබද කිසිදු වගක් නැත.

ද්වීචක්ඛු නම් ඇස් දෙකම පෙනෙන තැනැත්තායි. හෙතෙම දෙලොවම සුවපත් කර ගැනීමට වෙහෙස වෙයි. නිරතුරුව මේ ලබා ගත මනුස්ස දිවියේ වටිනා කම අවබෝධ කරගෙන දාන සීල භාවනාදී උතුම් ක්‍රියාවලියේ යෙදේ. බුදුන් වහන්සේ තමෝ තම පරායන සූත්‍රයේ දී “ජෝති ජෝති පරායන” ලෙස හදුන්වා ඇත්තේ දියුණුවෙන් දියුණුවට (ආලෝකයෙන් ආලෝකයට) ගමන් කරන මෙවැන්නන්ම ය.

අලෙවි යකු බුදුන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන විටම යකු දමනය විය. එහෙත් අප බෞද්ධ ජනතාව මේ කරුණු කෙතරම් දුරට තම අවධානයට අවබෝධයට ලක් කරන්නේද යන්න සැක සහිතය. යක්ෂාධිපතියකුගේ සිතක් දමනය කිරීමට සමත් වූ ඒ දහම් බිදකින් අපේ බොදු බැතියෙකුගේ නොදැමුණු සිතක් දමනය නොවන්නේ ඇයි? දැයි අප අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්ණයකි. එය එසේ වුවත් ප්‍රඥා බුද්ධි සම්පන්න ශ්‍රද්ධාවන්ත පිංවතුන් සදහා නිවන් දොර විවර වේවා…! යන්න මාගේ නිමල පැතුමයි.

බී. එම්. පියලතා

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *