බුද්ධං සරණං ගඡ්ඡාමි

බුද්ධං සරණං ගඡ්ඡාමි

“අනේ” අපි මොනතරම් හොදට ඉන්නවාද? කාටවත් කරදර කරන්නේ නැහැ. පන්සල් යනවා. සිල් සමාදන් වෙනවා. උදේ හවස බුදුන් වදිනවා. ඒත්… කෝ සැපක්. යන්තම් එදා වේල ගැට ගහගන්නවා විතරයි. නරක වැඩ කරන මිනිස්සු හොදට ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන සැපසේ ජීවත් වෙනවා. මෙහෙම කියමින් පසුතැවිලි වන කී දෙනෙක් අපට මුණ ගැහෙනවාද?

නොයෙක් වැරදි වැඩ කරන අය සැපවත් වූයේ ඔවුන් පෙර කළ කුසල කර්මවල විපාක වශයෙනි. එහෙත් ඒ කුසල කර්මයන් නිමාවුණු පසු ඔවුන්ට වෙන දේ ඔබටත් මටත් කිව නොහැක.

බලන්න… සුනාමිය පැවති අවස්ථාවේදී සුනාමිය නැති ප්‍රදේශවල අය පවා එයට බිලිවූ අයුරු. ඔවුන් කුමක් හෝ හේතුවක් නිසා ඒ දිනයේදී මෙම ප්‍රදේශයට පැමිණියා. එහෙත් සුනාමිය පැවති ප්‍රදේශවල සමහර අය එම විපතින් බේරුණේ දෛවයේ හාස්කමක් ලෙසිනුයි. කර්මය තමා පසුපස එනවිට එයින් බේරෙන්නට සිවුරග සේනා පිරීරාගෙන සිටියත් එයින් අත්මිදෙන්නට නොහැකි බව මේ පුංචි කතාවෙන් පැහැදිලි වේ.

“ඉස්සර කාලයේ තමන්ගේ මිය ගිය ඥාතීන්ට පින්දීමට යම් කිසි සතෙකුගේ බෙල්ල කපා බිලි පූජා කිරීම එකල පැවති සිරිතක් තිබුණා. දිසාපාමොක් ආචාර්‍යවරයාද තමාගේ මිය ගිය ඥාතීන්ට පින් දීමට සිතා බිලි පූජා පිණිස බැටළුවෙකු සොයා ගත්තා. ඉන්පසුව බිලි පූජා දිනයේදී සියළුම දේ සූදානම් කර මේ බැටළුවාගේ ගෙලේ රත් මල් මාලයක් පැළැන්දුවා. අතින් කඩු අමෝරාත් වධකයාද තම වාරය එන තෙක් බලා සිටියා. මේ අවස්ථාවේදී බිළි පූජාවට ගෙනා බැටළුවා එක වාරයකදී හැඩුවා. තවත් විටක සිනහ වුණා. මවිතයට පත් වූ දිසාපාමොක් ආචාර්යවරයා ඇයි ඔබ එක් විටකදී හැඩුවේ? තවත් විටකදී සිනාසුණේ කියා. බැටළුවා කිවුවා සිනහ වුණේ පෙර ආත්මයකදී මා ඔබ වගේම බිළි පූජාවන් සදහා සතුන්ගේ බෙල්ල කපා දැමුවා. ඒ පාප කර්මය නිසා ආත්ම ගණනකදී සිය දහස් වාරයක් මම ගෙල කැපුම් ලැබුවා. අද තමයි මගේ හිස් ගැසුම් කන අවසාන දිනය. අදින් පසු මගේ කර්මය අවසානයි. ඒ නිසයි මා සිනහ වුණේ.

එහෙත් මා හැඩුවේ මගේ බෙල්ල කපන ඔබ මා වගේ ආත්ම ගණනක් හිස ගැසුම් කන්නට සිදු වෙනවා. ඒ නිසා දුක හිතුනා යනුවෙන් බැටළුවා පැවසුවා. එය දිසාපාමොක් ඇදුරු තුමා ඇතුළු පිරිස බයෙන් වෙවුලා ගියා. එසේ නම් මේ මොහොතේදී මා ඔබව මරණයෙන් නිදහස් කළ ඔබට අභය ධානය දෙනවා යනුවෙන් පැවසූ විට, මට අභය ධානය දී නිදහස් කරන්නට එපා. මාගේ ගෙල සිද දමන්න. ඔබ මෙය කළත් නොකළත් මට අද මේ කර්ම විපාකය සිදුවනවා යැයි බැටළුවා පැවසුවා. බෑ….බෑ… ඔබව මම අද කෙසේ හෝ ආරක්ෂා කරනවා. යනුවෙන් පවසා ගෙලේ බැදි රතු මල් මාලය ගලවා දමා තම පිරිසත් සමග දිසාපාමොක් ඇදුරු තුමා තම නිවසට යාමට නික්මුණා. මේ යන අතරමගදී ගල් තලාවක් අභියසදී හොදට වැඩුණු තණ පදුරක් දුටු බැටළුවා එය කන්නට වුණා. දිසාපාමොක් ඇදුරු තුමා ඇතුළු පිරිසත් පසෙකට වී ගිමන් හැරියා. තණ කමින් සිටි බැටළුවා ගල් තලාවෙහි තවත් තැනක තිබුණු තවත් හොදින් වැඩුණු තණකොළ ටිකක් දැක ඒවා කෑම සදහා තම බෙල්ල දිගු කළා විතරයි. මහ හයියෙන් අකුණු සැරයක් ගල මතට වැටී එයින් කැඩුණු ගල් පතුරක් බැටළුවාගේ බෙල්ලේ වැදී බෙල්ල කැපී ගෙන ගොස් බැටළුවා මැරී වැටුණා. ඒ දුටු දිසාපාමොක් ඇදුරු තුමා හා පිරිස භයෙන් ත්‍රස්ත වී එතනින් ඉක්මනට පිටව ගියහ.

බලන්න. කර්මය තමා පසුපස එන්නේ නොසිතූ මොහොතක බව වැටහෙනවා නේද? ඒ නිසා පින්වත් ඔබ අතීතයේදී කළ අකුසල් ගැන මෙනෙහි කරමින් දුක් වෙනවාට වඩා අනාගතය ගැන සිතා පින්දහම් කරන්න. අනුන්ගේ සැපත් දෙස බලා ඊර්ෂ්‍යා කරනවා වෙනුවට තමන්ට ලැබුණු දෙයින් සතුටු වීම තමන්ගේ සැපයට හේතු වේ.

ඔබ ඔබේ දරුවන්ට මොළය වැඩෙන්නට සිරුර සවි ශක්තිය ලැබෙන්නට කියා ගව මස්, පීකිදු, ඌරු මස්, කුකුල් මස්, ආදිය ආහාරයට දෙනවා. එසේ නම් මදක් සිතන්න. ගවයා ආහාරය්ටා ගන්නේ තණකොළ, ඌරා ආහාරයට සර්පයින්, පණුවන්, අසූචි. කුකුලා ආහාරයට ගන්නේ කුණු රොඩු වල සිටින පණුවන්, අහක දාන පොල්කටු ආදිය. එසේ නම් එම සතුන්ට මොන තරම් මොළයක් තිබෙන්නට ඕනෑද? ඒ සතුන් ඔවුන්ගේ ශරීරය ඔබට මස් කෑම සදහා සතුටින් දන් දෙනවාද? ඔවුන් මරණ බයින් කෑගසමින් එහෙ මෙහෙ දුව පනිමින් තම ජීවිතය බේරා ගැනීම සදහා මොනතරමක් සටනක යෙදෙනවාද? රස තෘෂ්ණාව නිසා තව සතෙකුගේ ප්‍රාණයක් නැති කිරීම මොන තරම් පාප කර්මයක්ද?

නිර්මාංශ ආහාර ගනිමින් මහා යෝධයන් මෙන් වැඩ කරන උතුම් මිනිසුන් මේ මිහිතලයේ අදටත් වැඩ වාසය කරති. එවැනි ශ්‍රේෂ්ඨ උත්තමයන්ට දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබෙන බව සත්‍ය කරුණකි. ඔබත් සියළු අකුසල කර්මයෙන් මිදී යහපත් ජීවිතයක් ගත කරන්න අදම අධිෂ්ඨාන කරන්න. එවිට ඔබේ හෙට දිනය ලස්සන වේවි. ප්‍රාර්ථනා ඉටුවේවි. උතුම් බුද්ධ සභා මණ්ඩපයක ඔබටත් දොර ඇරේවි. තෙරුවන් සරණයි.

එච්. ඩී. සුසිලාවතී

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *