බ්‍රහ්ම විහාර නිවනට හේතුවන ධර්මතාවයක් නම් සමතයේ හෝ විදසුන් මගින් අධ්‍යයනය කරන්නට කමටහන් ලෙස පවතීද?

බ්‍රහ්ම විහාර නිවනට හේතුවන ධර්මතාවය

උතුම් නිවන පසක් කරගන්නට නම් නාම රූප දහම තුළ පවතින්නා වූ යථා ස්වභාවය තුළින් ජීවී, අජීවී, සචේතනික, අචේතනික ධර්මතාවයන් මැනවින් සිත තුළ අවබෝධ විය යුතුමය. විශ්වය තුළ සක්වලක් සක්වල තුළ ලෝකයක්, ලෝකය තුළ සත්වයෙක්, සත්වයා තුළ ධර්මතාවයක් දකිමින් විශ්වයේ පොදු යථාර්තයට ගළපා ගත යුතුමය. ඒ සූක්ෂම ක්‍රමය හැදෑරීම තුළ නිවන දකින්වා හැරෙන්නට පොතක පතක ඇති ගාථාවක්, සූත්‍රයක් කට පාඩම් කරගත් පමණින් හෝ තමන් සිහිනෙන් මග ඵල ලබනවා දැකුමින් විශ්වයේ පොදු යථාර්තයට ප්‍රවිශ්ඨ විය නොහැකිමය. විශ්වයේ පොදු යථාර්තය නම් වූ “නිවන” පින් සිත තුළ අවබෝධයෙන් හසු කරගනිමින් සසර දුක නිවීමට කැමති පුද්ගලයා විසින් තමන් නිර්මාණය වී ඇති අයුරු දකිමින් ලෝක නිර්මාණයත්, ලෝක නිර්මාණය දකිමින් සක්වල නිර්මාණය වී ඇති අයුරුත්, සක්වල නිර්මාණය වී ඇති අයුරු දකිමින් විශ්ව නිර්මාණයත් අවබෝධ කරගත යුතුමය. ඒ සදහා පිළිපැදිය යුතු ධර්මතාවයන් සමූහයකි. මේ සියල්ල දැකිය යුත්තේ තමන්ගේම සිත දියුණු කර ගැනීම මගිනි. යම් අයෙකු කී පලියට ලැබෙන දැනීම තව කෙනෙකුගේ කීමෙන් දූෂණය විය හැකි බැවින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගැනීමට නම් ක්‍රම පිළිවෙතක් ඇති කරගත යුතුය. එබැවින් සියලු සචේතනික, අචේතනික, ජීවී, අජීවී ක්‍රයාවලිය සැකසී ඇති ආකාරය අවබෝධ කර ගැනීමත් ඒ තුළ පුද්ගලයා සසර බැද තබන ධර්මතාවයන් විනාශ කර දැමීමත් කළ යුතුමය. ඒ සදහා කර්මස්ථාන සතළිහක් ප්‍රගුණ කරද්දී සතර බ්‍රහ්ම විහාර නැමති උත්තුංග ගුණාංගයන් අප සිත තුළ වැඩී තිබිය යුතුය. මේ ගුණාංග සතර සාධුචර්‍යාව නම් වේ.

ලෝකයේ සියල්ල නිර්මාණය වී තිබෙන්නේ ධාතු රූප සතරකිනි. ඒ සතර මහා භූතයින් නමින් හදුන්වන

  • තද බව ඇති කරන පඨවි ධාතුවත්
  • වැගිරෙන බව ඇති කරන ආපෝ ධාතුවත්
  •  උණුසුම් බව ඇති කරන තේජෝ ධාතුවත්
  • පාවෙන බව ඇති කරන වායෝ ධාතුවත් තුළිනි.

විශ්වයේ සෑම දේකම පවතින පොදු ධර්මතාවය මෙයයි. පුංචිම අංශුව පරමාණුව කියා කීවත් එය නිර්මාණය වී ඇත්තේ මේ ධාතු සතරෙනි. පැහැදිළිව සදහන් කළොත් සියලු ජීවී අජීවී ක්‍රියාවලියේ සියලු වස්තූන් නිර්මාණය වී ඇති පදාර්ථයේ මූල ධාතුවම නිර්මාණය වී ඇත්තේ මේ භූත රූප සතරෙනි.

පුද්ගලයා ජීවියෙකි. එබැවින් මේ සතර මහා භූතයින් තුළ යම් සක්‍රීය බවක් ඇති කරමින් සිටී. ඒ ජීවී බව ඇති කරන්නේ නාමය තුළිනි. නාමය යනුවෙන් හැදින්වූයේ සක්‍රිය බව තුළ ගොඩනගා ගැනීම, ස්වභාව දහම තුළ විකාශනය වීම, ස්වභාව දහම තුළ ගෝචර වන සාධක ලබා ගැනීම නම් අර්ථයෙනි. පුද්ගලයා ස්වභාවදහම විදී. ඒ සදහා ජීවී බව නැමති නාමය එසේත් නැත්නම් විදීම තුළ ඇතිවන විඤ්ඤාණය නිර්මාණය කරගනිමින් පවතින්නේ වර්ණයන් තුළිනි. නීල, පීත, ලෝහිත, ඕදාත නම් වර්ණ සංකලනය කර ගැනීමෙනි. මෙය සංකලනය වීම තුළ අලෝකයත් අලෝකය හෝ ඕනෑම දෙයක් පවත්වා ගැනීමට අවකාශයත් අවශ්‍යමය. මේ අවකාශය තුළ ඇසට පෙනෙන, කනට ඇහෙන දේ නිර්මාණය වී තිබෙන්නේ එලෙසිනි. ඒ අනුව මුළු මහත් විශ්වය තුළම යම් සක්‍රීය බවක් අප විසින් දකිමින් මෙය ඇතැයි යැයි හදුන්වා ගනිමින් ඒ තුළ මෝහයේ ගැලෙන්නේ නම් ඉන් මිදීමට අප විසින් ප්‍රගුණ කළ යුත්තේ මේ දස විධියයි. ඒ දස විධිය ඉහතින් ඡේදයන් තුළ දැක්වූවත් සාරාංශ කළ විට පහත ආකාරයෙන් පිළිවෙල කළ හැකිය. අප දශ කසින නමින් විදසුන් වඩන්නේ එම දහය තුළිනි.

පඨවි, ආපෝ, තේජෝ, වායු – පදාර්ථ සතර

නීල, පීත, ලෝහිත, ඕදාත – වර්ණ හතර

ආලෝකය -වර්ණ හතර පදාර්ථ සතර සමග ගැලපෙන විට නාමය තුළ ඇති වීම

අවකාශය – ඇතිවන ධර්මයන් පවත්වා ගන්නට හා එකක් අනිකෙන් වෙනවන හිස්තැන

ඉහතින් දැක්වූයේ කමටහන් හතළිහෙන් දහයකි. ඊළග දහය වන්නේ දශ ස්මෘතීන්‍ ය. එනම් විශ්වයේ පොදු යථාර්තය බැලීම සදහා සිහිය තුළ පවත්වා ගත යුතු කය හා විශ්වය සමග බැදී ඇති ධර්මතාවයන්‍ ය. එය අවබෝධය තුළ කය දැකීමත්, ස්වභාවය දැකීමත්, ජීවී ලෝකය තුළ පෙනෙන නොපෙනෙන ජීව කොටස් පිළිබද ස්මෘතිය ලබා ගැනීමත් වෙයි.ඒ දහය

  1. බුද්ධානුස්සති
  2. ධම්මානුස්සති
  3. සංඝානුස්සති
  4. ශීලානුස්සති
  5. චාගානුස්සති
  6. දේවතානුස්සති
  7. මනොනුස්සති
  8. කායගතාසති
  9. ආනාපානසති
  10. උපසමානුස්සති

යන කමටහන් දහය වෙයි.

කමටහන් දහය 40න් ඊළග දහය වන්නේ අසුභ දහයයි.කය තුළ ලෝභයත්, ආශාවෙන් ඇති කරගත් බැදීම තුළ අතහැර ගත නොහැකි පුද්ගල ආශාවත් සමගින් සංකලනය වෙමින් භවයෙන් භවය තනන්නට හේතුවන රූපය තුළ ඇලීම යථාවබෝධයෙන් දැකීමට නම් “කය” තුළ නිස්සාරණ බව දැකීමට, විනාශයට පත්වන ජරාවට මරණයට පත්වන දෙයක් ලෙස අවබෝධ කරගැනීමට අවශ්‍යවන කාරණා දහයකි.එනම්, “කය” විනාශ වන දස අවස්ථාවන් ආවර්ජනය කර බැලීමකි.ඒ දහය

  1. උද්ද්‍රමානක
  2. විනීලක
  3. විපුබ්බක
  4. විච්ඡිද්දක
  5. වික්ඛායිතක
  6. වික්කිත්තක
  7. හත වික්කිත්තක
  8. ලෝහිතක
  9. පුලවක
  10. අට්ඨික

ඊළගට අසුවන්නේ අප කතා කරන බ්‍රහ්ම විහාරයි. කලින් සදහන් කරන කාරණා 30ම අවබෝධයෙන් දැකීමට, ලෝභයෙන්, ද්වේශයෙන් තොරව පරමාර්ථ සාධනයකින් තොරව දැකීමට නම් සිත තුළ අව්‍යාජව ඇති විය යුතු නිරාමිස ප්‍රීතිය ජනිත කරවන දුකට හේතු නොවන ධර්මතා සතරකි. මෙය,

  1. මෙත්තාව
  2. කරුණාව
  3. මුදිතාව
  4. උපේක්ෂාව වෙයි.

මේ විශ්වයට සමගාමී වන පොදු යථාර්තයට සිත පත් කර ගත නොහැකි නම් මුලින් ඇති කළ කමටහන් තිහම වර්ධනය කිරීම, අනුගමනය කිරීම සිදුකිරීම අසීරුය. ඒ…. සිත සතර බ්‍රහ්ම විහරණ වලින් තෙමී නැත්නම් මෝහයේ ගිනිදැල් සිත දවමින් තිබෙන බැවිනි.

ඊළගට කමටහන් 40න් සාකච්ඡා වන්නේ බ්‍රහ්ම විහාර වලි තෙමා ගත් සිත විශ්වයේ ලබා ගන්නා අන්‍යතාවය හසු කරගන්නා සීමාවන් වෙයි. සිත පිරිසිදු කරන්නට කරන්නට ලෙලෙස් යටපත් කරන්නට කරන්නට ඇතිවන සිතේ ස්වභාවයන් හතරකි.

  1. ආකාසානඤ්චායතනය
  2. විඤ්ඤානඤ්චායතනය
  3. ආකිඤ්චඤ්ඤායතනය
  4. නේවසංඥා නාසංඥායතනය යි.

ඊළගට හසුවන්නේ කමටහන් 40 තුළ

  • චතුධාතු වත්ථානයත්
  • ආහාර පටික්කුල සංඥාවත් නමින්

ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ඉවත් වී තෘෂ්ණාව ප්‍රහීන කරමින් විශ්ව යථාර්තයට ලං වීම සදහා තමන් තුළ “මම” පවත්වා ගනිමින් පොදු විශ්වයට ලං වීමට අවශ්‍ය වන කාරණා දෙකකි. එවිට කමටහන් 40කි.

එබැවින් මේ සියල්ල විනිවිදව දකින්නට අවබෝධ කරගන්නට නම් මෝහයේ ගිනිදැල් නිවී තිබිය යුතුය. මෝහයේ ගිනිදැල් නිවීමට සතර බ්‍රහ්ම විහාර උපයෝගී කරගනිමින් දශ කසින ඔස්සේ විදසුන් වඩන්නේ නම්… විශ්වයේ සැගවුණ රහස ඇත්තේ තමන් තුළම බව අවබෝධ කරගත හැකිය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *