බොදු ගී රස විනිස

බොදු ගී රස විනිස

දවසක් පැල නැති හේනේ

අකාල මහ වැහි වැස්සා

තුරුලේ හංගා ගෙන මා

ඔබ තෙමුනා අම්මේ

පායන තුරු හිටි පියවර

සිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන

නින්දා වැහි වැගිරුණු දා

 බිරිදකගේ සෙනෙහෙ ගියා

යෝද ඇළේ නැම්මේ

නුඹෙ සෙනෙහස සුවද දිදී

දැනුනා මට අම්මේ

 

කොළඹ අහස කළු කරගෙන

මූදු හුළග හඩලන කොට

ඔටුන්න බිම දා දුවගෙන

එන්න ද එක පිම්මේ

මං එනතුරු ඉදිකඩ ළග

ඉන්නවා ද අම්මේ

ගැමි තරුණයෙක් අධ්‍යාපනයේ හිණිපෙත්තට පැමිණ ගම අතහැර නගරයට යයි. නගරයේ ඉහළ සමාජය ඇසුරින් ලැබූ බොල් පුරුෂාර්ථ හේතු කොටගෙන උඩගු නාගරික උගතුන් ගේ සමාජයේ සාමාජිකයකු බවට පත්වන මෙම ගැමියා ඒ සමාජයේම කාන්තාවක් විවාහ කරගනී. බලය නිලය ධනය ලබා ගැනීමේ නාගරික සමාජ තරගයේ ගොදුරක් වන ඔහු එයින් පරාජය වේ. සිය බිරිද ද ඔහු අතහැර යයි.

ඉතා අගහිග මධ්‍යයේ තමා ඇති දැඩි කරගත් මවද තමා උපන් ගමද අමතක කළ මේ ගැමියාට තමා ගත කළ හිස් ජීවිතයේ අරුමය තේරේ. කුමන බාධක මධ්‍යයේ වුවද තම පුතු වෙනුවෙන්ම ජීවිතය කැපකළ මවගේ ගුණ සුවද ඔහුට දැනෙන්නට පටන් ගනී. තරුණ වියේදීම සැමියා අහිමි වූ මේ කථකයාගේ මව වෙනත් විවාහයක් ගැන පවා නොතකා තමාගේ ජීවිතයේ ස්වර්ණමය යුගය දාරක සෙනේහය නිසා කැපකර ඇති බව ගීතයේ ආරම්භයේදීම ප්‍රකාශ වේ. මෙහි “පැල නැති හේනෙන්” ස්වාමියා නැති පවුලද, “අකාල මහ වැස්සෙන්” ඒ ස්වාමියා අකල් මරණයකට ගොදුරු වූ බව ද, “තුරුලේ හංගාගෙන මහ වැස්ස පායන තුරු සිටියා” යන්නෙන් දරුවා ලොකු මහත් කරගැනීම සදහා සිය තරුණ කාලය වැන්දඹුවක් ලෙස ගත කළ ආකාරයද සංකේතවත් කරන බව විචාරකයන්ගේ අදහස යි.

ධනයෙන්, බලයෙන්, යසසින් පිරිහෙන විට සිය බිරිද තමා අතහැර යාමෙන් ඇගේ ආදරයේ ව්‍යාජත්වය ඔහුට වැටහෙයි. ඒ අතින් සිය මව කොතරම් උත්තරීතර බිරිදක්ද, මවක්ද යන්න ඔහුට වැටහේ. මව් උණුසුමේ අතීත සුවද ඔහුට දැනෙන්නට පටන් ගනී.

අධ්‍යාපනයෙන්. තානාන්තර වලින් සමාජයේ කිරුළු පැළදි පුතු හිස බර කළ ඒ කිරුළු බිම දමා සදා ආධ්‍යාත්මික ගුණ සුවද හමන මව සොයා පැමිණීමට අදහස් කරයි. එසේ වුවද ඔහුට පහසුවෙන් එය කළ හැකිද? දීර්ඝ කාලයක් තම මව අමතක කර සිටි ඔහු මව පිළිබද තොරතුරක් වත් කාලයකින් දැන නොසිටින්නට ඇත. ඔහුට ආපසු ගමට යන්නට සිදුවන්නේ තම මවට නොසලකන ලද පව්කාර පුතෙකු ලෙසිනි. බාල වියේ නිවසින් බැහැර ගිය තමා පෙරලා එන මග බලාගෙන ඉදිකඩ ළග සිටි මව ඔහුට සිහිවෙයි. ජීවතුන් අතර සිටිනවා නම් ඈ තමා පිළිගන්නා බවට සැකයක් නැත. ඇය ජීවතුන් අතර ද යන සැකය කථකයා තුළ පවත්නා බව විලාපයක ස්වරයෙන් ගැයෙන අවසන් පද පෙළෙන් පැහැදිලි වේ.

ඩබ්. එම්. ධර්මපාල

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *