බමුණා අමුණා ගනී

බමුණා අමුණා ගනී

“බමුණා” යන වචනය ඇසෙන විටක මතකයට එන්නේ නොයෙක් ආකාරයේ සමාජ මතිමතාන්තර යි. බමුණන්ගේ පහසුව තකා හෝ ආත්මාලාභය තකා නොයෙක් මත ඉදිරිපත් කරමින් අනුන්ගෙන් යැපෙන පිරිසක් ලෙස ප්‍රසිද්ධය. අගහරුවාදා දිනය පෘථග්ජන මිනිසුන්ට දිය නෑම අසුභය. ඒ ටික බමුණු මතයකි. ඉතින්… අපේ මිනිස්සු අගහරුවාදාට දිය නෑවේ නැත. බමුණන් එදාට හොදට දිය නාගත්තේය. කළ පව් කම් නැති කරගන්නට නම් බිලි පූජා පුද පූජා කළ යුතුය. ඒ තවත් බමුණු මතයකි. දහස් ගණන් අහිංසක සතුන්ගේ බෙලි කපා එම ලෙයින් බිලි පූජා කිරීම ඔවුන්ගේ පව් අරවා ගන්න ක්‍රමයයි. ඈත අතීතයේ පිරිමි දරුවන් දහස් ගණන් එක් දිනයකදී බිලි පූජාවකට ලක් කර තිබීමෙන් තිරිසන් සතුන් පමණක් නොවෙයි. මිනිස් සත්වයාද එයට කොටු වූ බව අවබෝධ කර ගත හැකිය. අදත් ඉන්දියාවේ සමහර ග්‍රාමීය ජනපද වල ගැහැණු දරුවන් ඉපදීම අසුභ කොට දකින්නේය. අප ලොව්තුරා බුදුන් වහන්සේගේ මහා කරුණා ගුණය…. එදා දඹදිව කාන්තාවන්ට මිනිස් ලෝකයේ සුදුසුම තැන ගෙන දුන්නේය.

මා ඔබට කියන්නට උත්සාහ කරන්නේද බමුණෙකු විසින් සිදු කළ තවත් අනුවණ ක්‍රියාවක්, කපටි හොරු තුන් දෙනෙකුට පව්කාර ක්‍රියාවකට මුල පාදා දුන් අවස්ථාවකි.

එක්තරා බමුණෙක් දිනක් එළුවකුගේ ගාත් හතර බැද කරතියාගෙන කැලෑ පාරක් දිගේ ගමන් කළා. ඒ රුක් දෙවියෙකුට බිලි පූජාවක් දීමටයි. මේ කැලෑවේ සොරු තුන් දෙනෙක් වාසය කළා. එතරම් දරුණු නොවු මෙම හොරු, සොරකම් කළේ අනුන් රවටමින් හෝ මුලා කරමිනි. ඒ කියන්නේ “කපටි හොරු” බමුණාගෙන් එළුවා ඩැහැ ගත්තාට හොද උපක්‍රමයක් යෙදූ හොරු තුන් දෙනා, බමුණා ගමන් කරන මාර්ගයේ ඉදිරි ස්ථාන තුනක රැකවල් දා ගත්තා.

හදිසියේ බමුණා ඉදිරියට පැමිණි

පළවෙනි හොරා:- අනේ හාමුදුරුවනේ……. ඔබ වහන්සේට සෑහෙනවද ඔය බල්ලෙක් කර තියා ගෙන යන්න. චී… චී… තත්වෙට හොද මදි නෙවැ….

බමුණා:- බල්ලෙක්…. ඔහේට ඔල්මාදෙද? මම මේ ගෙනියන්නේ එළුවෙක්… කියමින් බමුණා යන්නට ගියා. තව ටික දුරක් යන විට හදිසියේ බමුණා ඉදිරියට පැමිණි

දෙවැනි හොරා:- අනේ හාමුදුරුවනේ… ඔය බල්ලා අරන් යන්නේ මොනවටද? ෂිහ්… ගදේ බෑ…

මේ බල්ලෙක් නෙවෙයි, මිනිහෝ…. එළුවෙක්… කියමින් ටික දුරක් ගිය බමුණාට ටිකක් සැකයි. එළුවා බිමින් තියා හොදට විපරම් කළා. එළුවෙකු බව පැහැදිලිව අවබෝධ වුණා. නැවත් කර තියා ගෙන ගියා. තව ටික දුරක් යන විට කැලෑවෙන් එළියට පැමිණි

තුන්වැනි හොරා:- හාමුදුරුවනේ…. තමුන්නාන්සේට සෑහෙනවද බල්ලෙක් කරේ තියන් යන්න. ඔබ වහන්සේගේ උත්තමකම බල්ලට ගියාද?

බමුණා එළුවා බිමින් තිවුවා. දැන් තුන් දෙනෙක්ම මේ එළුවා බල්ලෙක් බව කිවුවා. මට වැරදිලාද? ෂිහ්… මම කිල්ලට අහුවුණා. එළුවා බිම දමා බමුණා යන්නට ගියා. ගංගාවකට බැසගත් බමුණා…. “කිල්ල” යන්න හොද හැටි නාගත්තා.

හොරු රැල එළුවා අරන් ගියා.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *