අවුල් නොවන පවුලකට

සුන්දර සිහින, සිතෙහි ගුලි කරමින් මහා අස්වැසිල්ලක් ගන්නට දින ගණන් කරමින් සිට අවසානයේ චාරිත්‍රානුකූල සම්ප්‍රදායට ගත් සම්ප්‍රදායෙන් බැහැරව එක් වහලක් යටට වන දෙදෙනෙකු, තම සිහින පාරාදීසය බිද දමා ගන්නේ නොදැනුවත් කමෙහි (මෝහයෙහි) කඩතුරාවෙන් තම සුපින් සිත් වසාගැනීම නිසාමය. ජීවිතයේ ඇති වටිනා යථාර්ථය අවබෝධ කර ගැනීමට පෘතග්ජන සිත්වලට නොහැකි නිසාම, භවයද තව තවත් නොකැඩෙන ලෙසින් සවි කරගන්නා,අමුණා ගන්නා දම්වැල් පුරුකක් පරිද්දෙන් ඇති කරගන්නා ප්‍රේමයේ, රාගයේ බැදීම විවාහයකින් කෙළවර කර ගනිමින් එය අවසානයේ පව් උනන උල්පතක් කරගන්නේද මෝහයේ තරමටය. සසර පුරාම බෝසතුන් පසුපස ගිය යසෝදරාවක් තරමට හෝ  ”නකුල මාතාව” න් ”නකුල පිතා” වන් තරමට අව්‍යාජ බැදීමකින් ගමන් කල නොහැකි වුවත් අතරින් පතර සසර පුරුද්දටම වාසනාවන්ත එක්වීම් අවාසනාවන්ත නොකර ගනිමින් ගමන් කරන්නා වූ විවාහ ජීවිතයන්ද නැත්තේ නොවේ. අනන්ත සසරක ගමන් ගත්තා වූ මිනිස් සිත් දුටු අවසරයෙන් රාගයෙන් තෘෂ්ණාවෙන් බැදී යනවා හැරෙන්නට සසර පුරුද්ද මේ යැයි අවබෝධයෙන් සිත් පැහැර ගැනීම සිදු නොවන්නේ යථාර්ථයට වඩා මෝහය පළමුව මිනිස් සිත් තුළ ක්‍රියාත්මක වීම නිසාමය.

මළමිනියක්, මළමිනියක් සමග වාසය කරන්නා සේ මළමිනියක් දේවතාවියක් සමග වාසය කරන්නා සේ දෙවියෙකු මළමිනියක් සමග වාසය කරන්නා සේ දෙවියෙකු දේවතාවියකු සමග වාසය කරන්නා සේ එනම් පව්කාර මිනිසෙකු පව්කාර ස්ත්‍රියක් සමග වාසය කරන්නා සේ අයහපත් මිනිසෙකු යහපත් පිංවන්ත තැනැත්තියක් සමග වාසය කරන්නා සේ යහපත් පුරුෂයෙකු අයහපත් පව්කාර ස්ත්‍රියක සමග වාසය කරන්නා සේ දෙදෙනාම පිනට දහමට ලැදිව පවින් තොරව වාසය කරන්නා සේ ජීවත් වීම, පවුල් ඒකකයක් තුළ ගම්‍ය වන කාරණා සතරකි. මෙය අප බුදු පියාණන් වහන්සේද දේශනා කෘත වූ ධර්මයකි. එබැවින් සසර මග සසර දුක නිවා ගැනීමේ උතුම් මගක් ලෙස හැම විවාහ ජීවිතයක් ගත කරන පවුල් ඒකකයක්ම තම වගකීම, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය තුළ අනුගත කරන්නේ නම්…. නිවනෙහි රස ගෙනෙන අමා දහම පින් සිත තුළ මෝරන මගද එයම කරගත හැකිය. නූපන් අකුසල් නූපදවා ගනිමින්, උපන් අකුසල් ප්‍රහීන කරගනිමින්, නූපන් කුසල් උපදවා ගනිමින්, උපන් කුසල් වැඩි දියුණු කරගනිමින් ජීවිතය ගෙවන්නේ නම්…. හැම පින් සිතක්ම ලෞකිකව මෙන්ම ලෝකෝත්තරවද සැනසෙනවා නියතම ය. සැකය තුළ වෛරයේ, ක්‍රෝධයේ බීජය වපුරා ගනිමින් ආත්ම ලාභය පිණිස කටයුතු කරන්නට යාමෙන් හැම සිතක් තුළම මතුවන්නේ දෙවියෙකුගේ ගුණාංගයන් නොව තමනුත් විනාශ කරන අනුනුන්ද විනාශ කරන සිත බව වටහා ගනිමින් ජීවත් වීම තුළ අවුල ලිහා ගනිමින් පවුල ආරක්ෂා කර ගැනීම සිදු කළ හැකිමය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *