අප නමදින අපේ බුදුන් වහන්සේ මෙසේ වූ ගුණ‍යන් ඇති සේක.

මහා සමුදුරට වඩා ගැඹුරු වූ ගුණ ඇති සේක. මහා පොළවට වඩා පැතිරුණු ගුණ ඇති සේක. එවන් ගුණයෙන් යුතු බුදුන් වහන්සේ තුන් ලෝ තිලකයක් වූ සේක. තුන් ලොවටම එකම පිහිටක් වූ සේක. අසරණ සරණ වූ සේක. දෙවියන්ට දෙව් වූ සේක. බඹුන්ට බඹු වූ සේක. පස් මරුන් දමනය කළා වූ සේක. කරුණාවට ආකර වූ සේක. මෛත්‍රියට මූර්තියක් වූ සේක. ප්‍රඥාවට ප්‍රතිෂ්ඨාධාර වූ සේක. කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ සේක. ගමනින් සෝබා වූ සේක.පැවැත්මෙන් උදාර වූ සේක. රුවින් අග තැන්පත් වූ සේක. සංඛත අසංඛත වශයෙන් සර්ව ධර්මයන් දැන වදාළ හෙයින් සර්වඥ වූ හෙයින්ද ත්‍රිවිද්‍යාදී ප්‍රභේද ගත සියලුම විද්‍යාවන් නොඅඩුව දත් හෙයින් විද්‍යාධාරීව වූ සේක, බාහිර සකල විද්‍යාවන් අභිභවනය කළ හෙයින් මහා විද්‍යාඥ වූ සේක. ආර්‍ය් ශීල-ආර්‍ය් සමාධි-ආර්‍ය් ප්‍රඥාවන් සම්පූර්ණ කළ හෙයින් මහ ආර්‍ය් වූ සේක.කාය බල දශයක් හා ඥාණ බල දශයක් ඇති හෙයින් දශ බලධාරී වූ සේක. දෙව් මිනිසුන්ට එකම ශාස්තෘ වූ වෛන්‍යෙ ජනපද්මාකරයට දිවාකාර වූ සේක.අවිහිංසාවාදී වූ සේක. තමන් වහන්සේ ප්‍රථමයෙන් ම අවිද්‍යා තෘෂ්ණාවෙන් නසා දැමූ හෙ‍යින් ජ්‍යෙෂ්ඨ වූ සේක. තවත් එබදු කෙනෙකුන් නැති හෙයින් “ඒක” වූ සේක. “වේතපත්” අයට ප්‍රථමයෙන් කතාකොට ඔවුන්ට සරණ වන හෙයින් පුබ්බාභාණී වූ සේක.අෂ්ඨලෝක ධර්මයෙන් කම්පා නොවන හෙයින් “තාදී” වූ සේක. සිතා වටහාගත නොහැකි ගුණයන් ඇති හෙයින් අචින්ත්‍ය වූ සේක. ප්‍රමාණයක් නොකොට හැකි ගුණ‍යෙන් සමන්විත වූ හෙයින් අප්‍රමේය වූ සේක. රුවින් හා ගුණයෙන් සමකළ යුත්තකු නැති හෙයින් “අසම” වූ සේක. සත්වයාට ආත්මයක් නැතැයි වදාල හෙයින් මැවුම්කාර දෙවියකු නැතැයි වදාල වූ හෙයින් අදේවවාදී වූ සේක. කිසිවකුට විෂය නොවූ හේතුඵල ධර්මය සොයා දැන වදාල වූ බුදුරජාණන් වහන්සේ අප මහා ප්‍රාඥයා වූ සේක.

ඒ උතුම් මග තුළදී ඔබ වහන්සේ කැටි කරගත් මහා ගුණයෙන්…. නම සිහිකළ හඩට සවන් දුන් සතුනට එතෙකින්ම සෙත සැලසූ සේක.ලෝ සතුනට සෙත සලසනු පිණිස අත්පත්ව තිබූ සියලු සැප හැර දැමූ සේක. ලෝ සත වෙනුවෙන් පමණ නැති දුක්විද පරම සත්‍ය අවබෝධ කළා වූ සේක. එකද සත්වයකු ට හෝ වැඩ සැලසෙන අටියෙන් යොදුන් ගණන් පියවි ගමනින්ම වැඩ ඔහුට සෙත සැලසූ සේක. ලාභ සත්කාරයෙන් අග්‍රස්ථ වූද අල්පේච්ඡ වූ සේක. මේ රජගෙදර, මේ දුගී පැලක්‍ ය යයි නොසිතා පිඩු සිගා ලූ සේක. දුගියා දුන් ඉදුල් බත්ද, ශක්‍රයා දුන් දිව්‍ය භෝජනය ද එකසේ සැලකූ සේක.වටිනා සිවුරු පිලිවලට වඩා පාංශුකූල චීවරම ප්‍රියකළ සේක. අසරණයා ගේ විපතේදී වෙඩරු පිඩක් වූ හදවතින්ද කවරෙකුගේ හෝ වරදට කලුගලක් මෙන් ශක්ති සම්පන්න ලෙසද යොමුකළ සේක. වාදකරමින් හෝ පීඩා කරමින් ජයලබම්හයි සිතූ දෘෂ්ඨවාදීන් පරදවා තම සිරිපතුළ වැන්ද වූ සේක.ද්වේශ කරවූ හෝ නිගා කරවූ හෝ තතු නොදැන අවමන් කළවූවන්ට තම තමන්ගේ හදවත් තුළ ලොව්තුරා ගුණ ඇතිකරවූ සේක. විද මරන්නට ආ දුනුවායන්ට ද හිසට ගල් පෙරලූ දෙව්දත්හටද සම මෙත් පැතුරූ සේක. කිසිවෙකුට දමනය කළ නොහැකි අංගුලිමාල, සච්චක, ආලවක, බකබ්‍රහ්මාදීන් දමනය කළා පුරිසධම්ම සාරථී වන බුදුන්වහන්සේ ගේ පෙරවූ සිවුරු ද, වැළදූ පාත්‍රය ද, වැඩසිටි අසුන ද, නම ලියවූ ලෝහ හෝ ශාක පත්‍ර ද,පා පහස ලත් වැලිකැටි ද, සිරසෙහි වූ කෙස්ගස් ද, පය අත් රැදි නිය ද පිරිනිව් කළ දැවුණු අළු හා ඇට ද දැමුනු තැන් පස් ද. අගුරු ද ලෝසතුන්ට පූජාවස්තු වන්නට තරම් ආනුභාවයක් වූ තිලෝගුරු භාග්‍යවත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ නමස්කාර කළ යුතුමය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *