ආන්ත්‍රාවයි

ආන්ත්‍රාවයි

නිවන් මග අහුරන බලවේගයකට හසුවන පුද්ගලයා තරම් පව්කාරයකු වී මිහිපිට සිටින්නට වුවහොත්… භෞතික ශරීරය සමගම අපායට යාමට වුව සිදු වුවහොත් ඒ තරම් ආන්ත්‍රාවක් මිහිපිට තවත් නැති තරම්‍ ය. නිවන් මග ආන්ත්‍රාවක් පහකි.

  • කර්මාන්තරාය
  • ක්ලේශාන්තරාය
  • විපාකාන්තරාය
  • උපවාදාන්තරාය
  • ආඥාවපතික්‍රමණාන්තරාය

උතුම් නිවන් මග ඇහිරිය හැකි මෙම ආන්තරායකර ධර්මයන්ගෙන් ඔබද වෙලී සිටිය හැක. එසේත් නැතිනම් ඔබ නොදැනුවත්වම එයට ගොදුරු වීමට ද හැකිය. ඒ සදහා මුහුණ දීමට තරම් ප්‍රඥාවන්තයෙකු වීමට ඔබට හැකිනම්… සතර අපාය දෙපයේ තබාගෙන දිව්‍ය බ්‍රහ්ම තලයන් සිරසේ තබාගෙන යන ඔබ නිවන් මග නොවැටී ගමන් කරන පුද්ගලයකු ලෙස ජීවිතය දකින්නට පටන් ගනිවී.

  1. කර්මාන්තරාය යනු :- පඤ්චානන්තර්ය කර්මය හා භික්ෂුණී දූෂක කර්මය මෙයට ඇතුළත් වේ. පඤ්චානන්තර්ය කර්මය යනු යමෙක් මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, රහතුන් මැරීම, සංඝ භේදය යන්නයි. මින් එකක් හෝ සිදු කරන්නට වූයේ නම් ඔහුට නිවන් මග ඇහිරෙයි. සංඝ භේදය අදාළ වන්නේ උපසම්පදා භික්ෂුවකටයි. උපසපන් භික්ෂුවක් තවත් භික්ෂූන් භේද භින්න කරයි නම්… එම භික්ෂුවට නිවන් මග ඇහිරෙන්නේමය.
  2. ක්ලේශාන්තරාය යනු :- නියත මිත්‍යා දෘෂ්ඨියට හසු වීමයි. මිත්‍යා දෘෂ්ඨියට හසු වී ඇති පුද්ගලයා දහම නොදකී. ජීවිතයේ යාථාර්තය හෝ ස්කන්ධාදී ධර්මයන් තුළ නිවැරදි අවබෝධය ඇති කරවන්නේ සම්‍යක් දෘෂ්ඨිය හේතුකොට ගෙනයි. යමෙක් මින් ගැලවීමට උත්සාහ කරමින් ධර්මය අවබෝධ කරගන්නේ නම් නිවන ලබා ගැනීමේ මගට ප්‍රවිශ්ට විය හැකිය. නියත මිත්‍යා දෘෂ්ඨිය පහත පරිදි වේ.
  3. විපාකාන්තරාය :- ද්විහේතුක අහේතුක ප්‍රතිසන්ධිය විපාකාන්තරාය වේ. ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ඉවත් වූ පුද්ගලයා ත්‍රිහේතුක ප්‍රතිසන්ධියට පත් වූවෙකි. යමෙක් ලෝභයෙන් ද්වේශයෙන් සසර දී ඉවත් වූවත් මෝහයෙන් ඉවත් වී නොමැතිනම් ධනය කොතෙක් තිබුණත් රූපය කොතෙක් තිබුණත් ප්‍රඥාව අඩුව ඉපදිය හැකිය. එවිට ධර්මය තේරුම් ගන්නේ කෙසේද? ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් සම්පූර්ණයෙන්ම බර වූ පුද්ගලයා අහේතුක ප්‍රතිසන්ධියට පත් වූවෙකි. අකුසලයේ විපාකය ලෙස ජාති අන්ධයන් ලෙස හෝ ධර්මය දැරීමට, ශ්‍රවණයට, අවබෝධයට බාධාවක් ලෙස ඔවුන් ඉපදෙයි. එනයින් ගත් විට ත්‍රිහේතුක පුද්ගලයා උතුම් අයුරින් සැරි සයුර තරණයට තම යහපත් වූ භවය මනා ලෙස යොදවයි.
  4. උපවාදාන්තරාය යනු :- අද කාලයේ කාහටත් නොදැන හෝ දැන දැනද සිදුවිය හැකි අන්තරාවකි. ආර්ය අපවාද කර්මය කළ එනම් ආර්ය ගමන් මග ගත්තා වූ සෝවාන් මග හා ඵලයේ සිට බුදුන් වහන්සේ දක්වා උතුම් පුද්ගලයන් හට යම් මොහොතක අපවාද කර තිබෙන්නේ නම් ඔහුට හෝ ඇයට නිවන් මග ඇහිරෙයි. මෙයට පිළියම්ද තිබේ. ත්‍රිවිධ රත්නය ක්ෂමා කරවා ගැනීම හෝ එම අයගෙන් සමාව ගැනීම, සොයාගත නොහැකි විට ගිය දිශාවට නමස්කාර කොට සිතින් සමාව පැතීම, මරණයට පත් වී නම් සොහොන ළගදී සමාව යැදීම තුළින් මෙයට පිළියම් ලැබිය හැකිය. කෙසේ වෙතත් යමෙක් උස් වුවත්, පහත් වුවත්, තමන්ට වඩා වැඩි වයස් වුවත්, අඩු වයස් වුවත් අනුන්ට අපහාස කිරීමේ කැත පුරුද්ද ජීවිතයෙන් ඉවත් කරගන්නේ නම් මෙම වැරැද්ද ඔබ අතින් සිදු නොවේවී. හොදින් සිතන්න. ඔබ නොදැනුවත්වම ඔබ මෙන්ම දහම අදහන්නා ආර්ය ගමන්කරුවකු විය හැකිය. එනිසා දැන් දැන්ම… ඒ මහා වැරැද්ද එනම්, අන් අයට අපහාස, මඩ පහර දීමෙන් වහාම නවතින්න.
  5. ආඥාවපතික්‍රමණාන්තරාය :- දැන දැනම ඕනෑකමින් සිදුකරන වරද නිසා මෙම තත්වයට පත්වෙයි. ගිහියා විසින් පිළිපැදිය යුතු ශීලයක් තිබේ. එය නිතර නිතර ආරක්ෂා කළ යුතුවේ. එය සමාදන් වීමෙන් අවබෝධයට පත්වීමත් එය දැන දැනම කැඩීමත් මෙම අන්තරාවට හේතුවෙයි. නමුත් නැවත අවබෝධයෙන් එය ආරක්ෂා කළ හැකියි. එහෙත් සිදු වූ වැරැද්දක් වෙතොත් එය අකුසලයට එකතු වෙයි. පැවිදි උපසපන් අයකු නම් තමන් දැන දැනම තමන්ගේ ශීලයට අගරු කරන යමක් කළේ නම්  එම අන්තරාවට හසුවෙයි. උපසපන් භාවයෙන් ඉවත් වීමත් ඉන් අකුසලය ඉවත් කර ගැනීමට අවශ්‍ය ගුණදහම් පිරීමත් ඔහුට කළ හැකි එකම ගැලවීමයි.

ඉහත දැක් වූ ආන්තරායික බලපෑමෙන් ඉවත් වී ඇති උතුම් අයෙකු නම්… ඔබත් නිවනට සුදුසු වේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *