ආත්ම අභිමානය

ආත්ම අභිමානය

සත්වයෙක් පුද්ගලයෙක් නොමැති තැන ආත්මයක් ඇතැයි සිතිය නොහැක. එහෙත් සම්මුති ලෝකය තුළ සත්ව පුද්ගල හැගීම පවතී. මේ සත්ව පුද්ගල හැගීම තුළ සැගවී පවත්නේ මම යන සංකල්පයයි. මම නම් පුද්ගලයා සිටින තුරු උත්සාහ කරනුයේ මම පළමු තැන තැබීමට හා මම පෝෂණය කිරීමටය. මා විසින්ම මට ඉහළ වටිනාකමක් ලබා දීම, තමා පිළිබද තමාම ඉහළ තක්සේරුවක් කර ගැනීම, අහංකාරය, උඩගු බව ආත්ම අභිමානය තුළ පෙනෙන්නට ඇත. තමා තමාව අවතක්සේරුවට ලක්කර ගැනීම නම්බු හීනමානය මෙහි තවත් පැත්තකි. මෝහයේ කඩතුරාව නිසා නොවටිනා වූත් සදාතනික නොවූත් දෙයකට වටිනාකමක් ඇතිකර ගැනීමක් ලැබූ ජීවිතය පහත් කොට සලකා අවතක්සේරුවට ලක් කිරීමත් යන මේ දෙකම ආර්යය ගමන් මාර්ගයට බාධා පමුණුවන බැවින් ජීවිතය මධ්‍යස්ථව පවත්වා ගෙන යාමට කටයුතු කරගතයුතුය. සමාජය තුළ පුද්ගලයා ඉස්මතුවීමට, කැපී පෙනීමට දරණ උත්සාහය තුළ ආත්ම අභිමානය හිස ඔසවයි. සම්මුතිය තුළ ජීවත්වන පෘතග්ජන ස්වභාවය නොඉක්මවූ සියළු දෙනා ලගම මම නම් වූ පුද්ගල හැගීම වෙයි. ලෞකික සැපය දියුණුව තුළ ආත්ම අභිමානය නමැති ඔටුන්න පැළද සිටියත් ලෝකෝත්තර ගමන තුළ එය ගලවා ඉවත දැමීමට සිදුවෙයි. සදාතනික සුවය වූ නිවන ලැබිය හැක්කේ ආත්මය ඇත යන සංකල්පය විනාශකර දැමීමෙන් පසුවය. අප සොයනා නිවන තුළ ආත්මයන් නැත. නිවන අනාත්ම වූ තැනකි. නිවනෙහි පළමු දොරටුව විවරකරනවා නම් එය සක්කාය දිට්ඨිය නම් වූ මමත්වයෙන් බැහැර වීමයි. එවිට මම නම් වූ ආත්මය නමැති සංකල්පය බිදවැටීමේදී ආත්මය පිළිබදව අභිමානයක් ඇතිවිය නොහැක. හැම පුද්ගලයෙකුම නැති දෙයක් පිළිබදව වටිනාකම් ඇති කර ගැනීමට යාමෙන් සසර දිග්ගැස්සීමට හේතුවන කරුණු කාරණා එක් රැස් වීමක් සිදුවන බව වටහා ගත යුතුයි. සම්මුති ලෝකය තුළ ජීවත්වන විට මම යන පුද්ගලත්ව බැහැරකළ නොහැක. ධර්මය පැහැදිලි කරගෙන අවබෝධකරගෙන යන විට මේ ස්වභාවයෙන් බැහැර වීමට අපට හැකියාව ලැබේ.

ආත්මාභිමානයෙන් ගැලවීමට හැකිවන්නේද මම යනුවෙන් සත්වයෙක් පුද්ගලයෙක් නැත යන්න නුවණින් අවබෝධ කරගත් පසුවය. එතෙක් මේ ලෝකයේ ජීවත්වන හැම කෙනෙකු තුළම ආත්ම අභිමානය පවතී. මේ හැම දෙනෙක්ම සෑම දෙයක්ම පළමුවෙන්ම කරනුයේ තමන් වෙනුවෙන්මය. බාහිරව පරාර්ථකාමී බවක් පෙනෙන්නට සැලැස්සුවද සෑමදෙනෙකුගේම අභ්‍යන්තරය තුළ ආත්මය සැගවී ඇත. ආත්ම අභිමානය තමා තුළ රදවා ගැනීම යහපතින් හෝ අයහපතින් සිදු කරන නිසා වේ ස්වභාවය තුළ අකුසල් රැස්වීම සිදුවේ. සමාජය සමග හැලහැප්පීම් ගැටුම් අවස්ථාවන් ඇතිකර ගනී. අනිකුත් අය පිළිබදව ආදරය කරුණාව මෛත්‍රිය දැක්වීමෙන් බැහැර වීමට සිදුවෙයි. නිවනෙන් ඈත්වෙයි. තමන්ට වටිනාකමක් ඇති කර ගැනීමට යන නිසා අන් අයගේ වැරදි දොස් පරොස් දකිමින් ඒ අයට වැරදි පටවමින් සැහැල්ලුවට පහත් කොට සැලකීමට කටයුතු සිදුකරන බැවින් අන් අය අපහසුතාවයට පත් කරයි.

ආත්ම අභිමානය ඇතිකර ගැනීමට යාමෙන් අප තුළ අකුසල් සිත් පහළ වෙයි. අන් අයගේ ඉදිරියට ඒම්, ඉහළයාම් වලක්වන සිතක් අප තුළ පහළ වීම නිසා  එසේ සිදුවෙයි. තමාම ඒ තත්ත්වය තුළ සිටිනවා හැර වෙනත් කෙනෙකුගේ එතැනට පැමිණෙනවා බලා සිටීමට එම තැනැත්තාට නොහැක. එහෙත් නිවන් මාර්ගය තුළ එයට ඉඩක් නැත.

සමානාත්මභාවය රැකීමට අපට සිදුවනවා ඇත. ආත්මාර්ථ බවින් අප බැහැර විය යුතුයි.

අප කළ යුත්තේ ආත්මයට අභිමානයක් ඇතිකර ගැනීම නොව ආත්මයට ගරුත්වයක් ලබා දීමය. මෙයින් අදහස් වනුයේ තම ජීවිතය කෙලෙසා නොගැනීමයි. නොයෙකුත් හේතූන්ගෙන් අප ජීවිතය කෙලෙසා ගනී. සිත, කය, වචනයේ අසංවර බව තුළ වැරදි දේ කරන විට දී අපේ ජීවිත පහතට වැටේ. මේ නිසා ආත්ම ගරුත්වය අප නැති කර ගනී. සෑම දෙනෙකුම තමන් ලැබූ ජීවිතයට ආදරය කළයුතු අතර අන් අයගේ ආදරයට කරුණාවටද හසුවන ආකාරයට ජීවිතය පවත්වා ගත යුතුය. තම ජීවිතයට ආදරය කරන කිසිවෙක් ජීවිතයට අවැඩක් හානි‍යක් අගෞරවයක් වන කිසිවක් නොකරයි. පවට අකුසලයට ලජ්ජා බිය ඇති කර ගනියි. තමා ජීවිතයට ආදරය කරන්නේ යම් සේද අන් අයද ඒ ජීවිතවලට ආදරය කරන බව හදුනාගනී. ආත්මය කෙලෙසා ගත් පුද්ගලයා සමාජයේ ආදරයට කරුණාවට පැසසුමට හසු නොවේ. ආත්ම අභිමානයෙන් යුතු වූ පුද්ගලයා ආධ්‍යාත්මික ගුණයන් හීන විය හැකිය. ධනය, බලය, නිලය, රූපය, වංශය, පෙළපත වත් පොහොසත්කම තුළ මනුෂ්‍ය ධර්මතා කෙරෙහි සැලකිල්ලක් නොදක්වයි. ආත්ම අභිමානය ප්‍රඥාවන්තයින් බුද්ධිමතුන් අතර පැසසුමට ලක්නොවේ. “මාන්නක්කාරයන්” යනුවෙන් කටවහරේ හැදින්වෙයි.

වර්තමානයේ පමණක් නොව බුදුන් දවස ද නොයෙකුත් ආකාරයෙන් අභිමානය ඇතිකරගත් අය සිටි බව පෙනේ. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් තම වංශය පිළිබදව ඇතිකරගෙන තිබූ මානය බිද හෙළීමට යමාමහ පෙළහර පෑමට සිදු වූ බව අපට පොත පතින් අනාවරණය වෙයි. මා ගන්දි නම් වූ කාන්තාව රූපය නිසා  අභිමානයක් ඇති කරගත් අයෙකි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ රූපයට නිසා කළේ යැයි සිතා උන්වහන්සේ කෙරෙහි පමණක් නොව උන්වහන්සේ සරණ ගිය සමාවතී බිසව ඇතුළු පන්සියයක් කාන්තාවන් මාළිගය තුළම සිරකර තබා ගිනිබත් කළේය. රූප මදයෙන් මත්ව ඇතිකරගත් ආත්ම අභිමානය නිසා අදත් ඇයට නිරයේ දුක් විදීමට කටයුතු සැලසිණි. ඛේමා බිසව ද එවැනිම කෙනෙකි. එහෙත් බුදුන්වහන්සේගේ ඇයට රූපයේ යථාර්තය පෙනීමට සැලැස්සූ හෙයින් එය අවබෝධ කරගෙන සසරින් එතෙරවිය. මෙම මාන්නය නම් වූ අකුසල ධර්මය දස සංයෝජන ධර්මවලින් එකකි. නිවන් දැකීමට නම් මෙහි ඇති බියකරු බවත් අප වටහා ගත යුතුයි. මුල, මැද හා අග යහපත් වනසේ ධර්මය හොදින් අවබෝධ කරගෙන මෙම අකුසලයෙන් ද මිදී ලොව්තුරු සුවය පසක් කර ගැනීමට අප සැමට හැකිවේවා.

එස්.එච්.ශ්‍රියාලතා.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *