ක්‍රි.පූ. 6 වන සියවසේදී අප අමා මෑණී වූ බුදු පියාණන් වහන්සේ මොහදුරට මහා ආලෝකයක් වෙමින්ද, සසර සැඩ පහරට මහා නෞකාවක් බදු වූ පරිද්දෙන්ද සියල් “සත්” නෙක් දම් රසයට යොමු කරමින් දේශනා ගෘහිත වූ සද්ධර්මය තුළින් ලෝකය පිළිබද වටිනාම දහම් පුස්ථකය ඉදිරිපත් කළ සේක. සකල විශ්වයම (Physical universe) තම ප්‍රඥාලෝකයට හසු කරමින් මුල, මැද ,අග නිවැරදිව අර්ථකථනය කරමින් දේශනා කළ ධර්මයෙහි අගය ලෝවැසියන්ට දැන් දැන් කිමිදී කිමිදී බලන්නට තරම් වුවමනාවක් ඇති කර තිබෙන්නේ කනින් කොනින් ඇසෙන ” ලෝක විනාශය ” යන තේමාව උද්ධෘත කර ගනිමිනි.
අප අමා මෑණියන් වහන්සේ පන්ලක්ෂ දොලොස් දහස් ගණනක බුදුරජාණන් වහන්සේලාගෙන් ඇසූ ශ්‍රී සද්ධර්මයත්, සමත්‍රිංශත්පාරමිතා පෙළහරෙහි ලබාගත් ලෝක විෂය පිළිබද හසල දැනීමත් නිවැරදි ලෙස උතුම් සම්බෝධියේදී තහවුරු කර ගනිමින් අවිදු අදුරෙහි ගැලුණු මිනිස් සත්වයාට ඉන් ගැලවීමට මගක් මෙන්ම “විනාශය” ඇති වීමට හේතුව තම බඹයක් පමණ වූ “කය” උද්ධෘත කරමින් සමාන කර දක්වමින්
“ඉමස්මිං යේච ඛ්‍යාමත්තේ, කලේඛරේ සසඤ්ඤම්හි සමණංකෙ ලෝකංච පඤ්ඤපෙමි ලෝක සමුදයංච පඤ්ඤපෙමි”
යනුවෙන් “මහණෙනි, මම සඤ්ඤාව සහිත වූ සිත සහිත වූ බඹයක් පමණ වූ මේ ශරීරයේ ලෝකය පනවමි. ලෝක ගාමිණී පඨිපදාවද පනවමි.” ලෙස දේශනා කළේ අපගෙ ශරීරයද ලෝකයක් ලෙස සලකා තිබෙන අයුරුයි. පුද්ගලයාගේ නිර්මාණය තුළ ඇති රහස ලෝකයේ නිර්මාණයයි. ලෝකයේ නිර්මාණයේ රහස ලෝකයන් සහිත විශ්වයේ නිර්මාණයයි. පුද්ගලයාගේ පැවැත්ම මෙන්ම විනාශයේ රහසද ලෝකයේ මෙන්ම විශ්ව විනාශයේ ද රහසයි. එබැවින් පුද්ගල සිත මෙන්ම කය නිවැරදි ලෙස අධ්‍යනය කරන්නා වූ අයෙකුට ලෝකය විශ්වය තේරුම් ගැනීම අසීරු කාරණාවක් නොවේ.
“ලුජ්ජති, පලුජ්ජතිනි ලෝකෝ වුච්චති” ලෝකය කැඩෙන බිදෙන ස්වභාවය උසුලයි. සචේතනික අචේතනික වූත් සියල්ල ලෝකයයි. මේ සියල්ල විනාශ වේ. භෞතික වස්තූන්ගෙන් සමන්විත වූ පදාර්ථ සංයෝජනයකින් සමන්විත වූ ලෝකය තුළ ඇති සියල්ල සංස්කාරයන්ය.
“සබ්බේ සංඛාරා අනිච්චා” සියලු සංස්කාරයන් අනිත්‍යය. එබැවින් ඉර හද, ග්‍රහවස්තු, තාරකා සහිත මේ ලෝකය අනිත්‍යමය. විනාශ වීම කෙසේ නම් වලක්වන්නද? ස්ථිර නැති සියල්ල අස්ථිර නම්… මොහොතක් මොහොතක් පාසා විනාශ වෙමින් යළි හැදෙන වැඩෙන “සිත” “කය” දෙක හෝ අවබෝධ කර ගනිමින් එහි අනිත්‍ය බව දක්නට හැකි නම් කිසිවක් කිසිවෙක් විනාශ නොවන්නා වූ මෝක්ෂ පුරයට යා හැකිමය.
ලෝකය මැවු දෙවියන් වහන්සේ කෙනෙකු හෝ ඊෂ්වරයෙකු සිටියා නම් අපට බියක් දැනිය යුතුද නොවේ. විනාශයක් ගැන සිතිය යුතුද නොවේ. එසේ වූවා නම් මැවූ කෙනාම මෙය රැක ගැනීමට පියවරක් ගන්නා බැවිනි. එබැවින් භෞතික ලෝකය මෙන්ම අධ්‍යාත්මික ලෝකය තනා ගත්තේ “ඔබ” “අපම” බැවින් ආරක්ෂා කර ගැනීම හෝ විනාශයෙන් ගැලවීමේ මගද ඇත්තේ අප සතුවමය. චක්ඛු, සෝත, ප්‍රාණජීව්හා, කාය, මන යන ඉන්ද්‍රියන්හි එකමුතුව අභ්‍යන්තර ලෝකයයි. ඒ ඉන්ද්‍රියන් සමග යැපෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා සිත බාහිර ලෝකයයි. මේවා හදන්නේද වඩන්නේද… අපිමය. තෘෂ්ණාවට බදුන් කරන්නේද අපිමය. එබැවින් සියලු සංස්කාරයන් අනිත්‍ය බව අවබෝධ කරගන්නා තෙක් එය දුකකි. “යද නිච්චං තං දුක්ඛං” බුදුන් වහන්සේද දේශනා කළ සේක. එසේ හෙයින් මේ විනාශ වන ලෝකය තුළ කාරක නම් “සැපක්” ලැබෙන්නේද? උදේ පටන් රෑ වෙනකම් නින්දෙන් නැගිට නැවත නිදි විකාරයෙන්ම හැල්මේ “සැප” සොයා ඇදෙන හැමෝම සොයන්නේ ලෞකික ලෝකයේ සැපය ආධ්‍යාතමයේ සැපයක් කරගන්නට නොවේද? වැරදීම එතැනමය. එබැවින්ම ස්ථිර ලෙස ගත යුත්තක් නැති ලෝකයේ “සබ්බේ ධම්මා අනත්තා” සියල්ල අනාත්මය. එබැවින් වෙනස් වන විනාශ වන ලෝකයේ සැපයක් විදීමට නොහැකිව දුකට හූල්ලමින් සිටිමින් ගත යුත්තක් නැති අස්ථිර පැවැත්මක සසර පුරා ඉපිද ඉපිද මැරී මැරී දුක් විදිමින් යා යුත්තෝ වෙමුද? ත්‍රිලක්ෂණය අවබෝධ කරගනිමින් දමනය වූ සිතින් යුතුව ලෝකය අප තුළම දකිමු.
වෛද්‍ය සමන් කංකානම්ගේ