සුන්දරී… ජේතවනාරාමයට ආව ගියේ බුදුන් වදින්නටම නොවේ… බුදුන් පුදන්නට නොවේ. බුදුරජාණන් වහන්සේට අගරු කරන්නට සංවිධානය වූ පිරිසකගේ තාන්නමාන්න වලට ගිජු වීම මතින් නොමග ගොස් බුදුන්වහන්සේට අපවාදයක් ගෙන දීමේ අටියෙනි. නමුත් අන්තිමේ එම පිරිස අතින් මැරුම් කෑ සුන්දරිය සගවා තැබුවේද ජේතවනාරාමයේ පසුපස තිබූ පරමල් ගොඩේමය. කාන්තාවක් මරා සගවන්නට තරම් විශාල පරමල් ගොඩක් එදා ජීවමාන බුදුන්වහන්සේගේ කාලයේ ජේතවනාරාමය තුළ තිබුණේ බුදු පුදයට සැදැහැවතුන් ගෙන ගිය මල් ය. අදද අපි විසින් බුදුන් වහන්සේට සුවද මලින්, පහනින් පූජා කරන්නේ උත්තම වූ රත්නයක් වන නිසාවෙනි. අනික් අතට උන් වහන්සේ ජීවමානව නොසිටියත් උන්වහන්සේගේ ශාරීරික, උද්දේශික, පාරිභෝගික ත්‍රිවිධ චෛත්‍යයන්ට ගරු කිරීම වශයෙන් අපට මල් පහන් පූජා කළ හැකිමය. එය දෙලොව දියුණුව පිණිසම හේතු වේ. හැම බෝසත්වරයෙක්ම ජීවමාන බුදුන්වහන්සේ කෙනෙකු අරභයා මල් පූජා කරයි. සුවද වර්ග පූජා කරයි.
සීලගන්ධ නිප්පත්තියා ගන්ධං දෙති, තථා බුද්ධ ගුණ සොභා නිප්පත්තියා මාලා විලේපනං දේතී. යන්නෙන් පැහැදිලි වේ.
දස දාන වස්තු වලද සදහන් වන්නේ මතු දැක්වෙන දෑය.
- ආහාර පාන
- ගෙවල්
- වස්තු
- යාන වාහන
- මල්
- සුවද වර්ග
- යහන්
- ප්‍රදීප
- තෙල්
“ඉමිනා එකපදුමෙන චේතනා පණිධීහිච කප්පානං සකසහස්සං විනිපාතං න ගච්ඡාසි”
හංසයකු තමන් වහන්සේට පිදූ එක පියුමක් හේතු කොට ගනිමින් අවුරුදු කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි විනිපාත සංඛ්‍යාත දුගතියක නූපදින බව පියුමතුරා බුදුන් වහන්සේ දේශනා කළ සේක.
අනිත් අතට ජීවමාන බුදුන්වහන්සේට අපි එදා මල් පූජා කළේ නම් ඒ මතකය අද අවධි කරගන්නේ කෙසේද? සිතේ ඇතිවන උතුරා යන භක්තිය සුවද මලක් කොට පූජා කරන්නට අවශ්‍ය “මල” “පහන” නැමැති භෞතික අරමුණ ප්‍රතිභාග කරමින් නොවේද? අනිත් අතට… මතු හමුවන බුදුන්වහන්සේ කෙනෙකුට මලක් පහනක් පූජා කරන්නට නොදන්නේ නම්… අය අභාග්‍යයකි.
උපකට බුදුන් වහන්සේ මුණගැසිණි. ආගිය තොරතුරු විමසා “උපක” බුදුන් වහන්සේට ඔලොක්කුවට සිනාසිණි.
“ඡත්තමානවක” බුදුන්වහන්සේ දැක පැහැදී බණ අසා ලස්සන කවි තුනකින් ස්තූති පූජාවක් කළේය.
ඒ පුරුද්ද හා නුපුරුද්ද දෙදෙනා තුළ විද්‍යාමාන වූ බැවිනි. අද ද මල් පහන් පූජා කරන බුද්ධ පූජාව තබන පින්වතුන්ට ඔලොක්කුවට හිනාවෙන ඇත්තන්ට යන කළ දසාව ඔබට හිතා ගන්නට හැකියාව මේ තුළින් පැහැදිලි කරගත හැකිය.
වෛද්‍ය සමන් කංකානම්ගේ