උපේක්ෂාව
පක්ෂපාත බවින් තොර වූ අපක්ෂපාතී, අව්‍යාජ සිතින් දැකීම් නම් වූ උපේක්ෂාව පුද්ගලයාගේ සිත තුළ වර්ධනය කළ යුතු හොදම සාධු චර්යාවයි.
දුසිරිතෙන් පිරුණු පෘතග්ජන මිනිස් සමාජය තුළ නින්දා අපහාස ලැබෙන්නේ යහපත් අයට ම බව අමතක නොකරන්න. කවුරුන් හෝ කා හට හෝ බැණුම් පීඩාවන් ලබා දෙනවානම් ඒ නරක නොහොබිනා කෙනෙකුට නොවන බව මතකයට ළංකරගන්න.හැමවිටම අකුසලයෙහි ගැලෙන පුද්ගලයා අකුසලයේ ගැලෙන මිනිසා හා එයට අදාළ ක්‍රියාකාරකම් යටි සිතින් හෝ අගය කරයි. එවැන්නක් දොස් මුරය කරන්නේ යහපත් අයටම වීම හොදින් විමර්ශනය කර බලන්න. එවැනි කොතෙක් දුක්ඛ දෝමනස්සයන්, නින්දා අපහාස පැමිණියත් ඒ තුළ තමන්ට ඔරොත්තු දීමේ මනසක් ඇතිකර ගත හැකි නම් ඔහු ප්‍රඥාවන්තයෙකි. මන්ද යත් අෂ්ඨ ලෝක ධර්මයෙන් කම්පා නොවන්නේ උපේක්ෂාව පුරුදු පුහුණු කළ අයෙකු වීම නිසාමය. උපේක්ෂාව දීමේ පාරමිතාවන්ගෙන්ද එකකි. ධ්‍යාන ප්‍රීතිය, සුඛය දක්වා මෙහෙයවමින් එම ධ්‍යාන සුවයද ඕලාරික බව හගවමින් මධ්‍යස්ථ සිතිවිලි දහරාවක් ඔස්සේ ඥාණය අවධි කරගන්නේ උපේක්ෂාව වඩන අයකු වේ. උපේක්ෂාව කමටහන් ලෙස වඩන්නා සතරවන රූපාවචර ධ්‍යාන සිත් ලබන්නේය. ලාභ – අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා, සැප – දුක යන අෂ්ඨ ලෝක ධර්මයන් තුළ තැති ගැන්මක් නොමැතිව සිටින්නට ඔබට හැකිද? නොහැකි නම් ඔබ උපේක්ෂාව වැඩිය යුතුමය. ලොව සියලු මිනිසුන් කම්පනයට පත්වන්නේ ද බිය තුළ තෘෂ්ණාව වර්ධනය කරගනිමින් භව සංසාරය තුළ ඉපදි ඉපදී මැරී යන්නේද මේ අවබෝධය නොමැති වීම තුළින්මය.
බුදුරජාණන් වහන්සේ තරම් ජනතාව අතර සම්මානනීයත්වයට පත් වූ ශාස්තෘවරයෙකු නැතිවා සේම අපහාසයට, විවේචනයට ලක් වූ ශාස්තෘවරයෙකු ද නැත. පිඩු සිගා වඩින බුදුන් වහන්සේ ට “වසලයා” යනුවෙන් අමතන විටත් උපේක්ෂාවෙන් එය සිත තුළ දරාගත් බුදුන් වහන්සේ වසලයෙකු වන්නට හේතුව පහදා දී එම බමුණා බුදුන් වහන්සේ ගේ දහම තේරුම් ගන්නා තරමට මනසද අවධි කරමින් වැඩ සෑදූ සේක.
දරමිටි බඩ බැදි කාන්තාවන් ලවා අපහාස කරවූවාය. රුවැති ළදුන් මරා පරමල් ගොඩවල සැගවූවාය. බීමත් කොල්ලන් ලවා තෝ හොරා, තක්කඩියා ආදී ලෙසින් අවනම්බු කළාය. බුදුන් වහන්සේ ලොවට , දුන් ආදර්ශ පාඨය මෙන්න….
” ඔබට අපහාස කරන විට ප්‍රතිවචන නොදෙන්න. එවැනි අවස්ථාවලදී ඔබ බිදුණු ඝාණ්ඨාරයක් ලෙසින් නිහඩව සිටින්න. ඔබ එසේ කරන්නේ නම් නිර්වාණය සාක්ෂාත් නොකළත් නිවන් ලද්දා වැනි යැයි මම පවසමි” යි බුදුන් වහන්සේ දේශනා කළ සේක.
උපේක්ෂාවේ පොදු හතුරා රාගයයි. එහිද අනියම් සතුරෙකු සිටී. එය මෝඩ උදාසීනත්වය යි. උපේක්ෂාව වැඩීම තුළ අවිද්‍යාව හා ව්‍යාපාදය තුනී වී යයි. ප්‍රිය අප්‍රිය සියලු දෙනාටත් සියලු දේටත් එක සේ සිත් මධ්‍යස්ථ කරගන්නා ඔහු සාධුවරයාටත්, දරුණු අපරාධකරුවාටත් යන දෙදෙනාටම මධ්‍යස්ථ සිතිවිලි ජනිත කරගනී.
ඒ අනුව,
මෛත්‍රිය – සියලු සතුන් වෙත මෙහෙයවයි.
කරුණාව – දුක් විදින්නන් වෙත මෙහෙයවයි.
මුදිතාව – යහපත තුළ ගැලෙන අය වෙනුවෙන් මෙහෙයවයි.
උපේක්ෂාව – හොද නරක, ආදර අනාදර, ප්‍රසන්න අප්‍රසන්න අය වෙනුවෙන් මෙහෙයවයි.
මේ සියල්ල තුළ තුළ සිදු වන්නේ, එනම් සාධු චර්යාව නම් වූ බ්‍රහ්ම චර්යාව තුළ සිදු වන්නේ වස්තු කාමයෙන් වෙන් වූ, ක්ලේශ කාමයෙන් වෙන් වූ අරමුණක පිහිට වූ සිතක් අරමුණ තුළ දැහැන්ගත වෙමින් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා ආදියෙන් ඉවත් වූ ප්‍රීති සුඛ ඇති උපේක්ෂා ස්මෘතියෙන් ගොඩනගා ගන්නා ප්‍රථම, දෙවන, තුන්වන, සතරවන ධ්‍යානාංග ඔස්සේ ඥානය දිනා ගැනීමටයි. ඒ ඥානය තුළ ප්‍රඥාවත් ප්‍රඥාව තුළ විදු ඇසත්, විදු ඇස තුළින් විශ්වමය ආලෝකයත් එම ආලෝකය තුළින් අවිදු අදුර ජයගනිමින් නිවන කරා සිත මෙහෙයවිය හැකිමය. එබැවින් එම ඥානය අවධිකර ගැනීමට ඔබ විසින් සාධු චර්යාව නම් වූ සිව් බඹ විහරණ පුරුදු පුහුණු කළ යුතු බවත්, මෙතෙක් සිතා සිටි අනුකම්පා, කණස්සල්ල නොතකා හැරීම හා නිහඩව සිටීම යන කාරණා සතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා නොවන බව ඔබ අවබෝධ කරගත යුතුමය.