තමා සමග නොවෙනස් හැගීමෙන් දිව්‍ය කුමාරිකාවන් පැරදූ ලස්සනකට හිමිකම් කියූ යසෝදරාවටත්, ඉපදී සිටින පුංචි කුමාරයා හට පියෙක් ලෙස වගකීම් ඉටුකරන්නටත් වඩා ඔවුන් වෙනුවෙන් මෙන්ම ලෝක සත්වයා වෙනුවෙන් ඉටුකරන්නට ඇති මහා උත්කෘෂ්ඨ වැඩකොටස ඉටුකිරීමට තව තවත් අධිෂ්ඨාන කරගත් සිද්ධාර්ථ කුමරු තමාගේ හිතවත්ම අශ්වාරෝහකයා වූ ඡන්න සමග මාළිගාවෙන් පිටත්වන්නට තීරණය කළේය. තම දේවිය සමග පුත් කුමරා සුව නින්දක, සිරියහන් ගබඩාවට ගමන් කළ සිද්ධාර්ථ කුමරු එළිපත්ත මත විශාල උළුවස්සට වම් උරහිස බරදී මදක් සිතන්නට වන්හ.මා ආදරය කරන යශෝධරාව… මා අද තනිකර දමා යන්නේ අහිතකින් නොවේ. මගේ පුංචි දරුවා අමතක කර යන්නේ අහිතකින් නොවේ. දුකින් තැවෙන මිනිස් සත්වයාට පිළිසරණක් සොයන්නටමයි.දිනක මා හොදම හොදම පියා වේවි. .. දිනක මා ජීවිතයේ හොදම කළණ මිතුරා වේවි. මා ඔබ දෙපළගෙන් සමුගන්නවා…. සිතමින් සෙමින් සෙමින් ඔවුන්ගෙන් ඉවත් විය. යසෝදරාවත්, පුංචි රාහුල කුමරුවන්ටත් ඕනෑවට වඩා ආරක්ෂාව, පිළිසරණ ඇති බව දන්නා සිද්ධාර්ථ කුමරු තම රාහුල පුතුට මෙන්ම දුකින් තැවෙන සියලුන් සත්වයන්ට ම පියෙකු වන්නට අධිෂ්ඨාන කරමින් ඡන්න සමග කන්ථක අසු පිටින් සිත්සැප දෙන මාළිගා, සුදොවුන් රජ වැනි පිය කෙනෙකු, නොවෙනස්ව සිටි යසෝදරාව මෙන්ම කළණ මිතුරන් වගේම ආදරැති පුත් රාහුලද සිතින් අමතක කර අතෙහි පිච්චියක් හෝ නොමැතිව ඇදි සළුපිළි සමගම අනෝමා ගංතෙර මැදියම් රාත්රියේදී ම පසුකර යන්නට සිතා ගමන් ඇරඹීය. ඒ සිද්ධාර්ථ බෝසතුන්ගේ අභිනිෂ්ක්‍රමණයයි. මේ වන විට සිද්ධාර්ථ බෝසතුන්ගේ වයස යන්තම් අවුරුදු 29ක් වූවා පමණි. රැකී රක්ෂාවක් කරගැනීමට නොහැකි නිසා, කළකිරී නොවේ… ගිහිගෙය ගෙවා ළමා ළපටින් හදා වඩා වයසට යන විට තපසට ගියා නොවේ… අත්හරින්නට කිසිවක් නොතිබුණු දෙමාපිය දූ දරුවන් නොමැති තනිකඩයෙකු තපසට ගියාවත් ද නොවේ. සැප සම්පත්, බලය, කුලය ආදී සියල්ලෙන් පිරුණු තවමත් හිරිමල් වයසේ පසුවන නාඹර තරුණයෙකු කල නෛෂ්කම්මයකි. අභිනිෂ්ක්‍රමණයකි.
මැදියම් රාත්‍රිය පසුකර අනෝමා ගංතෙර පසුකර ගත් සිද්ධාර්ථ කුමරු අනෝමා ගංතෙර මදක් ගිමන් හරිමින් කල්පනා කළේය. වහා නැගිටගත් ඔහු දැළි රැවුල බාගෙන කෙස්වැටිය කපා තමා ඇදි සළුපිළි ආභරණ ඡන්න අතටදී පිය රජුට භාරදෙන්නයි පවසා තපස් චීවරයක් හැදගත්තේය. දැන් මේ රජකුමරා තවදුරටත් රජ කුමරෙකු නොවේ. අතේ තමන්ට කියා කිසිවක් නැති “අපිස්” ජීවිතයකට හිමිකම් කියන්නෙකි. කොටින්ම කිවහොත් කාගෙන් හෝ ලැබෙන යමකින් ජීවිතය රදවා ගන්නට හා ඒ මත යැපෙන තවුස්වරයෙකි. හිසට පින්නත්, වැස්සත්, අව්වත් එක සේ පීඩා දෙද්දී තුරු සෙවණක්, ගල් ගුහාවක් වාසස්ථාන කරගනිමින් මැසි මදුරු උවදුරු මැද දිවා රෑ තමන්ගේ එකම අභිප්‍රාය වූ මෝක්ෂය සොයාගැනීමේ මග සොයා ගැනීමට වෙහෙසීය.