බිළාල ජාතකය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි එක් වංචනික ප්‍රයෝගකාරී භික්ෂුවක අරඹයා මෙම ජාතක කතාව දේශනා කළ සේක.

ජේතවනාරාමයේ වාසය කළ එක්තරා භික්ෂුවක් සෙසු සංඝයා වහන්සේට බෙහෙවින් වංචා කරයි. ප්‍රයෝග කොට රවටයි. මේ බව වටහා ගත් භික්ෂූහු එම භික්ෂුව කැදවා ගෙන බුදු හිමි හමුවට ගොස් ඔහුගේ එම නොමනා කටයුතු ගැන දන්වා සිටියහ. ඒ ඇසූ බුදුන් වහන්සේ “මහණ,නුඹ වංචා ප්‍රයෝග කරන්නේ දැ” යි භික්ෂුවගෙන් විමසූ විට “එසේය ස්වාමීනී” යි භික්ෂුව පිළිතුරු දුන්නේය. “මහණෙනි, මේ භික්ෂුව දැන් පමණක් නොවෙයි, පෙරත් වංචා ප්‍රයෝගයෙහි යෙදුනේය” යි වදාරා භික්ෂූන් විසින් ආරාධනා කරනු ලැබ මේ ජාතකය වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්තනම් රජ කෙනෙක් රජකම් කරන සමයේ බෝධි සත්වයෝ මීයෙකුව උපන්හ. ශරීර ප්‍රමාණයෙන් විශාල වූ ඔහු සිය දහස් ගණනක් වූ විශාල මී රංචුවකට නායකයාව මහා තුඹසක වාසය කළේය. ආහාර සොයමින් ගිය එක් සිවලෙක් එම විශාල මී රංචුව දැක උපායක් යෙදුවොත් උන් රවටා පහසුවෙන් ගොදුරු කරගත හැකියයි කල්පනා කළේය.

දිනක් මේ සිවලා බෝධිසත්ව මී නායකයා යන මාර්ගය අසල නැගෙනහිරට මුහුණලා කට හැරගෙන පාද තුනක් ඔසවා ගෙන එක පයකින් සිට ගෙන උන්නේය. බෝධි සත්වයෝ ඌ දැක ලං වී “නුඹ කවරෙක්දැ” යි ඇසූහ.

“මම ධාර්මික නම් තවුසෙක්මි” සිවලා කීය.

ඉක්බිති ඔවුන් අතර මෙබදු සංවාදයක් විය.

“තවුසාණෙනි, ඔබ එක් පයින් සිටින්නේ ඇයි?”

“මා සතර පයින් සිටියොත් පොළවට මා උසුලාගත නොහැකිවන නිසාය”

“කට හැරගෙනම සිටින්නෙ ඇයි?”

“මම සුළගින්ම යැපෙන බැවින් කටින් සුළං අල්ලා ගනු පිණිස යි”

“නැගෙනහිරට මුහුණ ලා සිටින්නේ ඇයි?”

“සූර්යය දිව්‍ය පුත්‍රයන්ට ගෞරව කරනු සදහා ය.”

මෙබස් ඇසූ නායක මීයා ඔහු කියන්නේ සැබෑවක් යයි පිළිගෙන ඔහු යහපත් ගතිගුණ ඇත්තේකැයි විශ්වාස කළේය. එතැන් සිට ඔහු තම පිරිස සමග දවසට දෙවරක් එහි විත් සිවලාට ගෞරවාදර දක්වන්නට විය. ඒ හැම අවස්ථාවකම සිවලා තමන් කරා විත් ආපසු යන මී රැලෙන් පසු වී යන එකෙක් අල්වාගෙන කා, කටේ ලේ පිසදමාගෙන වහාම තාපස ඉරියව්වෙන් යළි සිටියේය. ටික කලක් මෙය සිදුවන විට තම පිරිසේ සංඛ්‍යාව අඩු වන බව හැගුණු මීයෝ නායක මීයා අමතා මෙසේ කීහ.

“ස්වාමීනී, පෙර අප මේ තුඹස තුළ වාසය කළේ එකිනෙකාගේ ඇගේ හැපෙමින් තෙරපී ගෙනයි. දැන් එවැන්නක් නැත. පිරිස තුනී වී ගිය බවක් ඉන් පෙනේ.මේ ගැන සොයා බලනු මැනවි.”

ඒ කතාව ඇසූ නායක මීයා පිරිස අඩු වීමට හේතුව සිවලාගෙන් සිදුවන උවදුරක් විය හැකියැයි සිතා ඒ බව පරීක්ෂා කරන්නට විය. දිනක් සිවලා දැකීමට විත් ආපසු යන ගමනකදී නායක මීයා සෙසු මීයන් හැම ඉදිරියෙන් යවා තමන් පසු වී ගමන් ගත්තේය. සිවලා එතෙක් කල් කළා මෙන් පසු වී ගිය නායක මීයා මතට පැන්නේය.

සූදානමින් සිටි වහා උගෙන් ගැලවුණු නායක මීයා “නුඹ මෙතෙක් රැක ඇත්තේ බළලුන් රකින සීලය වැන්නකි.” තපස් රකිමියි බොරුවෙන් අනුන් රවටා කළ මහා වංචාවට දඩුවම් දෙමි” යි සිවලාගේ බෙල්ලට පැන උගේ ශ්වාසනාලය හපා ඌ මරණයට පත් කළේය. ඒ දුටු සෙසු මීයෝ දුවවිත් සිවලාගේ සිරුර මතට පැන එය රැල් රැල් කොට කටින් ලියා දැමූහ. ඊට පසුව සතුරු උපද්‍රව රහිතව විසූ මී පිරිස ආයු කෙළවර මරණයට පත්වූ හ.

බුදුරජාණන් වහන්සේ  “මහණෙනි, එසමයෙහි බොරු සිල් රැකි සිවලා නම් මේ භික්ෂුවය. මී රැළට නායකයා ව සිටියේ දැන් බුද්ධත්වයට පත්ව සිටින මම් ම වේදැ”යි අතීත කතාව සහ වර්තමාන කතාව ගළපා වදාළ සේක.

උපදේශය:- වංචාකාරයාට හැමදෙන හැමදා රැවටිය නොහැකිය.

කල්ප ලොකුවිතාන.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *