මරණයට පෙර විශ්ව යථාර්තය සොයා, නිර්වාණ ශාන්තිය සොයා, සැපත සොයා, සතුට සොයා, අනේක විද දුක් කදක් දරමින් ගමන් කරන සත්ව සංහතිය තුළ, තවත් එක් අංශු මාත්‍රයක් වන අප, පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරය නොදැකීම කෙතරම් අවාසනාවක්ද? මරණය අභියස දෑස් දල්වා,බලාපොරොත්තු සමග කළ පොරය අවසන්ව ඇති බව දැනුණු කල්හි, අපට කුමක් නම් සිතේද?මදක් සිතන්න…
හැගීම් තුළ වහල් වූ ඔබගේම උණුවන හදවත, ඔබ වෙනුවෙන්ම හඩා වැළපෙන විට දැනෙන වේදනාව, ඔබට ලොව ඇති විශාලතම ගැටළුව වුවත්, ඔබගේම සංසාර සාගරය තුළ එය තවත් එක් කුඩා සෙලවීමක් පමණි. එය තුළ ඔබට ඔබ වෙනුවෙන් ඔබවත් නොමැත. ඉතින් අන් අයගේ පිහිටක් පැතීම තවත් එක් විහිළුවකි.
තමන් හිසට තම අතමය සෙවනැල්ල…!
අනුන් බලා සිටියොත් වෙයි වැනසිල්ල…! යැයි කීවේ එබැවිනි.
පුරහදක් පායා එම කිරණ වැටුණු කළ මිහිමඩල කොතරම් ආනන්දනීයද? බුදු කෙනෙකු පහළව විසුරුවන දම් කිරණද එලෙසම සිත් මඩල සරසවනු ඇත. එම අහස තුළ පැයූ තරු කැට මෙන්, බුදු අහස පුරා රහතුන්ගෙන් පිරුණු කළ, අප වැනි වුන් එහි රසය ගැන කවි ලියනු ඇත. ලිපි ලියනු ඇත. පුද පූජා තුළ ඔහෙ ඔහේ ජීවිතයම යාවෙන්න ඉඩ හරිණු ඇත. එය තුළින් තවත් සදක් හා තරු කැට බිහිවනු ඇත. මෙම රසය නොවිදි සිත් කුමට? (මේ එළඹෙමින් ඇත්තේ එවන් තවත් එක් අසිරිමත් කාලයක අවසානයයි.) මිනිසුන් එකිනෙකා ඇනකොටා ගනිද්දී, චුන්දසූකර ඌරන් සිය ගණන් තමන් වහන්සේ ඉදිරියේදීම මරද්දී, කොසොල් රජයේ සිර ගෙදර මිනිසුන් උල තියද්දී, අංගුලිමාල දහස් ගණන් මිනිසුන් මරද්දී, බිම්බිසාර රජු තම පුතුගෙන් මැරුම් කද්දී, බුදු ඇස එම ජීවිත බේරා ගැනීමට හෙළන ලද්දේද?…නැත…! බොළද වූත්, තණ්හාවට දාසයන් වූත්, මෝඩ පුහුදුන් සිත් පමණක් එය බුදුන්ගේ අකාරුණික බව යැයි පවසනු ඇත. සත්වයින්ගේ රෝගපීඩාදියට හෝ යම් එක් මරණයකින් ගලවා ගැනීමට හෝ පමණක් බුදු ඇස, බුදු බලය නොසෙල්වෙයි. එදා දෙව්‍රම් වෙහෙරෙන් දම් හඩ පැතිරෙද්දී මෙම මහ පොළොව තුළ, අයුක්තිය අසාධාරණය මත මරු දුටු සත්වයෝ අනන්තය. බුදුන් වහන්සේගේ දම් පද අසන්නට ගිය දහස් සංඛ්‍යාත මිනිසුන්ගෙන් පයට පෑගි මිය ගිය කෝටි සංඛ්‍යාත සත්වයින් පිළිබදව ඔබට සිතී තිබේද? සියලු සත්වයන් කෙරෙහි කරුණාවට ප්‍රථම ඔබ ගැනම කරුණාවෙන් සිතන්න. බෝසත් සිතක, ආර්යය උතුමෙකුගේ සිතක, රහත් සිතක, බුදු සිතක, කරුණාවේ තරම් මැනීමට තරම් ඔබ සුදුසුද කියා…!
මන්ද ඔබගේ අවතක්සේරුව ඔබගේම අවාසනාවේ තරමට සමාන වන බැවිනි.
බුදු බලය විහිදීමට මග සලසා තමාට අවාසනාවක් එක්කරමින්, බුදු සිරිත සැරසූ ආලවකලා, මාගන්ධියලා, චුන්දසූකරලා වැනි අය අතර බුදුන් වහන්සේට දමනය නොවූවෙක් නොමැත. දමනය නොවූ දේවදත්ත හාමුදුරුවන් පවා මරණ මංචකයේදී තමාගේ සියලු වෛර ක්‍රෝධ අත් හැර පසේ බුදු වීමට නියත විවරණ ලැබීමට තරම් බුදු සිතට අවනත විය. එය බුදු වරයකුගේ ක්ෂණික හැකියාවක් නොවේ. බෝධි සම්භාර පුරන අසංඛ්‍යාදී කාලයක් තුළ පුරන පාරමිතාදී ප්‍රතිපදාවන් තුළින් ලබන පුරිසදම්ම සාරතී නම් වූ බුදු ගුණයයි. උන්වහන්සේ ඒ ඒ සියලු භවයන් හීදී කරුණා ඇති අය ඉදිරියේ මහා කරුණාවක් පෑ සේක…! යක්ෂයන් ඉදිරියේ යක්ෂ වෙස්ගත් සේක…! සිල්වතුන් ඉදිරියේ මහා සිල් රැක් සේක…! භාවනායෝගීන් ඉදිරියේ මහා ශ්‍රාස්තෘන් වූ සේක…! මෙහි අවසානය ආලවකට, අංගුලිමාලට මෙන්ම, සෝපාකට සුනීතටද බෙදා දුන් එකම එක මහා කරුණා ඇස පමණි. එබැවින් අකාරුණික කරුණාව හෙවත්, බොළද කරුණාවෙන්, බැහැරව වඩා ගැඹුරු මහා කරුණාව පිළිබදව ඔබගේ සංකල්පය වැඩි දියුණුකොට එය තුළින් ආර්යය උතුමන් පිළිබදව සිතා බලන්න. මන්ද… එම තක්සේරුව ඔබගේම වාසනාවේ තරමට සමාන වන බැවිනි.
මෙම සංසාර ගමන් මග අති බිහිසුණුය… එහෙත් මෝහයෙන් වෙළුණු මිනිසා මෙවන් සුන්දර ජීවිතයක් තවත් නැතැයි සිතා එයටම ඇළුම් කරමින් ඒ බිහිසුණු මගේම වෙලීමට, උත්සාහ දරයි… ඒ උත්සාහය තුළ තමා ගැනම පමණක් සිතා අන් අය පීඩාවට හෙළයි… අපහාස කරයි. මෙතුළ ඔබ එක් කරන්නේ සුන්දර බවද? නැත අය අති බිහිසුණු අපායට මගයි.
එසේනම් දැන් ඔබට මෙය සිතන්නට කාලයයි. මරණ මංචකයේදී පශ්චාත්තාප වනවාට වඩා දැන්ම සිට ඒ සදහා යහපත්ව මුහුණ දීමට සිත වඩවා ගැනීමට සුදුසු පියවර ගැනීමට කාලයයි. නිවැරදි මග දකින්නට, කලණ මිතුරු ඇසුර ලබන්නට, ඔබේ මග එළිය කරන්නට, තමා ගැනම කරුණාවෙන් සිතන්නට, අවදි වන්නට කාලය පැමිණ ඇති නිසාවෙනි…
බුදු මග යන බෝසත් සිතක් දන් දෙන්නේ ආර්යය මග යන උතුමන්ටය. කුස ගින්නේ සිටින හොර තක්කඩියන්ට නොවේ. ආර්යය මගට බාධා කරන්නන් හට දැඩි ලෙස ක්‍රියා කරන අතර ආර්යය මග යන්නන් වෙනුවෙන් ජීවිතයෙන්ම කැප වෙයි. මිනිසුන්ගේ රෝගපිඩාදිය දෙවෙනි තැනද, පළමු තැන සිත තුළ සංසාර රෝග සුව කිරීමටද, යොදවයි. ඔබටත් එවන් අය හමුවී ඇත්නම්, එය ඔබගේ සංසාර මාර්ගයේ මහා මංගල කාරණයකි. එබැවින් වහ වහා ඔවුන් හා එක්වන්න. කිසි දිනෙක අත් නොහරින්න. මන්ද… ඔවුන්ගේ කරුණාවේ බලය තුළින් ඔබගේ අකාරුණික බව සෝදා හරිණු ලබන බැවිනි. ප්‍රඥාධික බෝසත් මගක, ඉතා අඩු කාලයකදී, උතුම් දම් සභා මණ්ඩපයක් නිර්මාණය වෙද්දී, ඒ බෝසත් සිතට හමුවන වැඩි පිරිස, වාසනාවන්ත අවාසනාවන්තයෝය. මන්ද බෝසත් සිතක් හමුවීමට වාසනාව ඇති මුත්, එම වේගයෙන් ගමන් කිරීමට නොහැකි වන තරමට සිත බොළද වීම මහා අවාසනාවකි. ඔවුන්ට නිවන බොහෝ දුර වන්නට ඇත. එබැවින් ඔබද වහ වහා ඔබගේ මෙන්ම අන් අයගේද දන්නා මුත් අවදි නොවූ කරුණාවේ නියම සම්මා සංකල්පය අවදි කොට ගෙන එම වේගයෙන් ගමන් ගෙන බුදු සද අභියස දිදුළන තරුවක් ලෙස පායා නිවී සැනසේවා…!
යමෙක් මෙතුවක් කල් නිද්‍රාශීලී වුවද එය ඔහුගේ මෝහයයි. යමෙක් මෙතුවක් අනුන්ට වළ කැපුවාද, එය ඔහුගේ ද්වේශයයි. යමෙක් මෙතුවක් කල් පීඩා වින්දාද අන් අයට තමාට වැඩි යමක් ඇතැයි සිතුවාද එය ඔහුගේ ලෝභයයි.
එසේ නම් අවදි විය යුත්තෝ කවුරුන්ද? එය නිර්ණය ඔබටම හිමිය. එය අවදි කරවිය යුත්තන් අතර ඔබත් සිටීද?
වහ වහා බලන්න…!! වහ වහා අවදිවන්න…!! මක් නිසාද යත්… ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් බැවිණි…!!!