තමාම තමාට අවවාද කර ගැනීම

තමාම තමාට අවවාද කර ගැනීම

එක් සිටු පුත්‍රයෙක් සිය පියාගෙන් දියුණු වීමට හේතුවන කරුණු මොනවාද”යි ප්‍රශ්නයක් ඇසුවේය. මෙය පැහැදිලි කර දීමට සිටුවරයාට නොහැකි වූ හෙයින් ඔහු සිය පුත්‍රයා කැටිව බුදුන්වහන්සේ සමීපයට ගොස් මේ ප්‍රශ්නය බුදුන්ගෙන් විචාළේය. මෙයට පිළිතුරු වශයෙන් දියුණු වීමට හේතුවන කරුණු 6ක් පිළිබදව බුදුන්වහන්සේ දේශනා කළහ.

  1. නීරෝගීකම
  2. කායික හා වාචසික පාලනය
  3. වැඩිහිටියන්ට ගරු කිරීම සහ අවවාද පිළිගැනීම
  4. යහපත් දේවල් ශ්‍රවණය කිරීම
  5. ධාර්මික ජීවිතය
  6. කම්මැලි නොවීම

මෙම කරුණු අතරින් විශේෂ‍යෙන් අද සමාජයට ගැලපෙන එක් කරුණක් අවධානයට යොමු කරමු. එනම්, “වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිගැනීම” යන කරුණයි. වත්මන් සමාජය දෙස බලන විට අපට පෙනී යන එක් කරුණක් නම් බාල සහ තරුණ පරම්පරාව වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා හා උපදෙස්වලට සවන් දීමට හෝ ඒවා පිළිගැනීමට මැලිබවක් දැක්වීමයි. තමාට උපදෙස් දුන් මවට ද දෝෂාරෝපණය කොට සිය දිවි නසාගත් තරුණියක් පිළිබද පුවතක් මෑතක පුවත්පතක ද පළවී තිබුණි. සමහර දරුවන් දෙමාපියන්ගේ උපදෙස් අවවාද පිළිගැනීමටත්, සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගුරුවරුන්ගේ උපදෙස්, අවවාද පිළිගැනීමටත්, සමහර ශ්‍රාවක ශ්‍රාවිකාවන් පූජ්‍ය පක්ෂයේ උපදෙස් අවවාද පිළිගැනීමටත්, එතරම් කැමැත්තක් නොදක්වන බව අපට දක්නට ලැබෙන කරුණකි. අද පවත්නා විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව අතින් හා වාණිජ්‍යය මත පදනම් වූ ලෞකික පැවැත්ම අතින් තමන් දෙමව්පියන්ට, ගුරුවරුන්ට හා පූජ්‍ය පක්ෂයට වඩා ඉහළ තත්ත්වයක තමන් සිටින බවට හැගීමක් බාල හා තරුණ පරම්පරාව තුළ ගොඩනැගෙමින් පවතින බව දක්නට අසන්නට ලැබේ. දිනපතා විවිධ මාධ්‍ය තුළින් ප්‍රචාරය වන නොයෙකුත් සිද්ධීන් මෙයට නිදසුනකි.

බුදුන් වහන්සේ වැඩිහිටියන් කොටස් පහකට බෙදා පෙන්වා දුන් සේක. ඥාණ වෘද්ධ ,ගුණ වෘද්ධ, සීල වෘද්ධ, තපෝ වෘද්ධ සහ වයෝ වෘද්ධ යනුවෙනි. ඥාණයෙන්, ගුණයෙන්, සීලයෙන් දැහැමි බවෙන් හෝ වයසින් මුහුපුරා ගිය සියළුම වැඩිහිටියන්, දෙමාපියන්, ඥාතීන්, මිතුරන්, ගුරුවරුන් හා පූජ්‍ය පක්ෂය යන කුමන තරාතිරමක හෝ වැඩිහිටියන් තුළ විශාල ඥාණමය, ගුණාත්මක, ධාර්මික දැනීම් සම්භාරයක් මෙන්ම ජීවිතය පිළිබද ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක්ද ඇත. එම නිසා ඔවුන් දෙන උපදෙස් අවවාද අපගේ ජීවිත, ලෞකික, ආධ්‍යාත්මික යන අංශ දෙකෙන්ම දියුණුව කරා ගෙන යාමට හේතු වේ. එසේම එම අවවාද උපදෙස් පිළිනොගන්නා අයගේ ජීවිත පරිහානියට ලක් වන බව අප සිතට ගත යුතුය.

වැඩිහිටියන්ගේ අවවාද, උපදෙස් පිළිගැනීමට දැඩි අකැමැත්තක් ඇති අයට අනුගමනය කළ හැකි ක්‍රමයක් ධම්ම පදයේ සදහන් වේ. එනම් තමාම තමාට අවවාද කර ගැනීමයි. ඒ පිළිබද කතා පුවත මෙසේය.

ආනන්ද තෙරුන් වහන්සේට එක් සිගාකමින් ජීවත්වන ළමයෙකු හමුවිය. ඔහු කෙරෙහි රහත් වීමට තරම් වාසනාගුණයක් තිබෙන බව අවබෝධ කරගත් ආනන්ද තෙරුන් වහන්සේ ළමයා සමග කතා කළේය. “මෙසේ සිගමන් යදිමින් ජීවත්වනවාට, දුක් විදිනවාට වඩා මහණ වීම නරකද?”යි ප්‍රකාශ කළ විට “අප වැනි දුප්පතුන් මහණ කරගන්නේ කවුදැ”යි ළමයා ඇසුවේය. මහණ වීමට දුප්පත් බව බල නොපාන බවත් අවශ්‍ය වන්නේ තමාගේ කැමැත්ත බවත් ආනන්ද තෙරුන් වහන්සේ පැවසූහ. ළමයා මහණ වීමට කැමැත්ත දැක්වූ පසු ආනන්ද තෙරුන් වහන්සේ ඔහු මහණ කළ සේක. ඔහු පිළෝතික තෙර යනුවෙන් හදුන්වනු ලැබීය. මහණ වූ පසු ඔහු තමාගේ සිගන රෙදි කඩ හා පොල් කටුව ගසක තැන්පත් කර තැබීය. හොද සිවුරුත්, රසවත් ආහාරත් ලැබී ඔහු සුවසේ කල් ගත කළේය. ටික කලක් ගත වූ පසු නව පැවදි ජීවිතය කෙරෙහි ඔහු තුළ කලකිරීමක් හටගත්තේය. ඉන්පසු ඔහු තමාගේ කුණු හිගන ඇදුම හා පොල් කටුව තැන්පත් කර තිබූ ගස ලගට ගොස් එය ඇදගත් යළි සිගමනේ යාමට සැරසුණේය. සිවුරු ගලවා තබා හිගන රෙදි කඩ හැදගැනීමට සැරසෙත්ම ඔහුම ඔහුට මෙසේ අවවාදයක් කරගත්තේය.

“හොද සිවුරු හා රස මුසු ආහාර ලැබෙන්නා වූ මෙම සසුන් හැර දමා යළිත් කුණු රෙදි කඩ හැදගනිමින් සිගමන් යදින්නට යන්නට නුඹට ලජ්ජා නැද්ද? මෝඩ කොලුවා.” යනුවෙන් ඔහුගේම සිත ඔහුට පැවසීය. මෙසේ කීප වරක්ම තමාම තමාට අවවාද කරගෙන එම අවවාදයේ පිහිටා සිට නොපසුබට උත්සාහයෙන් යුතුව විදසුන් වඩා රහත් ඵලයට පැමිණියේය.

මෙම කාරණය අරබයා, බුදුන් වහන්සේ තම තමන්ගේ සිත් තුළ ඇතිවන අකුසල්  යළිත් ඉපදෙන්නට ඉඩ නොදී මනාකොට පිළිවෙත් පිරීමෙන් මහත් වූ සසර දුක් දුරු කරගත හැකි බව මෙම ගාථා දෙක වදාළ සේක.

හිරී නිඝොටො පුරිසො

කොචි ලෝකස්මිං ව්ජ්ජති

යො නින්දං අප්ප බොධති

අසෙස්සා භද්‍රො කසාමිච

අසෙස්සා යථා භද්‍රො කසා නිවිටෙඨා

ආතාපිතො සංවේගිනො භවාථ

සද්ධාය සීලෙනව විරියෙනව

සමාධිනා ධම්ම විනිච්ඡයෙනච

සම්පන්න විජ්ජාචරණා පතිස්සිනා

පහසසථ දුක්ඛමිදං අනප්පකං

මෙහි පළමුවන ගාථාවෙන් කියවෙන අදහස නම්, “උතුම් ආජානේය අශ්වයෙක් කසපැහැර කෑමෙන් වැලකී සිටීමට, වැරදි කිරීමෙන් වැලකී සිටින ආකාරයට ලජ්ජාවට හ නිද්‍රාවට පත් වීමෙන්  වැලකී සිටීමට අකුසල් කිරීමෙන් වැලකී සිටින පුද්ගලයන් ලොව සුලභ නොවේ. දෙවැනි ගාථාවේ අර්ථය වන්නේ යම් ප්‍රමාදයක් නිසා කස පහර ලැබුවත් ඉන්පසු ලජ්ජාව නිසා වැරදි නොකරන උතුම් අශ්වයකු  ලෙස කෙලෙස් තවන වීර්‍යය, සිල්වත් බව, සමාධිය විදර්ශන නුවණින් ධර්මය ඉගනීම විද්‍යාව හා චර ධර්මයන්ගෙන් යුතුව සිටීමද යෝ නිසෝ මනසිකාරය වඩමින් කෙලෙස් දුරු කරගත යුතු බවය.

මෙම බුද්ධ වචනය අනුව යමින්, අප කෙරෙහි දයාවෙන් අනුකම්පාවෙන් උපදෙස් දෙන වැඩිහිටියන්ට ගරු කිරීමත් ඔවුන්ගේ උපදෙස් පිළිපැද අපගේ ලෞකික හා ලෝකෝත්තර දියුණුව සලසා ගැනීමටත් අඩු තරමින් තමගේ වැරදි අවබෝධ කර ගැනීමටවත් තමාම තමාට අවවාද කරගනිමින් වැරදි ක්‍රියාවන්ගෙන් වැලකී සිටීමටත් අධිෂ්ඨානය කර ගනිමු.

කේ. ඩී. එස්. එදිරිසිංහ

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *