අභිධර්මය අනුව දානය හා වැදෑරුම් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එනම් රූප දානය,සද්ද දානය, ගන්ධදානය, රස දානය, පොට්ඨබ්බ දානය, ධම්ම දානය යනුවෙන්
රූප දානය – වශයෙන් හදුන්වනු ලබන්නේ විවිධ වර්ණයේ මලින් බුදුන් පිදීමද, විවිධ වර්ණයේ වස්ත්‍ර දීමද, ශරීරය පැහැපත් කිරීමට අවශ්‍ය වන විවිධ ආලේපන හා ගෙවල් විහාරස්ථාන, වස්ත්‍ර, සිවුරු ආදීය වර්ණවත් කීරීමට ගනු ලබන වර්ණ ආදී දීමත් ය.
සද්ද දානය – යනු හඩ දීමයි. ශබ්දය පූජාවක් ලෙසින් සලකා තුනුරුවන් විෂයෙහි එන බෙර, ඝණ්ඨා නාදය වැයීමය. පින්කම් අවස්ථාවන්හීදී මුදල් දී අනුන් ලවා ශබ්ද පූජා පැවැත්වීම, ඝණ්ඨා ආදිය සදා පූජා කිරීම, දහම් දෙසන උන්ගේ හඩ වර්ධනය වන, මිහිරි වන බෙහෙත් වර්ග පූජා කිරීම, ධර්ම පූජා, සාධූ නාද පැවැත්වීම, බණ පිරිත් කීම හා කියවීම ආදියද ශබ්ද දානයට අයත් ය. පින්කම් අවස්ථාවකදී ශබ්ද පූජාව අසා, “මේ ශබ්දය මොන කරදරයක්දැ”යි ද්වේශ සහගත සිතිවිල්ලක් සිත තුළ ඇති වුණි නම් එය අකුසලයකි. පූජාවක් පැවැත්වුණි යැයි සිතාගෙන එම පූජාව චිත්ත රූප සිතින් මවා ගෙන, තමන්ද එම පූජාවට සහභාගී වන ආකාරය සිතින් මවාගෙන, “මම ද මෙම පූජාවට සහභාගී වෙමි”යි සිතා කුසල් සිතක් ඇතිකරගනිමින් තමාද සාධු නාදයක් පැවැත්වීමෙන් තමාටද කුසලයක් සිදු කර ගැනීමට එය අවස්ථාවක් කරගත හැකිය.
ගන්ධ දානය – යනු සුවද දීමය. සුවදවත් මල් ආදී වස්තූන් පූජා කිරීම, සුවද දුන් පූජාව මේ ගණයට වැටේ. (දානය සකසන අවස්ථාවේ රම්පේ සුවද කාරක යොදා දානය පිළියෙල කිරීමද මෙයට ඇතුළත් වේ.)
රස දානය – මිහිරි රස, තිත්ත රස, ඇඹුල් රස වැනි රසයන් මතු කරන ආහාර පාන දීම මේ යටතට ගැනේ.
පොට්ඨබ්බ දානය – යනු ශරීරය සමග ගැටුණු විට සුවයක් ලබාදෙන ඇද, පුටු, පැදුරු, ආදී උපකරණත් කොට්ට, මෙට්ට, ඇද ඇතිරිලි හා වස්තූන් දීමත් වේ.
ධම්ම දානය – ඉහත සදහන් දාන පහට අයත් නොවන සියල්ල ධම්ම කොටසට අයත් වේ. (ආමිස දාන, අභය දාන, ධම්ම දාන යන තෙවැදෑරුම් දානයෙහි එන ධම්ම දානය මෙම ධම්ම දානයට වඩා වෙනස් වූවකි.) මෙම ධම්ම දානය කොටස් තුනකට බෙදිය හැකිය. ඕජා දාන, පාන දාන හා ජීවිත දාන යනුවෙනි. කිරි, මී පැණි, හකුරු, ගිතෙල් වැනි ඕජා බහුල දේ දීම ඕජා දානයයි. පීපාසය සංසිදුවීමේ අදහසින් පාන වර්ග දීම පාන දානයයි. දිවි පැවැත්මට අවශ්‍ය වන ආහාර පාන බෙහෙත් වර්ග දීම ජීවිත දානයයි. රෝගීන් වෙතට වෛද්‍යවරුන් ගෙන්වා දීම, කූඩු වලින් සතුන් මුදා හැරීම, සතුන් මැරීමට පාවිච්චි කරන දැල් ආදී උපකරණ විනාශ කිරීම යන මේවාද ජීවිත දාන ගණයට වැටේ. මේ අනුව අප යමක් දෙන විට අත් හැරීමේ චේතනාව මුල් කරගෙන එය දීමෙන් විශාල දානමය පුණ්‍ය කර්මයක් සිදුවන බව අවබෝධ කරගෙන කුසල් සිතක් පහළ කරගෙන දන් දීම නිවන් අවබෝධය සදහා වන දාන පාරමිතාව පිරීමට හේතුවේ.
කේ.ඩී.එස්. එදිරිසිංහ
(මනෝ උපදේශක හා චිකිත්සක)