සතුට

සතුට

සතුට විලයි… සැපත මලයි… නෙළුවොත් මල අතින් එකයි…

පමා වුණොත් මල පරවෙයි….!! “

මිනිසා තිරිසන් චර්යාවලින් මිදී මනුෂ්‍යයකු වන්නේ තමාගේ සිත ද පීඩාවට පත් කර නොගෙන අන් අයගෙ සිත් ද පීඩාවට පත් නොකර ජීවත් වීමට හැකි නම් පමණි.කළ යුත්ත/ නොකළ යුත්ත,  කිව යුත්ත/ නොකිව යුත්ත,සිතිය යුත්ත/ නොසිතිය යුත්ත තෝරා බේරාවත් විට එය ඉතා පහසු කාර්යයක් වනු ඇත. “සන්තුට්ඨි පරමං ධනං” ලෙස ධම්ම පදයේ සදහන් වුවද එය ඇත්තේ කොහිද? අපට එය දෙන්නේ කවුරුන්ද? පහසුවෙන් ලැබෙන/ අපහසුවෙන් ලබාගත යුතු දෙයක්ද? අප විසින්ම සිතා මතා විමසා ගොඩනගා ගතයුතු දෙයක්දැයි මදකට සිතා බලමු.

අපට කැමති දේ නොලැබෙන විට අප කැමති අයුරින් අන් අය ක්‍රියා නොකරන විට අප කැමති ලෙස සියල්ල සිදු නොවන විට අපට දුක සිතේ. එහෙත් අප නොදන්නා රහසක්ද ඇත. අපට ලැබී ඇති දේ එමටයි.නැති දේ ස්වල්පයයි. අප ඒ නැති ස්වල්පය ඉදිරියේ අපට ඇති වටිනා දේ සියල්ල පාවා දෙන්නේ මහා නිවට අයුරින් නොවේද?පුංචි උදාහරණයක් ගෙන බලමු. පාවහන් යුවලක් නොමැතිව ලත වෙමින් සිටින බවට දෙපා අහිමි අයෙකු/ දෑත් දෙපා දෙකම අහිමි යමෙකු මුණ ගැසුණු විට කුමක් සිතේවිද? ඇතැම් විට ඔහි ඔබටත් වඩා සතුටින්, ස්වයං රැකියාවක් පවා කරගෙන සතුටින් ජීවත් වනු ඇත. දුගී පැලක නිදන දුගුයෙකුට සුවසේ නින්ද ගියද මහ ධනපතියෙකු රාත්‍රිය පහන් කරනුයේ ඇතැම් විටක නිදිවර්ජිතව විය හැකිය. ලෞකික ජීවිතය තුළ සම්පත් බහුල වන්නට වන්නට සතුට පෑළ දොරෙන් පැන යනු ඇත.

මා ඔබට මතක් කර දෙන්නේ ලැබී ඇති වටිනා දේවලින් සදාකාලික සතුටක් ලබා ගන්නේ කෙසේද යන්නයි. ඔබ මනුෂ්‍යයෙකි. එය දුර්ලභ අති උතුම් අවස්ථාවකි. කූඹියෙකු, කඩියෙකු, මැස්සෙකු, කැරපත්තෙකු, කටුස්සෙකු, පූසෙකු, බල්ලෙකු, ඌරෙකු, හරකෙකු, අලියෙකු මෙන් නොව ඔබට දියුණු කළ හැකි උතුම් සිතක් ඇත. නුවණැස වඩා ප්‍රඥාව දියුණු කරගෙන සම්මා සම්බෝධිය පච්චේක බෝධිය මහ රහත් බෝධිය පවා ලබාගත හැක්කේ ඔබටමය. එය සතුටුවීමට කරුණක් නොවේද?

  • බොහෝ විට ඔබට කායික අගපසගවල අඩුපාඩුවක් නැත. කය වෙහෙසා චෛත්‍ය සෑදීමට, ඖෂධ උයන් වැවීමට, බෝ මළු පිරිසිදු කිරීමට, වෙහෙර ආරාම ඉදි කිරීමට, දළදා පූජාව සදහා වගා කටයුතු කිරීම වැනි මහග්ගත කුසල් හා පුණ්‍ය කර්ම පවා කිරීමට ඔබට හැකියාව ඇත. ඔබට ඔබේ කය පිළිබදව ගෞරවයක් අභිමානයක් ඇති නොවන්නේ ද?
  • අපට අවි අයුධ, වස විස වර්ග, සතුන්, මත් ද්‍රව්‍ය, මත්වතුර වෙළදාම් කිරීමෙන් තොර සම්මා ආජීවය ට අයත් යහපත් ජීවන වෘත්තියක් ලැබී ඇත. එය සාධාරණව අවංකව ඉටු කරන විට ලැබෙන සංතුෂ්ඨිය කෙතරම්ද?
  • මන්ද බුද්ධිබවින් තොරව ජීවත්වීමට අවශ්‍ය බුද්ධියක්, උගත්කමක්, ඔබට ලැබී ඇති නිසා හොද නරක, කුසලය/ අකුසලය යම් තරමකට හෝ තෝරා බේරා ගැන්මට හැකියාවක් ඇති නිසාත් මේ ලෞකික ජීවිතය දුක් සහිත බවත් දුක ජය ගැනීමට මග සොයා පොහෝ දිනකට හෝ විහාරස්ථානයක් කරා ඇදීයාමටත් ඔබට සිතක් පහල වී තිබීම අතිශය සතුටට කාරණයක් නොවන්නේද?
  • ලෞකික ජීවිතය තුළ ඔබත් සමග එක් වී අධ්‍යාත්මික ගමන්මගෙහි ගමන් කිරීමට වෙර දරන ස්වාමියා/ බිරිද/ දරුවන් සිටීම සත්‍ය ලෙසම ඔබට සතුටක් නොවේද?
  • බැලූ බැල්මට තවකෙකු අප්‍රසන්න කරවන අන්දමේ හොරි, දද, කුෂ්ඨ, රසායන ද්‍රව්‍ය වලට පිළිස්සීම් තුවාල, දරුණු පිළිකා, ලියුකේමියා, ඒඩ්ස් වැනි රෝගාබාධවලින් ඔබ පෙලෙන්නේ නැත. එහෙත් ඉදහිට හැදෙන හිස රුදාවකට හන්දිපත් වේදනාවකට මහා පීඩාවකින් කෙදිරි ගාමින් සිටින්නට සත්‍ය ලෙසම අප ලැජ්ජා විය යුතුයි.
  • දෛනික ජීවිතය තුළ සිදුවන ඉතා කුඩා සිදුවීම්වලට දීද අපේ අය කෙරෙන් සතුට පළායයි. බස් නැවතුමක සිටින විට ඔබට පැමිණි පළමු බසය මගහැරුණු විට නොනවත්වා ගිය විට ඔබට කෙතරම් දුකක් දැනේද? එහෙත් ඊලග නැවතුමේදී එය අනතුරකට ලක් වී තිබෙනු ඔබටම ඇතැම් විටෙක දක්නට ලැබෙනු ඇත. සොබා දහමට පවා ශාප කරමින් අධික වර්ෂාව ඇති විට වැස්සටද තදින් පායන විට පෑවිල්ලටද ශාප කරන ඔබ දහවල් කාලයේ හොදින් පායා ‍රාත්‍රියේ නිදාගත්විට වසිනවානම් කෙතරම් හොද දැයි නොසිතන්නේ? එහෙත් මේ ක්‍රියාදාමය අපේ ජීවිත සමතුලිත කිරීමට දරණ වෙහෙස ඔබ නොදන්නේමය.
  • ටික වේලාවක් නැගිට සිටින ඔබට වාඩිවෙන්නට සිතේ. ටික වේලාවකින් එයද දුකකි. නැවත සැතපීමට ඇත්නම් කියා සිතේ. එයද එපා වී නැවත ඉන් මිදීමට සිතයි. සතුටක් ලබා ගැනීමට සිතා යුවළක් විවාහ වෙති. එකිනෙකාගෙ සිත්වල නොගැලපීම් ටික ටික අවබෝධ වන විට එයද දුකකි. සතුටු වීමට සිතා දරුවන් තනමින්, ආදරය කරමින් අධ්‍යාපනය ලබාදෙමින් මහා ලොක්කන් කරන්නට දෙමව්පියෝ දසදුක් විදිති.දරුවන්ගෙන් තම බලාපොරොත්තු ඉටු නොවන විට දෙමව්පියෝ දුක් වෙති.දරුවන් විවාහ කරදී හෝ සතුටක් ලබන්නට අපේක්ෂා කරති.තමා විවාහ වූ දා සිට කරගසාගත් පව් පොදිය දැන් දෙමාපියන්ට අමතකයි. දරුවන්ද ඒ කරදරයේම දමති. සතුට සොයති. දරු සුරතල් නැවත බැලීමට ආශාවක් නැවත ඇති කරගෙන දරුවන්ගේ දරුවන් බලා ගැනීමට සිතති. එහෙත් ඔවුන් නොදැනුවත්වම දරුවන්ගේ නිවෙස්වල නිල නොලත් වැටුප් රහිත මෙහෙකරුවන් මෙහෙකාරියන් බවට පත් වී හමාරයි. සතුට ඔවුන් අසලක නැත. එසේ නම් පිංවතුනි, සිල්වතුනි, ගුණවතුණි අප කළ යුත්තේ කුමක්ද?
  • ආපසු හැරී බලා සතුටු විය හැකි දේ පමණක් තෝරාගන්න.
  • පවතින මොහොත තුළ ජීවත් වෙමින් තමාට ලැබී ඇති දෙයින් තෘප්තිමත්ව නොලැබෙන දේ පිළිබදව නොතැවෙන්න. එහෙත් අප්‍රමාදීව උත්සහ වන්න.
  • අටලෝ දහමට අපට යහපත/අයහපත උදාහරණ බව සලකා උපේක්ෂා සහගත වන්න.
  • අනුන් දෙස බලනවා ට වඩා තමා තමාව නිරතුරුව නිරීක්ෂණය කරන්න. (අප අනුන් දෙස බැලිය යුත්තේ අනිකාට උපකාරයක් අවශ්‍ය වූ විටෙක පමණක් බව සිතන්න.)
  • කය සැතපීමට කටයුතු නොකරන්න. මුදල් තුළ සතුට නැති බවත් සතුට මුදලට ගත නොහැකි බවත් අවධාරණය කරන්න.
  • මානය බොහෝ සේ අඩුකරගෙන ඉවසීමට රතු ඉරක් නැති බව සිතන්න.
  • ඔබ ආයතන ප්‍රධානියෙකු/නායකයෙකු නම් තම සේවකයින් කෙරේ අතිශය කාරුණික වන්න. තමා උපමා කොට සිතන්න.(මම මේ සේවකයා වුණා නම්….)
  • දෙමාපියන් පළමු කොට තම ඥාතීන්ට හා තමාගේ සේවය අවශ්‍ය අයට නොපමාව එය ලබා දෙන්න.
  • ඔබට කුමක් ලැබේද සිතනවාට වඩා මා කුමක් අන් අයට දෙන්නේද යන්න පමණක් සිතන්න. (එවිට ඔබට ලැබෙන දේ සිතුවාටත් වඩා ඉබේම ලැබේවි.)
  • මේ ලිපිය කිය වූ මොහොතේම ලැයිස්තුවක් සකස් කරගන්න. (මගේ සිත අධ්‍යාත්මික සතුටුවන අවස්ථා හා පීඩාවට පත්වන අවස්ථා ලෙස) ලෞකික ජීවිතය තුළ මෙතෙක් සතුටු වූ කිසිවකු නැති බව මතක තබා ගන්න.
  • සතුට කිසිවෙකුට කිසිවකු විසින් ලබා දෙන්නක් නොව තමා තුළම තමා විසින්ම ගොඩනගා ගත යුත්තක් බවත් තම සිත තුළින්ම විමර්ශණය කරන්න.
  • සෑම දෛනික ක්‍රියාවකදීම නිවන වෙනුවෙන් රහත් බෝධිය වෙනුවෙන් සිටින “මම” යන තැනැත්තාව අගයන්න. (ලෞකික ජීවිතය තුළ “මම” යන්න දුරු කරන්න.)
  • වැඩි වැඩ අඩු කරගෙන සරල, සැහැල්ලු වන්න. එවිට ඉබේම සැහැල්ලු වේවි.
  • සියල්ලටමත් වඩා දවස වැඩිකාලයක් සිත සමාධියට දැහැනට ගැනීමට වෙර දරන්න. එවිට උපන් කුසල් වැඩි දියුණු වී නූපන් කුසල් උපදවා ගැන්මේ සතුටද ඔබට ලැබේ.
  • මුළු දවස තුළ තම රහත් බෝධිය සිහිපත් කරන්න. සියලු ක්‍රියා ඒ තුළ කැටිකරන්න. ඔබට ජය නියතයි.

බී.එම්.පියලතා.(පාඨාශාලාචාරිනී.)

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *