සමසතලිස් කමටහන්

සමසතලිස් කමටහන්

නිවන පිණිස මෙහෙයවන යෝගියා වෙනුවෙන් විශ්වමය ධාතුව තුළ යමක් අරමුණු කරවාගත හැකිද ඒ අරමුණු සියල්ල සිතෙහි සමාධිය, දැහැන, ධ්‍යානය, අභිඥාව හා මාර්ගඵල සදහා හේතු කරගත හැකි නම් ඒවා සියල්ල ඒ උතුම් මගඵලය පසක් වීම සදහා කමටහන් වන්නේය. අප අමා මෑණී වූ බුදුපියාණන් වහන්සේ ඒ උත්තරීතර මග අවබෝධ කරගත්තා සේම එහි ගමන් කිරීමට සුදුසු යෝගියාද  අවශ්‍ය කමටහන් විස්තරාත්මක ව දේශනා කරමින් අද දක්වා ද එහි ආනුභාවය සහතික කර තිබේ. සතර මහා භූතයින්ගෙන් එනම්, පඨවියෙන්, ආපෝවෙන්, තේජෝවෙන්, වායුවෙන් සමන්විත වූ ලෝක නිර්මාණය වූ කලී සත්ව ලෝකය හා ස්වභාව ලෝකය වෙයි. සත්ව ලෝකයත්, ස්වභාව ලෝකයත් තුළ ඇති සියල්ලෙහි නිර්මාණයෙහි තම තමන්ගේ අනන්‍යතාවය සහතික කරගනිමින් සිටින පාරිසරික ප්‍රජාව වූ කළී ජීවී හෝ අජීවී වුවත් නිර්මාණය වී ඇත්තේ එම සතර මහා භූතයින්ගෙන්මය. වෙනසකට ඇත්තේ ජීවී යැයි සම්මත, සිතන්නට හැකි තෘෂ්ණාව, භය, ක්‍රෝධය, වෛරය සටහන් වූ හෝ ඇතිකර ගන්නට හැකි හැම ජීවියෙක්ම තමන්ගේ අනන්‍යතාවය තුළ තමන්ට වෙන් වූ ලෝකයත්, විශ්වයක් නිර්මාණය කර ගැනීම පමණකි. නිවන යනුවෙන් අප හදුන්වන්නේ ද තමන්ට වෙන්කර ගත් නිසාම ඇති වූ පැවැත්ම හා නොනවතින ක්‍රියාදාමය නවතා ගැනීමය. එය ගාම්භීර අර්ථයකි. ප්‍රඥාවන්තයාටම අවබෝධ වන ධර්ම කාරණාවකි. තෘෂ්ණාවේ ගැලෙන තරමටම, තමන් තුළ ඇතිවන ස්වයං අත්පත් කර ගැනීම (උපාදානය) තමන් තුළ පවතින තාක් මෙහි ගැඹුර හෝ අර්ථකථනය හෝ පැහැදිලි වන්නේ නැත. කෙසේ වෙතත් ස්වභාව දහම තුළ ඇති යම් නිර්මාණයක් වේද? එය ස්වභාවය මිස වෙනකක් නොවේ. එහි ඇති සැටියක් දකින්නේ අපමය. ඒ අප අපටම වෙන්කර ගත් අනන්‍යතාවයක් තුළ සිතන්නට හා සිතූ දේ ඒ අයුරින් ඉටුකරගන්නට දරණ නොහික්මුණු ආශාව නිසාමය. සසර පුරා පැවතුණු මේ බීජය හොදින් වැඩී ඇත. පැළවෙන පැළවෙන හැම තැනකම අකුසලයේ බීජයන් ම වන ආකාරයෙන් හා ඒ බීජයන්ගේ එකතුවෙන් නිම වී ඇති ගබඩාවක හිමිකාරයකු වන අපගේ භව සැරිය තව තවත් සසර ඇවිදවන්නේ මේ යථාර්තය නොදකින අයුරින්මය. ස්වභාව දහමේ හැම අරමුණක්ම අල්ලාගන්නා තරමටම (උපාදානය) ස්වභාව දහමේ ඇති අරමුණුම ඉවත්කරගනිමින් හා අවබෝධ කරගනිමින් මමායනය නම් වූ කෙලෙස් සිරකර ගැනීමේ ගබඩාවද (විඥාණයද) නැතිකර ගත හැකිය. බවුන් වඩන යෝගියාට මේ භාවනා කමටහන් තුළ අවබෝධ කරගත යුතු සුවිශේෂ ක්‍රියාදාමය වන්නේ මේ එක් එක් කමටහන් තුළ සිත අවබෝධ කරගත හැක්කේ කොපමණ ප්‍රමාණයකට යන්නයි. එයට හේතුව වන්නේ භාවනාව යන්න විලාසිතාවක් හෝ අත්භූත දේ සිදුකර ගැනීමට ඇති බලයක් ලබාගත හැකි මගක් ලෙස පුද්ගල මනසිකාරය අවබෝධ කරගැනීමයි. මලක්, පහනක් පූජා කරන කෙනාට මෙන්ම මෛත්‍රී භාවනාවේ යෙදෙන පුද්ගලයාටද තම තමන්ගේ සිතෙහි ඇති චේතනාව මතම අධ්‍යාත්මික ලෝකයෙහි හිමි තැනක් පවතී. එබැවින් භාවනාවට ඇළුම් කරන ශ්‍රද්ධා සම්පන්න පිංවතා තමන්ගේ නොදන්නා කමින්ම සසර මග නොසිතූ ලෙස විනාශ කරගන්නවා විය හැකිය. දන්දීම හොද ක්‍රියාවකි. නමුත් නිවනට බාධාවක් වීම ඒ තුළ සිදුවිය හැකිය. ඒ අනවබෝධය නිසාය. භාවනාව, නිවනට බාධා විය හැකිය. එබැවින් තමන් සිදුකරන භාවනාව හේතුවෙන් තමන්ට අධ්‍යාත්මික ලෝකයේ ලැබිය හැකි ඵලය හා ඉදිරියට හා හැකි උපරිම ප්‍රමාණය ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යම කාරණාවකි. හේතුව නිවනට ඇති ආශාව නිසාම භාවනා කරන යෝගියාම එක්කෝ බුද්ධාලෝකය ඇති කාලයක පවා බ්‍රහ්මාදී ලෝකවල උපත ලබා නිවනින් ඈත්ව සිටිය හැකි නිසාය.

පිංවත් මිනිසා බුද්ධිමත් නොවුනහොත් තමන්ගේ සසර පිනින් ලබාගත් වස්තුව පමණක් නොව ජීවිතය පවා නිවන වෙනුවෙන් නැති නාස්ති කරගැනීමෙන් වළකාලීම පිණිස “කමටහන්” හා එම ප්‍රතිඵලයන් අවබෝධ‍යෙන් දැකිය යුතුමය.

එබැවින් සිතන්න… සොයන්න… විමසුම් ඇසින්, ප්‍රඥාගෝචර මනසින් විදින්න. ඔබ සිදුකරන භාවනාව, භාවනා නොකර සිටින්නෙකුට වඩා වැරදි විපාක දෙන්නක් විය හැකිය.

කමටහන් සතලිහ

  1. සංඛ්‍යා නිර්දේශය
  2. උපචාර අර්පනා ලෙස
  3. ධ්‍යාන ප්‍රභේද ලෙස
  4. සමතික්‍රම ලෙස
  5. වර්ධන අවර්ධන ලෙස
  6. ආරම්මන ලෙස
  7. භූමි ලෙස
  8. ග්‍රහන ලෙස
  9. ප්‍රථ්‍ය ලෙස
  10. චාරිතානුකූල ලෙස වෙන් වෙන් ව හදුනාගැනීම සිදුකළ යුතුය.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *