සාධු චර්යාවෙහි දෙවැන්න වූ කරුණාවයි මේ…

සාධු චර්යාවෙහි දෙවැන්න වූ කරුණාවයි මේ...

කරුණාව

ඍජු සතුරා හිංසාව වෙමින් අනියම් සතුරා දොම්නස වෙමින් සිත තුළ ක්‍රියාත්මක භාවයෙන් ඉවත් වී ඇති මෙත්තාවේ ගුණයෙන් පසු මිනිස් සිත තුළ වැපිරිය යුතු හොදම බීජය කරුණාවයි. සත්පුරුෂ මිනිසා අන් අයගේ දුක වේදනාව තුළ තම හදවතෙහි ඇති කර ගන්නා වූ කම්පනය කරුණාවයි. එයට හේතුව අන්‍ අය දුකට පත් වී ඇති නිසා එම දුකින් ගළවා ගත යුතුය යන හැගීමෙන් සිත තුළ මෝදුවන උත්තරීතර දහමකි. කරුණාව කිනම් හෝ ආකාරයක දුකින් පෙළෙන සත්වයා එම දුකින් මුදවා ගැනීමේ උතුම් කාර්යය ප්‍රතිෂ්ඨාපනය වන බැවින් කුරිරු බව මෙන්ම හිංසාව දුරලමින් අවිහිංසාව ප්‍රමුදිත වීම සිදුවේ. කරුණාව වනාහි පාරමිතා පූර්ණ කරන උතුමන් ළග නිරායාසයෙන් පිහිටන හැම කෙනෙකුම යථාර්තයෙන් අවබෝධ කර ගනිමින් තමන් ළග අවධි කර ගත යුතු ගුණාංගයකි. කාරුණික සිතිවිලි වලින් පොහොසත් කෙනෙකු අනුන් වෙනුවෙන් ජීවිතය වුව පූජා කරමින් වෙහෙසේ. තමන් ළග ඇති සොදුරු නිවහන අන් කෙනෙකුට දී තමන් ගලක් මත, රුකක් මුල දවස ගෙවන්නට තරම් මෘදු වෙයි. මග මානවක ජාතකයේදී අප මහා බෝසතුන් සිදු කළ ක්‍රියාව හැමෝම දනී. ව්‍යාඝ්‍රී ජාතකය ද ඊට කදිම උදාහරණයකි.

නියම කාරුණික පුද්ගලයා හැම විටම ජීවත් වන්නේ අනුන් වෙනුවෙනි. හේ තමන්ද තමන්ගේ නොවන බව දකිමින් “මම” යන්නෙහි මෝහ, ලෝභ, ද්වේශාත්මක කඩ ඉම පසු කරන්නට තරම් යථාර්තය දකින්නෙකි. එමෙන්ම, වස්තු කාමයෙන්, කෙලෙස් කාමයෙන් ඉවත් වූ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ද, උද්දච්ඡ, විචිකිච්ඡා යන නීවරණයන්ගෙන්ද ඉවත් වෙමින් සිත තුළ හැම විටම පොදු සැහැල්ලු සිතිවිලි දහරාවක් තුළ පරාර්ථය දකිමින් සිටින පුද්ගලයෙකි. මේ පරාර්ථ චර්‍යාව ඇති වීම සදහා පුද්ගලයා මෙහෙය වන්නේ කරුණාවයි. දිනක් කුඩා දරුවෙකු පාසල වෙත ගොස් එන අතර පොල් අතු වහළට දමා වැස්සෙන් ආරක්ෂා වීමට උත්සාහ කරන මවක් හා දරුවෙකු සිටීය. තමන්ද වැස්සට මුවා වීමට එම පැල්පතට ගොඩ වූවද , පැල්පතේ සිටින අය නොතෙමී ඉන්නට දරණ මහන්සිය දුටු ඒ දරුවා වැස්සේ තෙමි තෙමී ගෙදර දිව්වේය. කල්පනාවේ නිමග්න වූ  දරුවා ගෙදර තිබූ පරණ වාහනය වසා තිබූ කවරය ඔසවා ගන්නට බැරි තැන ඇදගෙන දිව්වේය. දිව ගොස් ගෙදර අසල තබා නැන්දේ මේ රද්ද කදිමයි වහළ වසා ගන්න… යනුවෙන් එය දී පිම්මේ දිව්වේය. දරුවාගේ නිවැසියන් මේ දරුවාගෙන් විමසද්දී දරුවා දුන් පිළිතුර තුළ තිබුණේ ඒ මහා කරුණාවමය. “ඇයි ආච්චියේ… ඔය ගොල්ලන්ට තේරෙන්නෙ නැද්ද? පරණ වාහනේට හෙබිරිසාව හැදෙනවද? අර ගෙදර පුංචි මල්ලි “උණ”ත් හැදිලා වැස්සට තෙමෙනවා… ඔයාලගේ ඇස් පෙනුනෙ නැද්ද?” කා හටත් සිනහවක් පහළ විය. ඒ දරුවාගේ පරමාර්ථයද සාර්ථක විය.

අවිහිංසාවාදයෙන් තම සිත ප්‍රමුදිත වන විට කරුණාව ඇති වන්නට නම් මුලින් සාකච්ඡා කළ වෛරයෙන් ඈත් වූ මෙත් සිතක් තිබිය යුතුය. මෙත් සිත නැමති කෙත තුළ වැපරිය හැකි හොදම බීජය කරුණාවයි.

යම් අයෙකු සමාධියට පත් නොවන්නේ ක්‍රෝධ වෛර සිත් ඇති විටයි. දුක් දොම්නස් ඇති විටයි. කරුණාවේ පොදු සතුරා හිංසාව වන බව මා ඔබට සදහන් කළෙමි. අපට නොදැනී අප සිත තුළ කරුණාවට සමාන අර්ථයෙන් පෙනී සිටිමින් අපාය දක්වා අප මෙහෙයවන තව සතුරෙකු සිටී. ඒ දොම්නසයි.

කෙනෙකු ගැන දුකක් ගන්නට හෝ වේදනාවක් ගන්නට අප පුරුදු වී සිටියානම් අප වෙත එය වේදනාවක් වීම නොවැලක්විය හැකිය. කරුණාව අප සිත තුළ ඇතිවන මුවාවෙන් වේදනාබරිතව හැගීම් බර දොම්නසක් සිතට එන්නේ නම් එය කරුණාව නොවන බවද තරයේ සිතට ගත යුතුය. තමන්ගේ මව හෝ පියා මිය ගිය පසු හඩා වැළපෙන දරුවෙකුගේ ළග ඇත්තේ කරුණාව නොවේ. නමුත් සෙනෙහෙබර  දෙමාපියන්ගේ වියෝවකින් දරා ගැනීමට සිත් ඇති කර ගත හැක්කේ කාටද? එවිට මා කියමි… කරුණාවෙන් සිත පුරවා ගත් තැනැත්තා එසේ දරා ගනී. සසර පුරා අප මවකට පියෙකුව දාව සිටී. දැන් ජීවිතයේ මව වෙනුවෙන් පියා වෙනුවෙන් හැගීම්බර වුවත් සසරේදී තම මවට පියාට තමන් කළ නොහොබිනාකම් කොතෙක් ඇත්ද? මේ ජීවිතයේ තමන්ගේ මවට කෙසේ ලෙන්ගතු වුණත් ඒ දොම්නස සසර පාපයක් අවුස්සයි නම්… එය වළකා ගැනීමට හැකියාව ඇත්තේ දොම්නස තුළ නොවේ. නියම කරුණාව තුළ පමණි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *