පින් පව් දෙක සිත තුලින් මුදන්නේ…

පින් පව් දෙක සිත තුලින් මුදන්නේ...

යමෙක් කරන යහපත් ක්‍රියාවන්ද, අයහපත් ක්‍රියාවන්ද කරන ලද, සිතන ලද, කියන ලද ආකාරයට පින් පව් ලෙස ගනිති.ඒ සිතෙන්, කයෙන්, වචනයෙන් කරන ක්‍රියාවන් තමන්ටත් අන් අයටත් යහපත හෝ අනර්ථය පිණිස යෙදෙන ආකාරය මතයි. හැමටම පහසු පව් කරන්නටය. හේතුව මිනිසා  වනාහි උත්පත්තියෙන්ම හෝ සහජයෙන්ම කළහකාරී පුද්ගලයෙකු වන බැවිනි. වෙනසකට ඇත්තේ පවතින මොහොත තුළ තමන් විසින් සදාචාරාත්මක ගුණ වගාවක් තුළ මනුෂ්‍යත්වය ලං කර ගැනීමේ උතුම් මගක් අනුගමනය කරගත හැකිවීම පමණි. තිස් එක් තළය තුළින් අප ජීවත් වන මිනිස් ලෝකය කාම භූමියකි. දිව්‍ය ලෝක හයත්, සතර අපායත්, එහි අනිත් ලෝකයන් දහයයි.කළ පිං ගෙවා දමන්නට දිව්‍ය භූමියත්, කළ පව් විපාක විදීමට අපාය භූමියත්, කළ පිං වැඩි දියුණු කරගැනීමට හෝ කළ පවක් ඉවත් කර ගැනීමට මෙන්ම කළ පිනක් ඇත්නම් එයද නැති කරගෙන හැකි පවක් කරගනිමින් පාපය තුළ ගැලීමට ලැබී ඇති භූමියකි මිනිස් භූමිය.එබැවින්…. මිනිස් ලොව ඉපදී ඇති සත්වයින් දැඩි සේ අවබෝධ කරගත යුතු තත්වයක් වන්නේ ඇති පිං වැඩි දියුණු කරගන්නවාද එසේත් නැත්නම් නැති පව් කරගන්නවාද යන්නයි.පිනට ලැබුණු මිනිසත් භාවයක් යැයි හැමවිටම පුරසාරම් දෙඩුවත් අවබෝධ කරගත යුතු ඊළග අරුථ වන්නේ… මිනිස් ලොවෙහි මිනිස් උත්පත්තියක් ලැබුණේ සොච්චම් පිනක් ඇති නිසා අපාගත වීමට අවශ්‍ය පව් කරවීමට මිනිස් ලොවේ උපත ලැබුනාද යන්න විමසීමටයි.අද වන විට මෙය වඩාත්ම පැහැදිලිය. පංච දුෂ්චරිතයටම ලොල් වෙමින් තමාගේ ආත්ම තෘප්තිය ලබා ගැනීමට මංපෙත් සොයමින් පංච කාමයෙහි ගැලී සිටින පිරිසක් නිර්මාණය වී හමාරය.ලොවෙහි ජනගහනය මිලියන හත්සියයකි.අඩුම තරමින් හත්සියක පිරිසක් හෝ තමාගේ මනුෂ්‍ය උත්පත්තිය අවබෝධ කරගනිමින් උතුම් බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් සතර සම්‍යක් ප්‍රධාන වීර්යය තුළ සිටිත් ද යන්න විමසා බැලිය යුතුමය.

නූපන් අකුසල් නූපදවා ගැනීමත්

උපන් අකුසල් ප්‍රහීත කිරීමත්

නූපන් කුසල් අවදි කර ගැනීමත්

උපන් කුසල් වැඩි දියුණු කරගැනීමත්

සිදු කරන්නේ කවුරුන්ද? තැන තැන කට කතා කියන්නෝ සුලබය. කාගේ හෝ යමක් අන්‍යාගෙන්   තමා සන්‍තක කර ගැනීමට හැමෝම දත කට නියාගෙන බලන්නේය. රුපියල් සියයකට, බත් පතකට දිවියක් තුරන් කරන්නට තරම් සිත් පහළ වූවෝ චණ්ඩින් සේ හැසිරෙති. පියකු තම දියණිය නොහදුනන සේ කාමාශාවෙන් පිරී ගොසිනි. තම සැමියා නොව පර සැමියන් සොයන ලලනාවෝය. අන් සතකුගේ මස් මාංශයෙන් තම කය පුම්බා ගන්නට උත්සාහ දරන මස් වැද්දෝය. පදමට සූර් වෙමින් වැදිබණ දෙසන සුරා දුර්තයෝය. සතර වරිගයම නිවන් හරින්නට සිතා සතර වරිගයම අපාගත කරවන දත කන බුම්මට්ටයෝය. එහෙව් ව්‍යසයනයක සිටිමින් මිනිස් ලොව තුළ ලබා ගත් උපත… කෙසේනම් මනුසත් ලොව උපතක් කරගන්නද? තිස් එක් තළයක උපදින සත්වයකු වූවා හැර මනුසත් ලොවක මනුෂ්‍ය සිතිවිල්ලක කෙසේනම්… දෙව් බඹුන් නොවිදිනා රසයක් විදින්න? දෙවියන්ට කළ නොහැකි බ්‍රහ්මයින්‍ ට කළ නොහැකි උතුම්ම කර්තව්‍යක් මනුෂ්‍යයකුට කළ හැකි බව පෙන්වා දුන් බුදුන් වහන්සේ… මනුෂ්‍යයකුගේ වටිනාකම උතුම්ම ලෙස මනුෂ්‍ය ලීලාවෙන් පෙන්වූ සේක.

ඒ උතුම් මග යන්නට නම්… විෂම අදහස පිං සිතින් ඉවත් කරගත යුතුමය. පාපයෙන් මිදීම තුළ අන්සැපතට බධා වීම නිම වනවා පමණක් නොව තමාගේ ශරීර සෞඛ්‍යයටද ඉමහත් පිටුවහලකි. පාපයෙන් මිදී ඇති කරගන්නා මෙත් සිත තුළ උතුම්සත්‍යක් ක්‍රියා බලයක් බිහිවෙයි. එමෙන්ම

පුබ්බේව කත පුඤ්ඤතා”

“සසර පින් ඇති බව මංගල කරුණකි. “අපායේ යන්නට තරම් පව් නොමැති නිසා තව ටිකක් පව් කරපන් හෝ දිව්‍ය තළයකට යන්නට පින් මදි නිසා තව ටිකක් පින් කරපන් යනුවෙන් නළලෙහි නොකොටා මිනිස් ලොව තුළ උපත දුන්නත්…. අප අවබෝධ කරගත යුත්තේ… අප ළග පුංචි හෝ පිනක් ඉතිරි වී ඇති බවයි. එබැවින් ඒ පුංචි පින… වැඩි කරගනිමුද?… තියන ඇබිත්තත් නැති කරගනිමුද?

කෙසේ වෙතත්…. ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ඉවත්වන්නා පිං රැස් කරයි. එහි ගැලෙන්නා පව් රැස් කරයි. පින් කරන්නට කරන්නට සැප සම්පත් ලැබී සසර දික් ගැස්සෙන්නා සේම පව් කරන්නට කරන්නට දුක් පීඩා විදිමින් සසර දික් කරගනියි.එබැවින් “නිවන” අපේක්ෂා කරන උතුමන් විසින් වැඩිය යුත්තේ පින් නොව කුසල්මය. පින් කිරීම නිසාම, පිනෙහ් ඇලීම නිසාම, එහිද තෘෂ්ණාව බිහිවේ.එය පුද්ගලයාට නොදැනුවත්ව සිදුවෙයි.එය අද පින් කරන අය දෙස විපරමින් බලන විට පැහැදිලි වේ. එක්කෝ ඇති සම්පතට වඩා වැඩි සම්පතක් අපේක්ෂාවෙන් නැත්නම් තමා හෝ තමා අපේක්ෂා කරන කෙනෙකුගේ රෝබිය, කරදර තුරන් කරගැනීමට අපේක්ෂාවෙනි. අප පින් කළ යුතුය. ඒ තෘෂ්ණාව තුළ ඇතිවන ලෝභ, ද්වේශ, මෝහ නැති කරගැනීමේ උතුම් පවිත්‍ර චේතනාවෙන්ම පමණි. පිනක් අව්‍යාජව සිදු කරන විට එනම් තෘෂ්ණාවෙන් තොරව සිදු කරන විට සසර පින සමග සමායෝජනය වෙමින් මෙලොවදීම අධ්‍යාත්මික යහපතට පුද්ගල සිත යොමු වේ. එහි තෘෂ්ණාව ඇති වුවහොත් බලාපොරොත්තු අපේක්ෂාවෙන් රැදුනොත් කුමක් ලැබෙන්නද?… කරපින්නාගෙන සසරෙහි ඇදෙනවා හැර…

අප මහ බෝසතුන් මහභිනික්මන් කරද්දී වසවත් මරු අන්‍ය වේශයෙන් පැමිණ….මහතාණෙනි ඔබට අදින් දින හතක් යන්නට පෙර සක්විති රජකම ලැබෙනවාමය. ඉතින්… එවිට ඇති තර්ම් පින් කළ හැකි නොවේද?… ඇයි… තපසට යන්නේ… යැයි අසද්දී….අප මහ බෝසතාණෝ……. “අනුමත්ශාපි පුඤ්ඤෙන අතේථා මය්හං න විජ්ජති “ මට ඉතා පුංචිම පිනකින්වත් වැඩක් නැත යනුවෙන් ප්‍රකාශ කළ සේක. එබැවින් දෙලොව දියුණුව පතා පින් කරන්නට අවශ්‍ය වන බුද්ධිමය ඵලය ලග නොමැති මේ….දෙලොව පරිහානිය සදහාද හේතු වන්නේ නම් පිනමයි. එබැවින් කර පින්නා ගෙන යන්නට හේතු වන පින් පව් අවබෝධයෙන් දිවියෙන් ඈත් කළ යුතුමය. ලෝකාමිසය අතහැර යුතු බව විනා… පින් අත් හැරීම කළ යුතු බව මා ප්‍රකාශ නොකළ බව නැවත අවබෝධ කරගන්න. එක්තරා දෙවියකු බුදුන් වහන්සේ අභියසට පැමිණ මෙසේ ප්‍රකාශ කළේය.

“මිනිසාගේ ජීවිතය ටික ටික ගෙවී යයි. වයසට යයි.ජරාව මරණය ලං වෙමින් සිටී. කිසිම පිහිටක් නැත. හේ අනිවාර්යයෙන්ම මරණයට යයි. එබැවින් මේ මරණය ගැන සිතා… සැප ගෙන දෙන පින් රැස් කිරීමට යොමු වීම මැනවි” නොවේ දැයි ඇසීය.

එවිට බුදුන් වහන්සේ එහි අවසාන වාක්‍ය හැර අන් සියල්ල අනුමත කළ සේක. අවසාන කරුණ සංශෝධනය කළ සේක.මරණ බිය ගැන සිතා ශාන්තිය පිණිස ලෝකාමිසය අත්හළ යුතුය යනුවෙන් වදාළ සේක. සැප සම්පත් භුක්ති විදීමත් ඒවාට ගිජු වීමත් ලෝකාමිසයයි. පින් ලරන්නාගේ සිතද  තෘෂ්ණාවෙන් ඒව ප්‍රාර්ථනා කරයි. එවිට ලෝකය තුළම ඇලී ගැටී ඉපදී ඉපදී මැරෙනවා හැර මිදීමක් නොමැත්තේමය. එබැවින්… ලැබුණු මිනිස් උත්පත්තිය… තුළින් වටිනා සම්පතක් නෙලා ගන්නවා හැරෙන්නට… තව ටික දොහකින් ජරාවට දුකට මරණයට පත් වන මේ ජීවිතය අවබෝධ කරගනිමින් කුසල් දහම්හි යොදනවා හැරෙන්නට… ඔබත්… දුවන්නන් වාලේ… පිම්මේ… කොහේ දුවනවාද?…

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *