සාරාසංඛ්‍යෙය කප් ලක්ෂයක් පාරමී පූර්ණ කරමින් දානාදි පාරමිතා සාගරයේ ගිලී කිමිදෙමින් අප බෝසතාණෝ උතුම් බුදු පදවිය ලත් බව හා ඒ පාරමී ගමන් මග තුළ අධික ප්‍රඥාව අධික වීර්යයක් අධික ශ්‍රද්ධාවක් කැටි කරගත් නිසාම සතර අසංඛ්‍යෙය කප් ලක්ෂයක් වැනි අඩු කාලයක් උන්වහන්සේට තම බුදු පදවිය සඳහා අවැසි වූ බව කට මුඛයෙන්, ග්‍රන්ථාකරණයෙන් දක්නා පිංවතුන් මතු මෛත්‍රී බෝසතාණන් වහන්සේ මතු බුදු වන්නේ දහසය අසංඛ්‍යෙය කප් ලක්ෂයක් පෙරුම් පුරමින් බවද සිත් තුළ සනිටුහන් කරගෙන තිබෙන්නේ යළි යළිත් සිත් තුළ අවධි වන පරිද්දෙනි.
මේ ගමන් මග ආලෝක කරගන්නට පාරමී පුරන්නේ මතු ලොව්තුරා බුදු වන්නට පාරමී පුරන බෝසත්වරු පමණක්ම නොවේ. තමන්ගේ ගමන් මග තුළ සර්වඥතා ඥාණය ලබා ගැනීම සදහා වෙහෙස වන්නා වූ උතුම් බෝසත්වරු තමන්ගේ විමුක්තිය සාදා ගනු වස් පාරමී පුරද්දී පසේ බුද්ධත්වය සදහාම එය හේතුවක් කර ගනී. ඒ කාලසීමාව ද්වී අසංඛ්‍යෙය කප් ලක්ෂයකි. මේ කාල සීමාව තුළ තමන් වහන්සේ විසින් තමන් වහන්සේට හිත සුව පිණිසම හැසිරෙද්දී “සියලු සතුන් සසර කතරින් එගොඩ කරනවා” යන උතුම් කාරණාව සිත තුළ නොමැති නිසාම ලෝක සත්‍ය අවබෝධ කරගන්නවා යන හැගීම පමණක් සිත තුළ සක්‍රීය වෙද්දී ඒ මහා ප්‍රඥාව ලබාගත්තත් එදින ඒ බුද්ධත්වය දහම අවබෝධ කර දීමේ පිළිවෙතක් උන්වහන්සේ තුළ නොමැත්තේය. ඒ නිසාම විශ්ව යථාර්තය අවබෝධ කරගත් පසේ බුද්ධත්වයට පත් වූ බුදුන් වහන්සේගේ බෝසත් පාරමිතා ගමන් මග තුළ පැමිණියෙක් නොමැති බැවින් ඔහුගෙන් දහම් පොදක් ශ්‍රවණය කරගන්නට වාසනාව ඇති පිංවතෙකු හෝ ඔහු වටා නොඉපදේ. එහෙත් සම්මා සම්බුද්ධත්වය සදහා පාරමී ගමන් මග තුළ ගමන් කරන උතුම් බෝසතාණෝ සමාජය තුළම ගැටෙයි. මිනිසුන් ගේ යහපැවැත්ම වෙනුවෙන්ම කටයුතු කරයි. ප්‍රඥාව අවබෝධය පිණිසම යොමු කරවයි. දානාදී පාරමිතා පුරද්දී තමන් පුරන පුරන හැම පාරමිතාංගයක් පාසාම බුදු බවම පතාගෙන එම උතුම් මග ගමන් ගනිද්දී ඒ සදහා අර්ථයෙන් ධර්මයෙන් හික්මවමින් මහා පිරිසක් තමන් පසුපස එක් රොක් වන ආකාරයෙන් හැකි පමණ දහම් පිපාසාව සංසිදුවමින් ගමන් ගනී. ඒ උතුම් බෝසත්වරයා සත්‍ය යථාර්තය සොයමින් තමන්ගේ පසුපස ගමන් කරනා උතුමන්ට අවබෝධ කරදීමේ උතුම් පිළිවෙත නිසාම තමන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වූ දිනයේදී තමන්ගේ දහම අසන්නට තේරුම් ගන්නට අවශ්‍ය පිරිසක් තමන් වහන්සේගේ සදහන් සභාව අවටම උප්පත්තිය ලබා ගනී. ඒ උතුම් අවබෝධය ඇති පිංවත් පිරිස ඒ බෝසතාණන් වහන්සේ පසුපස ගමන් කරද්දී තමන්ට පියෙකු කරගනිමින් දරුවෙකු, හිතවතෙකු, මිතුරෙකු කරගනිමින් සහකරුවෙකු, ආදරවන්තයෙකු කරගනිමින් සසර ගමන් කරන්නට ඇත්තේ කොතරම් නිර්ව්‍යාජ හැගීමක් ඇති කරගනිමින්ද? උතුම් බුදුන් වහන්සේ ශ්‍රී සදහම් මණ්ඩපයේ දහම් දෙසද්දී සසරදී බෝසතුන්ට මවක් වූ උපාසිකාවක් බුදුන් වහන්සේ වෙනුවෙන් කරුණාබරිතව, ස්නේහබරිතව බුදුන්, බුදුන් වහන්සේ දෙස බලා සිටියදී බුදුන් වහන්සේ තම කරුණා සමාපත්ත බලයෙන් සසර මග සිහි කරද්දී ඒ උපාසිකාව ඒ බුද්ධ සභා මණ්ඩපයේම දහම් ආලෝකය ලබමින් මග ඵලයට පත් වන්නේ ඉතා හැගීම්බර දර්ශනයක් හිත තුළ රදවමිනි.
තවත් වරක බුදුන් වහන්සේ තම සද්ධර්ම සභා මණ්ඩපයේ තම ශ්‍රාවක, ශ්‍රාවිකාවන් උදෙසා පෙර ජාතිස්මරණය හෙළි කළ සදහම් මාතෘකාවක් ඔස්සේ මෙසේ සදහම් කතාවක් හෙළි කරන්නට යෙදිනි.
මහණෙනි.. මේ බුද්ධ සභා මණ්ඩපයේ මා සමග සිටින සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප ආදී උතුම් රහත් උත්තමයින් වාගේම ඔබත් සසරදී නොයෙක් නොයෙක් ආත්ම භවයන්හි මාගේ පාරමී මග එළිය කරන්නට බෝසත් ගමන් මගට දිරියක් වන්නට හේතු විය. ඒ වාගේම එදා බෝසතුන් පසු පස වෛරයෙන් ගමන් කළ “දෙව්දත්, අජාසත්, සුප්පබුද්ධ” ආදී අය වටා එක්වෙමින් බෝසත්වරයාගේ ගමන් මග බාධා කළ අයද මේ දහම් සභාවේම දැන් සිටී. සියල්ලෝම මුහුණට මුහුණ බලා ගනිති… ආනාන්ද හිමියන්ගෙන් බුදුන් වහන්සේට ඇරයුමකි. උතුම් බුදු රජාණන් වහන්ස, අප වෙනුවෙන් ඇති කරගන්නා මහා අනුකම්පාවෙන් ඒ සසර බැදි පුරා වෘත්තයක් දේශනා කරනු මැනවි…
බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ගේ ඒ ආරාධනාව පිළිගනිමින් බෝසත් පුරාණයේ තවත් එක් පැති කඩක් දේශනා කරන්නට යෙදුණු සේක.
පෙර කොසොල් රට කොසොල් රජතුමන් රජකම් කරන අවධියෙහි එක් හංස කුලයක දෙමාපිය හංසයින් සමග අනෙකුත් හංසයින් තම හංස පරපුර සමග කාලය ගෙවෙද්දී මේ දෙමාපිය හංස යුවලගේ එකම පුතාට සහකාරියක් සොයා දීමට එම දේපල උත්සුකව කටයුතු කරද්දී මේ තරුණ හංසයා ඒ අදහසට මැළිකමක් දක්වන්නට විය. නමුත් මේ තරුණ හංසයා සෑම දින උදෑසනින් තම රැළ සහිත පොකුණෙන් ඉවත් වෙමින් රැළ මග හරිමින් ගමන් කර නැවත රෑ බෝ වී තම රැළ හා එකතු වීමේ පුරුද්දක් ඇති කරගෙන තිබුණි. මේ තරුණ හංසයා හා පෙමින් වෙලෙන්නට උත්සාහ කළ රැළේ සිටි අනෙකුත් තරුණ හංසියන්ගේ බලාපොරොත්තු දිනෙන් දිනම සුණු විසුණු වන්නට විය. රැළෙන් වෙන් වී දවස ගෙවන මෙම තරුණ හංසයා ගැන තොරතුරක් සොයන්නටත්, අනෙකුත් අයට ඒ බව දැන්වීමටත්, අනෙකුත් හංසයින් සමග කටයුතු කළ එක් හංසියක් තරුණ හංසයා තම වර්ගයට අදාළ නොවන කුලයක් වන පාත්තයන් සමග එකතු වී තරුණ පාත්තියන් සමග පෙමින් වෙළී ඇති බව හංස සමූහයාටම හෙළි වන්නට විය. මහළු හංස යුවල තම එකම පුතා රැළෙන් පිටමන් කළත් හංසයා පාත්තියන් සමග ඇති කරගත් ආදරය නොබිදා රැක ගත්තේය. හංසයාත් පාත්තියත් ජීවිතය තුරාම ආදරයෙන් පෙමින් සිටියත් ඒ ආදරයට හරස් කැපූ හංසියන් තරුණ හංසයාට ගරහමින් ඇවිදින්නට විය. මේ අවස්ථාවේ ඒ තරුණ හංසයාට උදව් උපකාර කරන්නට සමහරක් හංසයන්ට හංසියන් උවමනාව තිබුණත් තම රැළේ නීතියට ගරු කරමින් වැඩි දෙනෙක් නිසොල්මන් විය. ඒත් එක් හංසයෙක් අර තරුණ හංසයා නිතර හමුවෙමින් සුවදුක් විචාරන්නට විය. තම රැළෙන් එන පීඩාවන් වළක්වනට තවත් හංසයෙක් කටයුතු කළේය. මහළු හංස යුවලට කරුණු පැහැදිලි කරමින් දෙමාපියන් අත්වසන්නට තවත් හංසයෙක් ඉදිරිපත් වෙද්දී… “පාත්තිය”ගේ සිතේ ඇතිව තිබෙන බය පීඩාව නිවන්නට හංසියන් සමූහයක්ම ඉදිරිපත් විය. ඒ අතරතුර තරුණ හංසයාට මෙන්ම “පාත්තිය”ටද ඇති ස්නේහයෙන් හංසියන් කීපදෙනෙකු ඉදිරිපත්ව ඔවුන්ගේ ආදර බැම්මට දිරියක් එකතු කළේය. මෙසේ කාලයක් පුර සතුටින් එම දෙපළ රැළෙන් පිටමන්ව නොබිදී රැක ගත්තා. අධිෂ්ඨානය, වීර්‍යය, සත්‍ය වචනය, පාරමී ගමන් මග ගත් අනිත් අයගේත් අතීත පුරා වෘත්ත සදහන් කරන බුදුන් වහන්සේ…
එදා විටින් විට පැමිණ සුව දුක් විමසුවේ දැන් මේ බුද්ධ සභා මණ්ඩපයේ මාගේ උපස්ථායක ආනන්දමය. මා හට එන පීඩාවන් වැලකුවේ අප මහා මුගලන් රහත් උතුමන්ය. දෙමාපියන් අස්වසමින් තත්වය සමනයට උත්සාහ කළේ අප ආයුෂ්මත් සැරියුත් උතුමන්ය. එම “පාත්තිය” අප යශෝධරාවෝමය. ඒ තරුණ හංසයා මන්ම වේ යැයි යනුවෙන් බුදුන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපද්දී එතැන සිටි තරුණ උපාසිකාවන් පිරිසක් සෝවන් මග ඵලය, රහත් මග ඵලය අතැතිව උතුම් සාධු කාර නාදයක් දෙද්දී ඒ “පාත්තියට හා මා හට ස්නේහයෙන් සිටි හංසයින් මේ අය වෙම්මය” යනුවෙන් බුදුන් වහන්සේ පිළිවදන් දුන් සේක.
මින් එක් දෙයක් පැහැදිලිය. සසර මග බෝසත්වරයෙකු කුමන තරාතිරමක උපත ලද්දත් තම පාරමී දහම තුළ ඇති කරගන්නා උතුම් අධිෂ්ඨානය, වීර්යය සත්‍යය ගමන් මග ආලෝකයක් කරගනිද්දී… සසර පුරා බෝසතුන් පසුපස ගමන් ගන්නා උතුම් පින්වතුන් කුමන කොයි ප්‍රතිසන්ධියක් ලබා ගත්තත් බෝසතුන් හදුනනවාමය. ඒ උතුම් මග කළණ මිතුරන් ලෙස අනුගත වන සියලු දෙනාම උතුම් බුද්ධසභා මණ්ඩපයේම දිනෙක ශ්‍රී සදහම අසන්නෝමය. බෝසත් ගුණ නොදකින්නා කවදා එම සදහම් මණ්ඩපය දැකගන්නද? මිනිස්ව ඉපදුණත්, දෙව්ව ඉපදුණත් බෝසතුන් බෝසතුන්මය. තමන් හඩගා කියන උතුම් බුද්ධත්වය තම අනුගාමික පිරිසකගේ සසර දුක නිවීමේ ශක්තිය කරගන්නේ කොයිතරම් නිරහංකාර හැගීමකින්ද? බුදුවන්නට ගමන් කරනා බෝසතුන් මෙන්ම ඒ මග යනෙනා කළණ මිතුරන්ද පාරමී පුරන්නෝය. ඒ කළණ මිතුරන්ගේද උතුම් මග දකින්නට හැකි පිංවතුන්, ගුණවතුන් ඒ අය සමග ගමන් කරද්දී අවසානයේ හමු වන්නේද බුදුන් වහන්සේමය. එබැවින් පාරමී පුරන්නට වුවමනා වන්නේ මතු බුද්ධත්වය සදහා පමණක් නොවේ. උතුම් රහත් බෝධියට, අග්‍ර ශ්‍රාවක බෝධියට, බෝසතුන්ගේ අවසන්භාවයේ දෙමාපියන්ට, බෝසතුන්ගේ යශෝධරාවට. බෝසතුන්ගේ රාහුලට, බුදු වරයකුගේ අග්‍ර උපස්ථාදායකට මෙන්ම බුද්ධ සභා මණ්ඩපයක කුමන හෝ ආකාරයකින් රහත් බව ලබා ගන්නට පාරමිතා පුරා තිබිය යුතුමය. ඒ වාගේම සසර මගදී බෝසතුන් හමුවී සදහම් ආලෝකය ලබා ගනිමින් කෙලෙස් තැවීමේ ක්‍රමෝපායන් උගනා අවබෝධය තහවුරු කරගෙන තිබිය යුතුමය. එබැවින් පිංවත… ඔබ දැන් සිටිනා තැන… ඔබගේ සිත… ඔබගේ සසර ගමන ඔබ විසින් තහවුරු කරගත යුතුම නොවේද?