නොබුදින්න අහර ටික – වළදන්න දනක් ලෙස

නොබුදින්න අහර ටික - වළදන්න දනක් ලෙස

“යේසං සන්නිචයෝ නත්ථි – යේ පරිඤ්ඤාත භෝජනා

සුඤ්ඤාතෝ අනිමිත්තෝච – විමොක්ඛෝ යස්ස ගෝචරේ

ආකාසේම සකුන්තානං – ගති තේසං දුරන්තයා”

කර්ම(පින්/ පව්) රැස් කිරීමක් හෝ සිවුපසය එක් රැස් කිරීමක් හෝ නැත්තා වූද ආහාර පාන වැළදීම ගැන නිසි නියමයක් දැන ගත්තා වූද, සුඤ්ඤාත, අනිම්මිත යන දෙආකාර  නිර්වාණයෙහිම අරමුණු කළා වූද රහතුන් වහන්සේලා ගේ ගමන් මග ආකාසයේ පක්ෂීන් ගිය ගමන් මග මෙන් කිසිවෙකුටත් දැන ගත නොහැක්කේය.

ඉහත සදහන් කළ ගාථා රත්නය හා එහි තේරුම ධම්ම පදයේ අරහත් වග්ගයේ සදහන් වන්නා වූ ඉතා වටිනා දහම් පාඨයකි. බුදුන් වහන්සේට මෙසේ දේශනා කිරීමට හේතු වූයේ බෙල්ලට්ඨීසීය රහතන් වහන්සේ අරභයායි. ඒ හිමියන් දිනකට දෙවරක් පිඩුසිගා වැඩීම ඊට හේතුවයි. උන්වහන්සේ එසේ කළේ පසු දිනයට ආහාර ඉතිරි කරගෙන කාලය ඉතුරු කර ගැනීමටයි. සෙසු අය මේ පුවත බුදු රදුන්ට සැල කළ විට උන්වහන්සේ ආහාරය පිළිබද විශේෂිත ශික්ෂාපද පනවා රහතන් වහන්සේගේ ස්වභාවය ඉහත ගාථාවෙන් ප්‍රකාශ කර වදාළ සේක.

ඒ අනුව රහතන් වහන්සේලා තුළ කර්ම රැස් කිරීමක් නැත. ආහාරය පිළිබද ද මනා අවබෝධයක් ඇති බැවින් සුඤ්ඤාක වූ අනිමිත්ත වූ නිවනම අරමුණු කළ උන්වහන්සේලාගේ උපතක් ගැනද දැකිය නොහැකිය. අහසේ පියාසර කරන පක්ෂීන්ගේ පිය සටහන් නැතිවාක් මෙනි. උන්වහන්සේලා කුසල/ අකුසල කර්ම රැස් නොකරන්නාක් මෙන් අනිත් කිසිදු භෞතික සම්පත් රැස්කිරීමක්ද නැත. සියලු අත්හල නිරාමිස සුවයෙන් සැනසීම ලබන උතුමන්ලා මේ ගණයට වැටේ. සියලු කර්ම ක්ෂය කළ (කම්මක්ඛය ඥානය) නිසා අතීත සංසාරයේ කළ සියලු කුසල/ අකුසල කර්මවල ප්‍රතිසන්ධි විපාකද නැති කළ නිසා කාම/ රූප/ අරූප භවත්‍රයේ නැවත ප්‍රතිසන්ධියක් නැත. ඔවුහු සසරින් මිදුණු, සියලු දුකින් එතෙර වූ උත්තරීතර නිවීමකට පත් වූවාහු වෙති. කබලිකාර, මනෝ සංසේචිත, ඵස්ස, විඤ්ඤාණ ආදී අහාර වර්ග කීපයක් ඇතත් ඔවුහු ඒ පිළිබද මනාලෙස අවබෝධ කරගෙන ඇත.

මේ ආහාරය බොහෝ විට තෘෂ්ණාවට උපකාරී වේ. අප එය නොදැන සිටියද එය අප ඇලුණු තැනකි. එහෙත් මේ ආහාරය පිළිබද අවබෝධ කර ගැනීමට අපට අවස්ථා කීපයක් ඇත. ඤාණ පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, ප්‍රහාන පරිඤ්ඤා යනුවෙන් ක්‍රම තුනකට ආහාරය පිළිබද අවබෝධ කරගත හැකිය. ඤාණ පරිඤ්ඤා තුළින් තමාට ලැබෙන අනුභව කරන ආහාරයේ ඇත් ධාර්මික බව දැනගනී. එය නුවණින් සලකා බලයි. එනම් අප උපයන ධනය නිවැරදි ධාර්මික ධනයක් විය යුතුය. එය ආහාර පාන සදහා යොදවන විට පුද්ගලයාද දැහැමි වේ. මේ තත්වය ගිහි පැවිදි දෙපිරිසටම පොදුය.

තීරණ පරිඤ්ඤා මීළග අවස්ථාවයි. එනම් ආහාරයේ ස්වභාවය පිළිබද අවබෝධ කරගැනීමයි. ආහාරයක් දුටු විගස ප්‍රසන්න ප්‍රිය මනාප වූ මිහිරි බවක් ඒ තුළ පෙනේ. එය රස විදීමට සුදුසු වුවත් ඒ පිළිබද ඊට ගැඹුරින් දැකීම තීරණ පරිඤ්ඤාවයි. එහි ඇති පටික්කුල බව/ පිළිකුල් ස්වභාවය අවබෝධ කරගත යුතුය. එනම් රස තෘෂ්ණාව දැඩි ලොල් බවින් මිදී, ජීවිතය පවත්වා ගෙන යාමට ගුණ නුවණ දියුණු කරගැනීමට අවශ්‍ය බව තේරුම් ගෙන ඊට අවශ්‍ය කායික ශක්තිය පවත්වා ගැනීමට පමණක් බවත් මේ සියල්ල මොහොතකින් වෙනස් වන බවත් අනුභව කිරීමෙන් පසුව වෙනමම පරිවර්තනය වන ආකාරයත් සුවද රස, ප්‍රියමනාප බව තුළ ඇති තාවකාලික වින්දනයත්, ඒවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් සමන්විත බවත් මේ ආහාර අනුභව කරන තමාද සතර මහා භූතයන්ගෙන් සමන්විත බවත් ඒ ආහාර/ ශරීරය ඔවුනොවුන්ගේ හදුනාගැනීමත් නැතිව, පහළවන්නා වූ චිත්ත චෛතසික ධර්මයන්ගෙන් ඒ හදුනාගැනීමත් නැති බව සිතන කෙනා ආහාරය තුළ ගැඹුරු අවස්ථාවක් දකී. මේ ආහාරය අනුභව කරන පුද්ගලයෙක් නැත. නාම රූපවල ක්‍රියාකාරී බවත් ඒවා ඇතිව නැතිව යන ආකාරයත් අවබෝධ කරගනී. එසේ නම් කොතරම් උසස් විදර්ශනාවකට මේ තීරණ පරිඤ්ඤා අවබෝධය තුළ කෙනෙකුට පත් වියහැකිද?

මීළගට ප්‍රහාණ පරිඤ්ඤා යනු ආහාරය පිළිබද රස තෘෂ්ණාව නැතිකර ගැනීමයි. එවැන්නෙකු ආහාරයට නොඇලේ. ගිජු නොවේ. නුවණ මෙහෙයවා ඒ පිළිබදව මධ්‍යස්ථව සිතයි. එවිට ආහාරය නිසා ඇතිවන අසීමිත ලෙඩදුක් ද අඩු වේ. ආධ්‍යාත්මිකව කෙලෙසුන්ගෙන් මිදෙන ආකාරයද සිතයි. මේ තුන් ආකාරයට ආහාරය පිළිබදව අවබෝධ කරගැනීම රහතන් වහන්සේලාගේ සුවිශේෂී ගුණයක් වුවද උපාසක උපාසිකාවන් වන අපට ද එය ඉතා වැදගත් ය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *