විශ්වයේ අපූර්වතම නිර්මාණය මිනිසා යැයි කිවහොත් එය නිවැරදි යැයි සිතමි. මනසෙහි ඉහළම ශක්තිය උපදවාගෙන විශ්වයට සමගාමී වීමටත් එයට විරුද්ධව යමින් යලි පරිණාමයට පත්වීමට නොහැකි ජීවියෙකු පමණක් වී මේ විශ්වය තුළම සැගවී ගැනුමටත් මිනිසාට හැකියාවක් ඇත.
මිනිසාගේ මැවීම පිළිබදව බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටම නොයෙකුත් මතිමතාර්තර පැවතිනි.බෞද්ධයන්ට පමණක් සීමා නොවූ මුළු මහත් මිනිස් ප්‍රජාවටම බලපාන්නා වූ බෞද්ධ දර්ශණය පුරාවටම ගැබ්ව ඇති ලෝක සත්‍යය, ලෝක යථාර්තය තුළ මිනිසා පිළිබදව සැබෑ තොරතුරු අසා , දැන, දැක බලාගැනීමටද කාහටත් හැකියාව ඇත. සත්වයෝ අතර මිනිසාට වටිනාකමක් ඇත්තේද මනසෙහි වූ මේ සුවිශේෂී ක්‍රියාකරීත්වය නිසාමය.
මිනිසා තුල සිටින්නේ මිනිසෙක් පමණක්ද ? නැත මිනිසා විවිධ චරිතයන් නිරූපනය කරයි. අනන්ත සංසාර ගමනක සිට පැමිණෙන හෙයින් විවිධ ආත්ම භාවයන් අප සතුය. ඒ හැම ආත්ම භාවයකම සටහන් විඤ්ඤානය තුල සටහන්ව ඇත. ඒ සත්‍යයෙහි සත්‍යතාවය කවදා හෝ දැක ගන්නේද? මේ මිනිසාම නොවේද? එසේ දැක ගැනීමට නම් මිනිසාට නිකන් බලා සිටීමෙන් නම් බැරිබව ප්‍රත්‍යක්ෂයි.
ලොව්තුරා බුද්ධත්වයට උත්තරීතර මනුෂ්‍යත්වය ලැබුවේද මිනිසෙක්මය.දයාබර මවකගේ කරුණාවන්ත හදකින් පිටවූ ලෝකයේ මිහිරිතම වචනය ඔබ බුදුවේවා යයි කළ ප්‍රාර්ථනය ඇසූ ලොව වාසනාවන්තම පුතා එදා පටන් සිතුවේ බුදු වන්නටමයි. දහසය කල්ප ලක්ෂයක් සිතින්, වචනයෙන් පාරමිතා පුරමින් සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් එය ක්‍රියාවට නන්වමින් පාරමී පූර්ණය කර ගෞතම බුදුන්වහන්සේ නමින් බුදු වූ බව අප දනිමු.මෙවන් උත්තරීතර තත්වයට පත් වූයේ මිනිසෙක්මය. ඕනෑම කෙනෙකුට ඒ සදහා සුදුසුකම් ලැබිය හැකිය. කිසිවෙකුටත් මේ මේ තත්වයන් ලැබිය යුතු යැයි සීමාවක් පනවා නැත. කලයුත්තේ බුද්ධකාරකාදී ධර්මයන් පුරමින් තම සැගවී ගත් සිත අවධිකර ගැනුමය. මිනිසා මිනිසෙක් ලෙසම සිටිය යුතු නොවේ. මනුෂ්‍යයෙකු විය යුතුයි. ක්‍රියාකාරී මනසක් තිබෙන නිසා මිනිසත් වුවත් මනස උසස් කරගෙන මනුෂ්‍යයෙකු විය යුතුයි. යහපත් ගුණධර්ම ජීවිතය තුල දියුණු තියුණු කරගෙන හොද අධ්‍යාත්මික සුවයක් විදීමට මිනිසාට හැක. මනුෂ්‍යාට දෙවියකු වීමටත් බ්‍රහ්මයෙකු වීමටත් හැකියාව ඇත. එහෙත් අපගේ දහම් තුල එවැනි තත්වයනට පත්වීම නිෂ්ඵල බව පැහැදිලි වෙයි.
මේ හැරුණු විටදී මිනිසා තම ශක්තිය හීන කර ගනී. මින් තිරිසන් සතුන් අපා සතුන් භූත, ප්‍රේත ආදී සත්වයන් ලෙසද නිරයේ වාසයටද ගමන් කරයි. ස්වරූපයෙන් මිනිසෙකු ලෙස පෙනී සිටියද විවිධ අවස්ථාවලදී තිරිසන් සතුන් මෙන් හැසිරෙන ආකාරය ප්‍ර්‍රේතයන් භූතයන් ලෙස යක්ෂයන් ලෙස ස්වරූපයන් ගන්නා ආකාරය මේ මිනිස් චරිතය තුළම විවිධ අවස්ථා වලදී දැක ගත හැකි වෙයි. මිනිසාගේ මනසෙහි දුර්වලතාවයන් නිසා මෙවැනි අවස්ථාවන්ට ගොදුරු වෙයි.
අයහපත් ක්‍රියාකාරීත්වය, නොසන්සුන්තාවය ව්‍යාකූලත්වය දැනුම අවබෝධය නැතිකම නිසාම මේ අවස්ථාවනට මුහුණ පා අසරණ වන ආකාරය අප නොයෙකුත් විට දැක ඇත. අධික කෝපය නිසා යක්ෂයන් ආකාරයට හැසිරෙයි. මෙවැනි අවස්ථාවක් ඇති වූ විට තමා තමාටම දඩුවම් කර ගන්නා අවස්ථා වෙයි. දැඩි තණ්හාව ආශාව නිසා භූතයන් ප්‍රේතයින් මෙන් වස්තුව රැකගෙනම සිටිනා අය කොතෙකුත් ඇත. අවබෝධයක නැතිකම නිසාම තිරිසන් සතුන් මෙන් හැසිරෙන දගලන ආකාරය සමාජයේ නොයෙකුත් අවස්ථාවල අපටම දැකබලා ගත හැකිය.පෙර ගති සිරිත් හුරු පුරුදු මෙවන් අවස්ථා වලට එකතුවන බැව් පැහැදිලිවෙයි. විෂමකාමය, විෂමරාගය, විෂම දෘෂ්ඨිය නිසා මිනිසා මිනිසෙක් නොවන තත්වයකට අද සමාජය පත්ව ඇත. මිනිසා කරන්නේ මිනිසෙකු විසින් කලයුතු දෙයක් නොවේ. ක්‍රියාකාරී මනසක් දී තිබුණද ක්‍රියාත්මක වන්නේ යහපත් දේ තුළනොවේ.
වැරදි දේම හරි දේ ලෙස දකියි. යහපත් දේ අයහපත් ලෙස දකියි. සමහර විට වැරදි බව දැනගෙන ත් වැරද්දෙහිම බැදෙයි.
මිනිසාගේ භෞතික ස්වරූපය ඒ ආකාරයෙන්ම පැවතියත් මිනිසා තුළ ජීවත් වන්නේ මිනිසෙකුම පමණක් නොවේ. සිත දමනය කර නොගත් මිනිසා සමාජය තුළ ජීවත් වන විට යම් යම් අවස්ථාවලදී මිනිස් ස්වභාවය වෙනස් වෙයි. ආවේගශීලී බව තුළ මිනිසා අමනුෂ්‍යයකු වෙයි. නපුරු බියකරු සත්වයෙක් වෙයි රාගය උත්සන්න වූ කල මානුෂික හැගීම් නැත.පාලනය කරගත නොහැකි සිත රාගයෙන් උමතු කරයි. මුසපත් වූ සිත නෙත අන්ධකාරයෙන් වැසී යයි. ආලෝකය නැති නිසා කිසිවක් නොපෙනේ. තමාගේම ලෙයින් මසින් සැදුනු තමන් ම පෝෂණය කල දූ දරුවන් අතවරනයට ගොදුරු කරගන්නා පියවරු අද සමාජය තුල වෙයි.තරුණ වියටවත් පත් නොවූ ළමා වියේ පසුවන පාසැල් සිසුවියන් කොපමණ ක් මේ රාග ගින්නෙන් පිලිස්සී යන්න ඇද්ද මෙවන් අවාසනාවන්ත සිද්ධි තුල මිනිසාට මිනිසෙකු යැයි කිව හැකිද? තමාට ජීවත් වීමට වඩා වැඩියෙන් වස්තුව ගොඩගසාගෙන ඒවා විනාශයට පත් වී ගියද නැති බැරි තමන්ගේ කෙනෙකුට හෝ සමාජයට ද නොදී තව තවත් අරපරිස්සම් කරමින් ගොඩගසාගන්නා අයද තමා ගැනම පමණක් සිතා ජීවත් වන අයද වෙයි. එවන් අය මැරී ගොස් නැවත පැමිණෙන්නේද පුරුදු තැන ආරක්ෂාකීරීමට ගල් ප්‍රේතයන් මළ ප්‍රේතයන් වීය. එකම මිනිසා තුළ විවිධ චරිත ස්වභාවයන් සසර පුරුදුත් සමගම ගමන් කරමින් අවස්ථාවක් යෙදුනු වහාම ක්‍රියාත්මක වී යහපත් චරිතයනටද කැළලක්ැතිවන ආකාරය පැහැදිලි වෙයි. බාලබව, පණ්ඩිත බව, මනුෂ්‍යත්වය, දේවත්වය, රහත් බව, පසේ බුදු බව, බුදුබව යන සියළුම අවස්ථාවන් මිනිසෙකු තුලම පවතින බව දැන, අවබෝධය කරගෙන ඒ උතුම් මිනිසා නිර්මාණය කිරීමට අප උත්සහවන්ත වෙමු.
එස්.එච්.ශ්‍රියාලතා.