කිසිවකු ලොව තුළ සැපයක් ලබයි නම එය තම තමන්ගේ සිත තුළ පහන් හැගීමකින් කෙළවර වන්නා වූ සැපයක් ම විය යුතුය. අවසානයේ දුකකින් කෙළවර වන්නා වූ සැපයක් වේ නම් එය සැපයක් නොව දුක් ගංගාවක ආරම්භයක් ම වන්නේය. සසර පුරා ලෝභයෙන්ද, ද්වේශයෙන්ද, මෝහයෙන් ඉවත්ව කුළුණු ගුණය මෙත් සිත තුළ පතුරාගත් අයට ලැබෙන ලැබෙන ආත්ම භාවයන් සිත් සැප දෙන ආකාරයට හේතුප්‍රත්‍ය වන්නේය. එබැවින් යමෙකු ගිහිව හෝ පැවිදිව සිටියත් තමන් චිත්ත සන්තානය ප්‍රභාෂ්වර වන්නේ සසර වාසනාවටමය. මින් ගිහියකුගේ සැපය ලොව තුළ තීරණය වන අවස්ථා 4කි.
- අත්ථි සුඛ
- භෝග සුඛ
- අණන සුඛ
- අනවජ්ජ සුඛ
යන සතරකි.
අත්ථි සුඛ
තමන්ට සම්පත් තිබීමයි. යමෙක් තමන්ගේ දෑත, දෙපය, සිත වෙහෙසා යම් ධනයක් හිමිකර ගනීද ඔහු විසින් විටින් විට තමන්ගේ සිත තුළ අව්‍යාජ හැගීමකින් සතුටු වෙයි. මා හට ධනයක්, වස්තුවක් තිබේ. මා විසින් කා හටවත් පීඩාවක් හිංසාවක් නොකොට මා විසින් මාගේ දහඩිය මහන්සියෙන් හරිහම්බ කරගත් ධනයක් ඇත. එබැවින් මා හට එය සතුටකි. මා අනුභව කරන බත් පිඩ මට වාසනාවකි. එය මටම උරුමවූවකි. මා මගේ ධනයෙන් කරන පින පවා මා හට පුර්ණ අයිතියක් තිබේ. එබැවින් ම මට එය “සැපයකි” සිතමින් ම හේ සතුටු වෙයි.
භෝග සුඛ
එසේ තමන් උපයාගත් ධනය තමන් යොදවන යහපත් ආයෝජනයක් ගැන සතුටු වෙයි. මා මාගේ දහඩිය මහන්සියෙන් උපයාගත් ධනයම වර්ධනය පිණිස යහපත් කර්මාන්තයක යෙදෙව්වා. එය හානිවීමට විනාශකාරී හේතුවන් නොවන්නේය. ඒ ගැන ඔහු නිතර නිතර සතුටු වෙයි. තමන් විසින් යහපත්ව උපයාගත් මුදලින් තම දූදරුවන් පෝෂණය කරයි. අනුන්ගෙන් මුලා කර හරිහම්බ කරගත් දෙයක් නොවන බව දකිමින් තම දරුවන් තමන් උපැයූ දේ භුක්ති විදින බව දකිමින් හේ සතුටු වෙයි. දන් පින් කරන මොහොතක් මොහොතක් පාසා තමන් තම මහන්සියෙන් ලබාගත් කාර්යය ඒ පින් මටම අයිතිය යනුවෙන් සිතමින් සතුටු වෙයි. එය භෝග සුඛය යි.
අණන සුඛ
ලොව වැඩි දෙනෙකු ධනයක් හෝ භෝග සම්පතකින් හෝ ශ්‍රමයෙන් හෝ ණය වන්නේය. යම් කෙනෙක් තව කෙනෙකුට ඒ කොයි ආකාරයක හෝ විශාලව කුඩාව හෝ ණයක් නැත්නම් ඔහු නිදහසේ නිදයි. නිදහසේ ජීවත් වෙයි. එසේ සතුටින් සිටින ඔහු මම මලත් මට කම් නැත. මා කා හට හෝ ණය නැත යැයි සතුටින් ම සිටී. එය අණන සුඛයයි.
අනවජ්ජ සුඛ
යම් අයකු සිතින්, කයින්, වචනයෙන් කරන ක්‍රියාවන් උතුම් ක්‍රියාවන් කරගනිමින් ජීවත් වෙයිද ඔහුගේ තිදොරින් සිදුකරන ක්‍රියාවන් සම්බන්ධව කා හටවත් දෝෂාරෝපණය කළ නොහැකි තරම් පිරිසිදු යහපත් ක්‍රියාවක් නම් ඔහුට එය සැපයකි. මා විසින් සිදු කරන හැම ක්‍රියාවක් ම මටත් අන් අයටත් යහපතම හිතසුව පිණිසම වේ යැයි සිතමින් සතුටු වෙයි.
යමෙකුට ධනය තිබුණත්, ණය නැතිව සිටියත්, තමන් විසින් හරිහම්බ කරගත්තත් සිතින් කයින් වචනයෙන් සිදුවන ක්‍රියාකාරකම් තමාටත් අන් අයටත් යහපත් නොවන්නේ නම් ඔහුට සැපයක් නැත්තේමය.
වෛද්‍ය සමන් කංකානම්ගේ