සාධු චර්‍යාවෙහි පළමුවැන්න මෛත්‍රියයි.

සාධු චර්‍යාවෙහි පළමුවැන්න මෛත්‍රියයි

මෛත්‍රියෙහි විරුද්ධාර්ථය වෛරයයි. එබැවින් බුදුන් වහන්සේ දේශනා කළ සේක.

නහී වේරේන වේරානි

සම්ම න්තීද කුදාචනං

අවේරේනච සම්මන්තී

ඒස ධම්මෝ සනන්තනෝ

මේ ලොව කිසි කලකත් වෛරය කීරීමෙන් වෛර‍යෙන් නොසන් සිදෙත්. වෛර නොකිරීමෙන්ම (අවෛරයෙන්) වෛරය සන්සිදෙත් මෙය පෙර සිට පැවත් එන ධර්මයකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි. ධර්මතාවයකි.

මෛත්‍රිය යනු සෙනෙහස නොවේ, මවක් තම දරුවාට දක්වන සෙනෙහස වෙනම ගුණාංගයකි නමුත් ඒ මව තම දරුවාගේ ආරක්ෂාව, යහපත, උන්නතිය තුළ ඇති කරගන්නා පරාර්ථකාමී අව්‍යාජ හැගීම මෛත්‍රියයි. “එකම මවක් තම දරු රැකි විලසේ…” දරුවාගේ සර්ව සුභ සිද්ධිය තුළ ඇති කරගන්නා වූ උත්තරීතර විශ්වමය සාධකය මෛත්‍රියයි. ඒ තුළ අවසානයේ දුකක් හට නොගන්නකි. තම දරුවා විලස සියලු දරුවන්ට දක්වන මානසික ක්‍රියාකාරීත්වයක් මිසක් මෛත්‍රිය, මානසික හැගීමක් නොවේ.

මෛත්‍රිය යනු ආදරයද නොවේ. ආදරය තුළ අන්තිමේ වියෝ දුක හෝ රාගය තුළ මුසු වූ කාමාස්වාදයත් ඒ තුළ ඇති වීමට හැකි “දුක” තුළින් කිළිටි වීම සිදුවන්නකි. එසේ නම් මෛත්‍රිය යනු ආදරයද නොවේ. මෛත්‍රිය සිත තුළ ඇතිවන සහෝදරත්වයද නොවේ. යහලු මිත්‍ර කම තුළ ඇතිවන බැදීමක්ද නොවේ. ඒ හැමකටම සීමාවක් තිබේ. සහෝදරත්වය තමන් ඇසුරු කරන ඥාතීත්වයත් මත හෝ ආගමික, දේශපාලනික, භෞමික අඛණ්ඩතාවයක් තුළ පවතින සංකල්පයක් විය හැකිය. ඒ සීමාව තුළ සිටින විට ඒ සීමාවෙන් පිටත කෙනෙකු හිංසනයට ලක් වීම නොවැලැක්විය හැකිය. දේශපාලනයේදී “සහෝදරයා” සාමාජ වාදයේදී කොමොයුනිස්වාදයේ දී පමණකි. ආගමික සහෝදරත්වය ඇදහීමේ සීමව තුළ පමණකි. රටෙහි සහෝදරත්වය ආදාළ භූමි සීමාව තුළ පමණකි. ඥාතීත්වයේ හෝ යහළු මිත්‍ර සංගමයෙහි සහෝදරත්වය අදාල කණ්ඩායම තුළ පමණකි. ඉන් එහාට පිරිසක් නැත්ද? සිටීනම් එම සහෝදරත්වය මෛත්‍රිය නොවේ.

මෛත්‍රිය ඉතා ගාම්භීරය. ලොව එක ලෙස එක සිතින්, පසු බලාපොරොත්තුවක් නැතිව, විශ්වය පුරා පැතිරිය හැකි සීමා මායිමක් වෙන් කළ නොහැකි ධර්මතාවයකි. ගස් කපන්නා ගස් සෙවණට යන විට නුඹ ගස කපන්නෙකි පලයන් මෙතනින් අහකට… යනුවෙන් ගස මොර දෙන්නේවත් සෙවණ නොදී ඉන්නේවත් නැත. ඔබට අපට ලබා දන සෙවණම ඒ පුද්ගලයාටද එක ලෙස ලබා දේ.ඒ සල්වල තුළ හිරු තමන්ගේ  රශ්මිය හැම ග්‍රහලොවකටම, තාරකාවකට ලබා දෙන පරිද්දෙන් හැම සත්වෙයෙකුටම ජීවය ලබා ගැනීමට උපකාර වන පරිද්දෙන් මෛත්‍රියද සියල්ලන්ටම පොදු උතුම් ගුණාංගයකින් හෙබි සීමා බන්ධනයකින් තොර උදාර සංකලනයකි.තමන්ට තමන් තුළ මෙත් සිත පැතිරිය නොහැක්කාට අන් අයට මෙත් සිත පැතිරිය නොහැක්කේමය. එනම් තමන්ටත් නැති මෙත්තාව අනුන්ට පැතිරිය නොහැක්කේමය. අප අකුසල් කරන්නේ පසිදුරන් තුළ ගන්නා වේදනාවේ ස්වභාවය මතමය. තමන් තුළ තමන් වේදනාවක් ගන්නා පුද්ගලයා තුළ දුක උපදී. තමන් තුළ උපදින දුකක් ඇති අයෙකු ළග එසේනම් මෛත්‍රිය කෙසේවත් තිබිය නොහැකිමය.

  • කය අනුපස්සනාවට ලක් කරන පුද්ගලයාද
  • වේදනාව අනුපස්සනාවට ලක් කරන පුද්ගලයාද
  • චිත්තය අනුපස්සනාවට ලක් කරන පුද්ගලයාද

ඒ තුළ ඇති ධර්මතාවයද අනුපස්සනාවට භාජනය කරයි.එසේ නම් මෛත්‍රිය යනු විශ්ව ධර්මතාවයක් අවබෝධ කර ගැනීමට හැකි උත්තරීතර මාර්ග ඥාණය, ප්‍රබල ශක්ති ධාරාවක් මිස අවසානයේ දුකින් කෙළවර වන වචානාර්තයක් නොවේ. මෛත්‍රිය පරමාදර්ශීය, ගාම්භීරය, අති පාරිශුද්ධය.

අප අමා මෑණී වූ බුදු රජාණන් වහන්සේ තුළින් දිස් වූ මෛත්‍රියෙහි ප්‍රමාණයට සමකළ හැක්කෙක් ලොව සිටියා නම් ඒ තවත් බුදු රජාණන් වහන්සේ කෙනෙක්ම වන්නේය. සංසාර භවයන් කප් ලක්ෂ ගණනින් පුරුදු පුහුණු කළ ඒ සාධු චර්‍යාව තම රාහුල කුමරුවන් මෙන් තමන්ට ඇප උපස්ථාන කළ ආනන්දටත්, තම හිසට ගල් පෙරලූ දෙවුදත්ටත් එක සේ ප්‍රකාශ කළ සේක. උතුම් බෝසත් මග තුළ උන්වහන්සේ සියලු දෙනාට මෛත්‍රී කරන්නට තම දිවිය කැප කළ සේක.

මගේ ජීවිතයේදී මම ඔබව ආරක්ෂා කරගන්නම් එතන මෛත්‍රිය නැත. මගේ ප්‍රේමය ආදරය වෙනුවෙන් මම ජීවිතය උනත් පුදන්නම්. ගංගාවේ මහ මුහුදේ පනින්නම්. ඒ මෛත්‍රිය නිසා නොවේ. ඒ ඇත්තේ උන්මාදයක් පමණකි. හැම කෙනෙකුගේම දුක ජය ගන්නට ජීවිතය පූජා කරන්නට පෙරාතුව තමන්ට “දුක” ඇති බව අවබෝධ කරගත යුතුය. එබැවින් තමන් පීඩාවට ලක් වෙමින් අනුන්ගේ යහපත තුළ මෛත්‍රිය කෙසේ ඇතිවන්නද? මෛත්‍රිය “මම” යන සීමා බන්ධනයද නොමැතිව පොදු විශ්වයක් හා ඒ විශ්ව සන්නතියේ සචේතනික අචේතනික ජීව ක්‍රියාවලිය තුළ සර්ව සිද්ධියක් ඇති කරලීම දක්වා මෙහෙයවන ප්‍රබල සාධකයක් වන්නේ එබැවිනි.

මෙත්තාවෙහි විරුද්ධාර්තය නම් වූ වෛරය මෙන්ම එම වෛරය තුළ ඇති වන ක්‍රෝධ ගින්න නිවීමට මෛත්‍රිය නැමති සිසිලසම ප්‍රමාණවත්‍ ය. මෛත්‍රිය හැර වෙන කිසිවකින් එය නිවිය නොහැකිමය. තමන්ට භිය, විපතින් ශෝකය දුක ඇතිවන බව අවබෝධ වන්නේ නම් අන් අයට බිය විපත් කැදවන්නට අප උත්සාහ නොකළ යුතුය. එවිට ඇතිවන්නේ මෛත්‍රියයි. එබැවින් තමා උපමා කරමින් අන් අයට හිත සුව පිණිස වන්න… බුදුන් වහන්සේද දේශනා කළ සේක.

සියලු සත්වයෝ දුකින් මිදෙත්වා..මාද දුකින් මිදෙත්වා… නීරෝගී වෙත්වා… සියලු සත්වයෝද රෝග බවින් නිදහස් වෙත්වා… මේ අප නිවැරදිව මෛත්‍රිය වැඩීමක්ද? නැත. තමන් දුකින් මිදෙන්නට මන් දුක ඇතිවන හේතු නැති කර ගැනීමේ වෑයමක සිටිය යුතුය. තමන් නීරෝගී වන්නට නම් රෝගී වන්නට හේතු ඉවත් කරගත යුතුය. තෘෂ්ණාවෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් තමා තුළම තමන් ගැන ආත්ම පීඩාවකින් කටයුතු කරන මිනිසා තුළ තමන්ට මෛත්‍රියක් හෝ අනුන්ට පැතිර වීමක් හෝ කළ හැකිද? එබැවින් මේ ප්‍රබල ධර්මතාවය මැනවින් අවබෝධ කරගන්නේ නම් ලොවක් සුන්දර වනු ඇත. සියල්ලෝ නිවණින් සැනසෙනු ඇත.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *