කුහකයා කවුද? කුහක කම කුමක්ද?

කුහක කම, මෙන්ම කුහකයා යන්නද කිසියම් පුද්ගලයෙක් හෝ පැවතුම් රටාවක් සමාජයේ අප්‍රසාදයට, අවඥාවට ලක්කොට කතා කිරීම සදහා භාවිතා වන වචන දෙකක් වෙයි. ඇත්ත වශයෙන්ම කුහකකම් කරනවා යන්නේ අදහස කුමක්ද? කුහකයාගේ හැටි ස්වභාවය කෙබදුද? විමසා බැලීම වැදගත් වෙයි.
මට පෙනෙන හැටියටනම් සාමාන්‍ය ව්‍යවහාරයේ මේ වචන භාවිතා වන්නේ පැහැදිළි නිශ්චිත තේරුමක් නැති ආකාරයකටයි. ඇතැම් තැනෙක, කෙනෙකුට හිතවත් කමක් නොදක්වන කෙනෙකුගේ දියුණුව නොරුස්නා කෙනෙකු “කුහකයෙකු” ලෙස හදුන්වන අතර ඔහු විසින් එබදු අවස්ථා වලදී ඇති කරන බාධක හා බාධා ඇති වන සේ කියන කතා, කුහකකම් ලෙස සැලකීමට අපි පුරුදු වී සිටිමු. එහෙත් බුදු දහම තුළ භික්ෂු භික්ෂුනීන්ගේ දුශ්ශීල බවට හේතු වන පැවතුම් අතර කුහකකම විශේෂිත අර්තයකින් හදුන්වා ඇත. භික්ෂූ ශීලය ආකාර හතරකින් දැක්වේ.

  1. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය.
  2. ඉන්ද්‍රිය සංවර ශීලය.
  3. ආජීව පාරීශුද්ධි ශීලය.
  4. පච්චයසන්නිශ්‍ර්‍රීත ශීලය වශයෙනි.

මෙහිදී ආජීව පාරීශුද්ධි ශීලයේදී ඇවැත් නොවන්නට පනවා ඇති ශික්ෂා පද 06ක් ඇත. ඒ ශික්ෂා පද බිදීමෙන් ඇවැත් සිදු වේ. ඊට අමතරවද ආජීවය අපිරිසිදු වන පැවතුම් කිහිපයක් විශුද්ධි මග්ගය තුළ දක්වා ඇත.

කුහනා, ලපනා, නෙමිත්තකතා, නිප්පේසිකතා ලාභේන ලාභංනිජිගිංසනතා යනුවෙන් ආජීවය අපිරිසිදු වන ආකාරය පහක් වෙයි. මින් පළමුවන “කුහනා” යන්නෙන් අදහස් වන්නේ අප කතා කරන “කුහකකම” යි. විශුද්ධි මාර්ගයට අනුව කුහක හෙවත් කුහනාව කෙබදුද?

“ලාභ සත්කාර හා කීර්තිය ප්‍රාර්ථනා කරන, පාපිච්ඡ හෙවත් නැති ගුණ අගවනු කැමති, ලෝභයෙන් මඩනා ලද  “භික්ෂුවක්” තුළ කුහක බව ක්‍රම තුනකින් හදුනා ගත හැකිය.

  • දායකයෙක් යම් භික්ෂුවකට චීවර ආදී යම් ප්‍රත්‍යයක් පිළිගන්වන්නට (පිරිකර වශයෙන්) පැමිණේ. භික්ෂුවට එය ගන්නට කැමැත්තක් ඇත. නමුත් “මට මේ තියෙන දේ මිස වැඩිපුර අවශ්‍ය නැතැයි ” කියා ප්‍රතික්ෂේප කරයි.දායකයාද ස්වාමීන් වහන්සේ තෘෂ්ණාවෙන් තොරය. අල්පේච්ඡය ආදී වශයෙන් උන්වහන්සේගේ ගුණවත් බවට පැහැදී කෙසේ හෝ උසස් උසස් පූජාවන් දෙන්නව ම සිතා උත්සාහ කරයි. අනුනටද ඒ බව කියයි. දායකයෝ තවත් පැහැදී විවිධ පරිෂ්කාර පූජාවන් වැඩි වැඩියෙන් ගෙන එති. තමන්ට අවශ්‍ය නැති වුවත් දායකයන්ට පින් පිණිස භාර ගත් යුතු නේදැයි කියා ප්‍රත්‍ය‍යන් භාර ගනී. මෙසේ නැති ගුණ අගවා ලාභ සත්කාර ලැබීම භික්ෂුවගේ කුහක බවයි.
  • තමා තුළ උසස් ධ්‍යාන, මාර්ගඵල ආදී උත්තරීතර මනුෂ්‍ය ධර්ම ඇතැයි සිතා ගන්නට ඉඩ සැලසෙන ආකාරයෙන් තමන් මතු කොට කතා කිරීමෙන් දායකයින් ‍රවටා ලාභ සත්කාර කීර්ති ලබා ගන්නේ නම් එයද භික්ෂුවගේ කුහක බවයි.
  • තමන් තුළ නැතත් එබදු උසස් ගුණයන් ඇති බව හැගවෙන පරිදි දැඩි සංවරශීලීව බිම බලා හෙමින් සීරුවේ ගමන් කිරීම, විශේෂ මෘදු මොලොක් කාරුණික බව දැනෙන සේ කටහඩ හසුරුවා කතා කිරීම-වාඩිවීම් හා සයනය කිරීම ආදී වශයෙන් වංක ලෙස ඉරියව් පවත්වමින්, දායකයින් ලාභ සත්කාර සදහා පොළඹවා ගනීද එයද භික්ෂුවගේ කුහක බවකි.

මේ අයුරින් කුහක හෙවත් කුහක බව අජීව පාරිශුද්ධිය අපිරිසිදු කරන කෙලෙස් දහම් ක්‍රියාත්මක වීමක් ලෙස සලකනු ලැබේ. එයින් භික්ෂුවක් අනුන් රැවටීමක් සිදු කරන අතර අකුසල රාශියක් ඇති කරගන්ට මග පාදා ගනී.

භික්ෂූන්ගේ කුහකබව එසේනම් ගිහි පක්ෂයේ වුවත් කුහකබව යනු ලාභ ප්‍රයෝජන ලැබීම සදහා තමාගේ කීර්තිය වැරදි ලෙස ගොඩනගා ගැනීම සදහා තමා මතු වී සිටීම සදහා තමා තුළ නැති ගුණ ඇතැයි, හගවමින්ද, කතා කරමින්, විශේෂිත රග පෑම් සහිත ඉරියව් පැවැත්වීමෙන්ද ලෝකයා රැවටීම බව තේරුම් ගත යුතුය. කා තුළ ඇතත් කුහක බව ක්ලේෂ දහමක් පමණි.

ඉළිඹේ විදාන.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *