දෙමාපියන් වන අපි අපේ දරුවන් කුඩා කල සිටම ඔවුන්ට ඕනෑ විදිහට නොව අපට ඕනෑ විදිහට හැදෙන්නට වුවමනා බව තරයේම සිතමු. ඒ සදහා නොයෙකුත් ආකාරයේ අධ්‍යාපනය දැනුම ලබාදෙමින්,ධනය ඇතත් නැතත් ජාත්‍යන්තර පාසල්වලට පවා යොමුකරවමින් දිවි දෙවැනි කොට ක්‍රියා කරමු.ඇතැම් දරුවන් බොහෝ දුක්විද ඒ අධ්‍යාපනය දැනුම නිසි පරිදි ලබා ගෙන රටේ ඉහළ තානාන්තර දරමින් දෙමාපිය අපේක්ෂා ඉටුකරති.එහෙත් ඔවුන්ගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ජීවිතය පිළිබද හාංකවිසියක් සිතන්නටවත් ඔවුනට විවේකයක් නැත.ඇතැම් දරුවන් දෙමාපිය අපේක්ෂා භංග කරමින් සසර පුරුද්දට දෝ තම තමාට ආවේණික ස්වාධීන මගක ගමන්කර තම ජීවිතය සාර්ථක කරගනිති.නැතහොත් අසාර්ථක කරගනිති.එහෙත් මා ඔබට පවසන්නට උත්සාහ දරනුයේ අප කිසිවෙකු නොදන්නා කිසිවකු නොපෙනෙන තේරුම්ගත නොහැකි කුමක්දෝ දෛවෝපගත මෙහෙයවීමක් සසර පුරුදු සමගම අත්වැල් බැදගෙන අප පසුපස එන බවයි.එය දෛවය ඉරණම, වාසනාව යනුවෙන් ඇතැම් අය හදුන්වති.එහි අතිශය සැගවුණු බව නිසා කිසිවෙකුටත් එහි අවසානය දක්වා ගමන් කරන තුරු අවබෝධයක් නොමැත.බෞද්ධ සාහිත්‍යයේ මේ පිළිබද උදාහරණ අනන්තය.
“බලන්න බුදු ස්වාමීනි – දරන්න බැහැ සෝ ගිනි” කියමිනි බුදු සමිදු පාමුළ හඩා වැටුනු පටාචාරාවගේ ඉරණම කෙබදු වීද? ඇය ගෞතම බෝසතුන් පාරමී පුරන තාක්කල් බෝසත් ගමන් මගෙහිම පැමිණ ඇත.බුදු සමිදු හමුවේ රහත් තෙරණියක වී විනයධර භික්ෂුණින් අතර අගතැන්පත් දැරීමට තරම් පුණ්‍ය මහිමයක්ද ලබා ඇත.එහෙත් සාමාන්‍ය සමාජය ඇය දෙස බලන්නේ “බලන්න, අර සිටු පවුලටම නිගා කර දාසයා සමග පලා ගිය කෙල්ල කරුමෙට මොනවා කරන්නද?” යනුවෙන් දෙමාපිය දෘෂ්ඨිකෝණයෙන් බලමින් ඇයට සාප කරති.එහෙත් ඇගේ දෛවය එයයි.ඇය දාසයා සමග පලා නොයන්නට ස්වාමියා මගදී මිය නොයන්නට දරු දෙදෙනා මිය නොවන්නට, සිටු පවුලේ සිටුතුමා, සිටු දේවිය හා පුතා එදිනම මිය නොයන්නට,ඇයට බුදුන් වහන්සේ හමු වේද? ඇයට යන්තමට හෝ එල්ලෙන්නට අත්තක් තිබුණානම් (අඩුතරමින් සොහොයුරාවත් ජීවතුන් අතර සිටියානම්) ඇය ඔහුගේ පිහිට පතා සැවැත් නුවරට නොයාවිද? බුදුන් දකින්නටවත් ඇයට නොලැබෙනු ඇත.ඇගේ ගමන් මග එයයි.ලෞකික ජීවිතය තුළ ඇය පරාජය වී ඇත්තේ අධ්‍යාත්මික ජීවිතය ජය ගැනීමටයි.
කුණ්ඩලකේශීයද රූමත් තරුණ සිටු දියණියකි.ඇගේ රූමත්කම නිසාම දෙමාපියන් ඇය සිටුමාළිගාවේ උඩු මහළේ මෙහෙකාරියක පමණක් උදව්වට ලබා දී සිර කාරියක සේ සිර කර තැබුවේ තමාට නොගැළපෙන පෙම්වතෙකු සොයා ගනිවී යැයි බියෙනි.එහෙත් ඇය ආශා කළේ වද බෙර ගසමින් මරන්නට ගෙන සොර දෙටුවෙකුටය.ඇය දිවි තොර කර ගනිවී යැයි බිය වූ දෙමව්පියෝ වදකයන්ට අත්සල් දී සොරා ගෙනවිත් විවාහ කරදුන්හ.අවසානයේ කුමරියද මරා ඇගේ ආභරණද රැගෙන පලායන්නට සූදානම් වූ සොරාව සොරුන් හෙලන ගල පහළට තල්ලු කල දැමීමට තරම් ප්‍රඥාවක් කුමරියට පහළ විය.ඇය පසුව පරිබ්‍රාජිකාවක වී සැරියුත් හිමියන්ගේද උපකාර ඇතිව බුදු සසුනේ රහත් තෙරණියක බවට පත්වූවාය.ඇගේ සිත සොරා කෙරෙහි නොබැදෙන්නට සොරා ඇයව මරා දැමීමට උත්සාහ නොකරන්නට ඇයට ජීවිතයේ යථාර්තය නොවැටහෙනු ඇත.ඇගේ ඉරණම එයයි.
එදා භද්ද වග්ගිය කුමාරවරුන් තිස් දෙනාට තමා කැදවා ගෙන ගිය නගර ශෝභනිය තම වටිනා ආභරණද රැගෙන පලා නොගියා නම්, ඔවුන් ඇය සොයා වනය පීරද්දී බුදු රදුන් මුණ නොගැසුනේ නම් කෙසේ නම් රහත් බව ලබන්නද? ඔවුන් උයන්සිරි විද ආපසු නිවෙස් කරා යනු ඇත.
සුභා තෙරණිය පිළිබද කථා පුවත ඔබ අසා ඇතැයි මම සිතමි.ඇය රහත් තෙරණියක බව නොදත් තරුණයෙකු ඇයට කරදර කරමින් ඇය පසුපසම ආ අයුරු….ඇය තම කුටියට ඔහු කැදවා වඩාත්ම ආශා කරන බව පැවසූ දෑස ගලවා අතට දුන් අයුරු ලොමු දැහැගැන්වෙන සුළුය.එහෙත් ඔහුට එයම කමටහන් විය.ඔහුට බවුන් වඩා රහත් මග පසක් කර ගැනීමට එයම හේතු විය.ඔහු සුභා තෙරණිය පසු පසම නොගියා නම් ඇයට කරදර නොකළානම් එය එසේ සිදු නොවුනු ඇත.
සෝවාන් වූ කාන්තාවක් මස් වැද්දෙකු හා විවාහ වූවාය.බැලූ බැල්මට සම්මුති ලෝකය තුළ අපි මෙවැන්නක් අනුමත නොකරමු.ඔහුට අවශ්‍ය දඩයම් උපකරණ සපයා දී යහපත් බිරිදක ලෙස පුතුන් හත් දෙනෙකුද ලැබුවාය.මස් වැද්දාගේ උගුලට හසු වූ සතෙකු තපස්වරයෙකු විසින් නිදහස් කිරීම නිසා ඔහු කෝපයෙන් තපස් වරයාට දුනු ඊ තල මානාගෙන සිටියේය.ඔහු එතනම ගල් විය.පියා සොයා පැමිණි පුතුන් හත් දෙනාට ද එලෙසම සිදු විය.අවසානයේ මව විසින් මේ අට දෙනාම බේරා ගන්නා ලදී.බවුන් වඩා මේ සියල්ලෝ රහත් වූහ.
ප්‍රාදේශීය රාජ්‍යයක පැවති අරගලයක් සන්සිදවීම නිමිත්තෙන් කොසොල් රජු සන්තතිනම් ඇමතිට රජකම සතියකට පවරා දුන්නේය. නුවර සිරි විදිමින් නටමින් ගයමින් යන මේ පිරිස දැක බුදුන්වහන්සේ දිනක් භික්ෂු සංඝයා අමතා මේ සන්තති ඇමති අද සවස් යාමයේ රහත් වන බව පවසා වදාළ සේක.තමා සතියක් පුරා සතුටට පත් කරවමින් නැටුම් ගැයුම් කළ රූමත් නාටිකාංගනාව එදින සවස් වනවිට අධික ලෙස විඩාවට පත්ව මැරී වැටුනේය.සන්තති ඇමතිට මෙය දරා ගත නොහැකි විය.පිස්සෙකු මෙන් එහෙ මෙහෙ දිව යන්නට විය.බුදු රදුන් හමු වී එක් බණ පදයකින්ම රජ ඇදුම් පිටින්ම රහත් විය.
දෙව්රම් වෙහෙර සිරි නැරඹීමට සිතා එහි ගිය ඛේමා බිසවට බුදු රදුන්ට පවන් සලමින් සිටි රූපත් තරුණ කතක මහළු වී ජරා ජීර්ණ වී මිය යනු දක්නට ලැබුණ.එයම ඇයට කමටහන් විය.
හරන්තික හොරා ආරඤ්ඤක අභය ස්ථවිරයන්ගේ සිවුරු හැමදාම සොරකම් කළේය.සිවුරු පූජා කරන උපාසකයා සොරා අල්වාගෙන මළමිණියකට බැද මුලු නුවරම රාත්‍රියේ ඇවිද්දෙව්වේය.කිසිම නිවසක දොරක් ඔහුට නෑරුණි.අවසානයේ අභය ස්ථවිරයන්ගේ පිහිට පතා යාමට ඔහුට සිදු විය.ඔහු නොබෝ කලකින්ම පැවිදිව රහත් විය.ඔහුට මග වූයේ එයයි.
මේ සියළු උදාහරණ කතා තුළින් මා කියන්නට උත්සාහ දෙය නම් සෑම කෙනෙකුගේම ප්‍රභාෂ්වර වූ යටිසිත අවදිකරවීමට එදා බුදුරදුන් පිහිට වූ සේක.සෑම නරක කෙනෙක් තුළ/ නරක සිදුවීමක් තුළ සැගවුණු හොදක් ඇත.එය අවදිකරවීම එතරම් පහසු නැත.අප කළ යුත්තේ ඉවසීමෙන් හා උපේක්ෂාවෙන් ඒ දෙස බැලීම පමණි. “හැමදෙයක්ම වෙන්නෙ හොදටයි.” යන්නේ මනා අරුථක් ඇත.කෙනෙකු මිය යන්නේද ඒ කෙනාගේ/ අන් අයගේ හොදට විය හැකිය.අපට යමක් නොලැබෙන්නේද අපේ යහපතට විය හැකිය.ලෞකික ජීවිතය තුළ අසාර්ථක චරිත දෙස මිනිසුන් බලන්නේ මහා පව් කාරයෙකු ලෙසිනි.ඇතැම් විට ඒ තැනැත්තාට එයම වෙස් වලාගත් ආශීර්වාදයක් වන බව කවුරුත් නොසිතති.එය තේරුම් ගත නොහැක්කේ අපගේ මෝහයේ තරම නිසාවෙනි.දරුවෙකු ලොකු මිනිසෙකු කරනවාට වඩා හොද මිනිසෙකු කළහොත් ලෞකික ජීවිතයද ඉබේම සාර්ථක වනු ඇත.අපට ලැබී ඇති මේ ජීවිතයෙන් සෑහීමකට පත්ව අප දැන් මුදල් තැන්පත් කළ යුත්තේ ඊළග භවය වෙනුවෙනි.එනම් කුසල් නැමැති මුදල්ය.ඒ නිසා මේ භවය තුළ දෙමාපිය අපේක්ෂා ඉටු කරන්නට නොහැකි වුවත් අධ්‍යාත්මික ජීවිතය තුළ දිවි දෙවෙනි කොට ක්‍රියා කරන අපේ කාලයේ කුමර කුමරියන්ට මෙය ආදර්ශයකි.