එකම ස්ත්‍රියකට බැදි ලෝලය නිසා ජාති සතරකම මරණයට පත් වූ මිනිසෙක්

එකම ස්ත්‍රියකට බැදි ලෝලය නිසා ජාති සතරකම මරණයට පත් වූ මිනිසෙක්

පෙර කාලයකදී එක් පිරිමියෙක් තම සහෝදරයාගේ භාර්යාව සමග කාම රතියෙහි හැසිරෙයි. මෙම ස්ත්‍රියද තමාගේ පුරුෂයාට වඩා මේ පුරුෂයාගේ සහෝදරයා සමග කම් සැප විදින්නට ගිජු වූවාය. එහෙත් කල් යත්ම තම පුරුෂයාට මේ බව දැනිය හැකි අවකාෂය වැඩි බව අවබෝධ කරගත් මෙම කාම කාන්තාව ඇති විය හැකි බැරෑරුම් අවස්ථාව වළකාලීම සදහා තම පුරුෂයා ඒ සහෝදරයා ලවා මැරවීමට කල්පනා කරන්නට විය. දිනක් මෙම හොර පුරුෂයා ළගට පැමිණි මෙම කාන්තාව තාගේ සහෝදරයා කෙසේ හෝ මරණයට පත් කළ යුතුය. නැත්නම් නුඹට මා සමග පෙමින් සිටින්නට නොහැකි වන්නේය යනුවෙන් පිළිවදන් දෙන්නීය. මෙම හොර පුරුෂයාද තම සහෝදරයා මැරීමට නොහැකි බව සපත කරමින් කියා සිටියදී කෙසේ හෝ මෙම මායම්කාර කාන්තාව අන්තිමේ හොර පුරුෂයා එකග කර ගත්තාය.

“අපි කොහොමද ඔහුව මරන්නේ?” මම හොදම අවස්ථාවක් අරන් දෙන්නම්කෝ ඇගේ පිළිතුර වූවාය. දිනක් තම හොර සැමියාට මෙම තැනැත්තිය තමාගේ උපාය පවසන්නීය. ඔබ නාන තොට ළග ඉන්න. මම එතන කැපෙන පොරවක් තබා ඇති. ඔහු ඇවිත් දිය නාන්නට හිස පහත් කරන විට ඔබ පොරවෙන් කොටන්න යැයි පැවසීය. හොර පුරුෂයාද නාන තොටෙහි බැදි රොදක් අසල සැගවී සිටියේය. එදින මහා කැලයේ ගොවි කර්මාන්තය කර නිවසට පැමිණි තම සැමියා අමතා මෙම කාන්තාව මහත් ස්නේහයෙන් දොඩමළු වන්නට වූවාය. ස්වාමීනී ඔබ අද වෙහෙස වී නේද? එන්නකෝ ළගට… මම ඔබගේ හිස බලන්නම්… මේ කාන්තාවගේ ස්නේහයෙන් උද්ධාමයට පත් වූ පුරුෂයා හිස උකුළේ තබා ගත්තේය. අනේ ස්වාමීනී… බලන්නකෝ හිස හොදටම අපිරිසිදු වෙලා… මම ඔබට නෙල්ලි යුෂ දෙන්නම්… පහළ නාන තොටට ගොහින් හිස ගා හොදින් සෝදා ගෙන එන්නකෝ… මම ඔබව අපේක්ෂාවෙන් සිරියහන සාදා තබන්නම්… මේ තැනැත්තියගේ හැගීම්බර වචනයෙන් ප්‍රමුදිත වූ සිත් ඇති මේ පුරුෂයා නාන තොටට ගොස් හිස සෝදන්නට විය. කැලෑ රොදෙහි සැගවී සිටි හොර පුරුෂයා එකවර දුවවිත් පිට මැදට පොරව පහරක් ගසා මරා දමා ගෙපැළ දෙසට දුව ගියාය. මැරුණු මිනිසා තම සහකාරිය සමග අද මෙසේ රමනය කරමි… මේ විදිහට ආලය දක්වමියි සිතමින් හිස සෝදන සිතිවිල්ලෙන්ම මැරී ගැරඩියෙකු වී ඉපදී ඒ නිවසටම දින කිහිපයකින් ගමන් කරමින් මෙම කාන්තාවට ස්නේහයෙන් විටින් විට ඇග දැවටෙන්නට විය. මේ මාගේ මැරුණු ස්වාමියා යැයි සිතූ මේ කාන්තාව පොලු පහරක් ගසා ගැරඩියා මැරුවාය. ටික කාලයක් ගත විය. මේ ගෙදර සිටි බැල්ලියගේ කුස මේ ගැරඩියා ඉපදුණාය. ඉපදී ඇවිදින්නට පුළුවන් වූ දා සිට මෙම කාන්තාව පසු පසම මෙම සුනඛයා ගමන් කරන්නට විය. වැසිකිළියට යයිද ඒ පසුපසයි. දර ඇහිලීමට යයිද ඒ පසු පසයි. පැන් ගෙන ඒමට යයිද ඒ පසු පසයි. අන්තිමේ අවට මිනිසුන් මේ නම් බලු වැද්දියක් යැයි මෙම ගැහැණියට නම් පටබදින්නට විය. මෙම තැනැත්තිය මේ සුනඛයාද මැරුවාය. ඒ බලු තෙමේද මරණින් මතුව ඒ නිවසේම වැස්සියට පැටවෙකු ලෙස ඉපදුණි. මේ වසු පැටියාද මේ තැනැත්තිය පසු පසම විය. කරදරයක් ලෙස සිතූ මැය වසු පැටියාද මසට මැරවීය. තව දුරටත් මේ කාන්තාවට බැදි ස්නේහය තුළින්ම වසු පැටියාගේ ප්‍රතිසන්ධි ශක්තියද මේ තැනැත්තියගේ කුසෙහි ළදරුවෙකු ලෙස ඉපදුණාය. මෙම ළදරුවාට බහ තෝරන වියේදීම ජාතිස්මරණය ලැබිණි. එම ජාතිස්මරණයෙන් තමන් ඉපදුණේ පෙර භවයන් හතරකම තමන් මැරූ හැතිරියකගේ කුසෙහි බව දැන ගනිමින් මෙම කාන්තාවට අල්ලන්නට හෝ නොදෙයි. හැදෙන්නේ තම අත්තම්මා ළගයි. මව තමාව අල්ලන විට හඩන්නේ ඇයි දැයි සියා විමසයි. තම “ජාත” ප්‍රවෘත්තිය සීයාට පිළිවෙලින් දැන්වූවාය. එහි සත්‍ය වටහාගත් සීයා… පුතේ වරෙන්… මේ සසර දුක් බල බලා අපිට ප්‍රමාද වීම සුදුසු නොවේ. ඒ නිසා අපි විහාරයට ගොස් පැවිදි වෙමුයි යෝජනා කරමින් ළදරුවා සමග ගොස් මහණ දම් පිරුවේය. හොදින් බණ දහම් ප්‍රගුණ කළ මේ දෙපළ නොබෝ කාලයකින්ම රහත් විය.

ඒ අතීත ප්‍රවෘත්තියකි. තෘෂ්ණාව නිසාම අද සමාජයේ මෙවැනි දෑ සිදු නොවෙත්ද යන්න විමසා බලන්නට ඔබටම බාර කරමි. ඇතැම් විට තම බිරිදගේ වැඩිමහල් හෝ බාල සහෝදරියට කෙල හලන පුරුෂයන් අනන්තවත් සමාජයේ සිටී. කෙසේ හෝ මුලාවේ දමන්නට උත්සාහ කරයි. ඇතැම් විට තම සහෝදරයාගේ බිරිදට පෙම් බදින බාල හෝ වැඩිමහල් සහෝදරයන් සිටී.තවත් විටෙක පර පුරුෂ හො පරදාර රතිය නිසා තම සැමියා මරවන බිරින්දෑවරු ද තම බිරිද මරවන පිරිමින් අනන්තවත් සකල ලෝකය තුළම දැකගත හැකිය. ඉහත කතා ප්‍රවෘත්තියෙන් තවත් දෙයක් පැහැදිලිය. සත්වයා තෘෂ්ණාව නිසාම අවිද්‍යාව නිසාම සසර පුරා වස්තුකාමයෙන්, කෙලෙස් කාමයෙන් ප්‍රමුදිතව සැරිසරන බවය. මෙය නොදන්නා මිනිසා නොයෙක් දෙවියන්, බ්‍රහ්මයන් විසින් සත්වයා මැවුවාය යනුවෙන් මොර ගසයි. අපිට දුක් ගැහැට හිටි හැටියේම ලැබෙයි. හිටි හැටියේ නොවූ විරූ රෝගාබාධ වැළදෙයි. පිළිකා හා අංශභාග ආදී දේ හටගනියි. එකම මිනිසා දෙයාකාරයකට මවන්නට මැවුම් කාරයාට ඇති වුවමනාව… එසේ මවන මැවුම් කරුවාටද පුද පුජා තබන්නේ… අදහන්නේ… ඒ අනුවණ කමයි.

“කම්මං සතෙත විභජති යදී දං හීනපපණීත තතාය” කර්ම තෙමේ සත්වයා හීන ප්‍රහීන වශයෙන් බෙදයි. ඉහත පාඨයෙන් කියවෙන්නේ බුද්ධ වචනයයි. එහෙයින් කර්මය පමණක්ම නොව සත්වයාගේ අවිද්‍යාව, තෘෂ්ණාව ඊට දහිරිය මල්ලක් ලෙස එකතු වෙයි. ඒ අනුව අවිද්‍යා පච්චය සංඛාරා, සංඛාරා පච්චයා විඥ්ඥානං, විඥ්ඥාන පච්චයා නාම රූපං… ආදීව දේශිත පටිච්ච සමුප්පාදය තුළම පුද්ගලයාගේ සංසාර ගමන් මගෙහි භව චක්‍රය වටහා ගත හැකිය. මරණාසන්නයේදී පුද්ගලයාගේ කර්ම නිමිත්ත එනම් අවසන් භවයේදී සිදු කරන ලද කර්මයෙහි බලපෑම තුළ නිශ්පාදනය වන අවසන් චිත්ත වේගය ගති නිමිත්තක් බවට පත් වෙමින් මිනිසෙකුව සිටි පුද්ගලයා තිරිසනකු වන්නට, තිරිසනා දෙවියෙකු වන්නට, මෙම දෙවියා නැවත මනුෂ්‍යයකු වන්නට, මෙම මනුෂ්‍යා අපාගත වන්නට අවශ්‍ය වටපිටාව සකසා ගනී. එබැවින් මිනිසකුගේ නිවන, ස්වර්ගය, හෝ ප්‍රේතව, භූතව හෝ ඉපදීමට හේතු ප්‍රත්‍ය ඇති කරන්නට හෝ නැති කරන්නට දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට මැවුම්කරුවෙකුට නොහැකි වන්නේය. එය තීරණය කරගනු ලබන්නේ තමා විසින්මය. තමාගේ මෝහයෙන් හෝ අවිද්‍යාවේ ප්‍රබල හෝ දුබලතාවය මතින්මය.

එබැවින්… සසර මග තුළ සතර මගක් හා සතර ඵලයක් සහිතුතුම් ගමන් මග නිමාවක් පවතී. මෝහයේ නොගැළෙන්න. අවිදු අදුරින් අත්මිදෙන්න… මග කියා දෙන්නම්… මතු බුදු වන උතුම් පින් සිතකින් පැමිණෙන්න මා අසලට… පොහොය දින සුදු වතින්…

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *