දීප්තිමත්… ඇසට ප්‍රිය උපදවමින් බලා සැනසෙයි… අන්ධකාරයි… ඇසට අප්‍රිය දසුනක් වෙයි. ඉවත බලයි. ඇසට ගත් දේ පිළිබඳව සිත සතුටු වූ හෝ සිත අප්‍රසන්න වූ දැනීමක සේයාවයි, ඒ… පුද්ගක මනස නිරන්තරයෙන් යමක් විඳින්නට ඒ වින්දා වූ ප්‍රස්තූතය ප්‍රිය මනාප කර ගැනීමට විනා වින්දා වූ ප්‍රස්තූතය අප්‍රිය කර ගැනීමට බලාපොරොත්තු නැත. නමුත් ස්වාභාවලෝකයේ සිදුවී ඇත්තේද ඒ දේමය. එනම් හැමවිටම හැමදේම සතුටින් විඳීමට උත්සාහ කළත් ඒ තුළ අමහිරම කැටිව දුක උපදින්නට හේතු වූ කරුණු කාරනාවන්ම තැන්පත් වීමය.
“ලොවේ කිසිවෙක් විඳ නැත කිසිවක් විඳින්නට වී ඇති සේය දුක් ගඟාවක්”
අන්තිමේ පුද්ගලයා නැවතීම සිදු කරන්නේද මෙතැනමය. මහා වෙහෙසක් දරා ගොඩනගන්නා වූ බලාපොරොත්තු ඉෂ්ඨාර්ථයක් කරගැනීමට දරණ දුක… අවසානයේ තමන් ලබා ගන්නා පුන්චි සතුට සමග සසඳන විට එහි ඇති ප්‍රතිඵලය තමන්ට වටිනාකමක් එක් නොකරන්නකි. ඒ තුළ තැවි තැවී සිත තුළ හීන මානයක, බියක, වේදනාවක හැර වෙන කුමක් හා ගලපා ගන්නද?
නිමක් නොවන ආශාවන් තුළ මිනිස් සත්වයා ගැලෙද්දී වසර 50ක් 60ක් තුළ ඒවා ඉෂ්ඨ කරගත හැකිද යන්න හෝ සිහිනයක් පමණි. ගෙවන හැම මොහොතකම සිතිවිලි අධික ප්‍රමානයක් සිත තුළ ගබඩා කරගන්නා වූ මිනිසා එම සිතිවිලි පූර්ණ කරගැනීමට ක්‍රියාදාමයක පැටලෙද්දී ඒ තුළද ඇති වන්නා වූ සිතුවිලි සමග ගළපාගමින් භවයෙන් භවය නිම් නොවුන ආශාවන් මතුවෙද්දී ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, තණ්හාව සිත තුළ හොල්මන් කරමින් චිත්ත කාය පීඩාවන් තුළ කර්මය ගෙවද්දී ඒ අකුසල් “සිත්” නිර්මාණය කර ගැනීමේ වගකීමද තමන් සන්තකයේ බව අවබූධ කර ගන්නේ කීයෙන් කී දෙනාද? නොයෙක් නොයෙක් උත්පත්ති භාවයන්හි නොයෙක් නොයෙක් ශරීරයන් තුළට ආදේශ වූ ප්‍රතිසන්ධි විඥානය තුළ පවත්නා වූ සසර අත්දැකීම්, සසර අකුසල් සිත්, සසර පාපකාරී සිත් කොයිතරම් නම් ප්‍රමාණයක් ඇත්ද? මඩක තැන්පත් වූ වටිනා මැණික් මෙන් කුසල් සිත් ද ඒ ඇතුළත නොවියා හැකිද? පුද්ගල සිත ගෙවන ගෙවන මොහොතක් ගානේ දුඛි පැණිරස අත්දැයි සොයන්නාක් මෙන් “දුක” හි ම ගැලෙමින් සිටිත්දී කෙසේ නම් ඒ වටිනා සම්පත් මතුකර ගන්නද? ඇස, කන ආදී ඉන්ද්‍රියන් සනසා ගන්නට උත්සාහ කරන මිනිස් සිත, කය තුළ ඇතිවන විනාශය, දිරීම, ජරාව අවබෝධ කර ගන්නාක් කල් “හැට පැන්නත් බිම නොයන්නා සේ” සිතන්නට පුරුදු වීමෙන් හැට පනින විට පනින්නට වෙන්නේ “අපායට” බව අවබෝධ කර නොගනී. ජීවිතයේ ළමා කල, වැඩිහිටි කල, මහළු කල ඒ ඒ අවස්ථාවන් වලදී ඇතිකරගන්නා බලාපොරොත්තු, ආශාවන් පොදි ගණන් පොදි බඳිමින් සිටිනවා හැරෙන්නට ලෞකික ලෝකයේ කිසිවෙක් මේ බලාපොරොත්තු, ආශාවන් පූර්ණ කරගෙන නම් නොමැතිය. මුදල් පසුපස දුවන්නා ද. වස්තු සම්භාරය සොයන්නා ද, නිරෝගී බව සොයන්නාද වෙන වෙන දේ ඉෂ්ඨ කරගන්නට උත්සාහ කරන්නාද එක් දෙයක් සපයා ගන්නා විට තවත් දහසක දුක් ළඟ සිටින බව අවබෝධ කර ගනී. එහෙත් ඔහු ඒ තුළම සැප සොයන්නට උත්සාහ කරනවා හැර නියම සැපය සොයන්නට උත්සාහ නොකරන්නේ නොසන්සුන් සිතට නොසන්සුන් දේම පිළිතුරු ලෙස ලැබෙන බැවිනි.
සන්සුන් මනසක නැත සුන්වන ආශා… එබැවින් සිතට ගන්න ජීවිතය තුළ සැපයක් හා නියම සැපය ලබා ගන්නා මගක් තිබේ. ඒ ඔබ සොයා යන මාවතේ නම් නොවේ… බෝසත්වරු අනුගමනය කළා වූ… බුදු වූ පසු දෙසුවා වූ ඒ මග… යන්නට හැකිය…නියම බෝසත් මගින්…