මාගේ අමා මෑණී බුදුපියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ලොව ජීවත් වන පුද්ගලයින් සිව් ආකාරයකට බෙදා වෙන් කර දැක් වූ සේක. ” නේව අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය” ලෙසත් දෙවන කණ්ඩායම “නේව අත්තහිතාය පරහිතාය පටිපන්නෝ” ලෙසත් තෙවනුව “පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතාය” ලෙසත් සිව්වැනිව “අත්තහිතාය පටිපන්නෝ පරහිතාය පටිපන්නෝ” ලෙසත් ඒ සතර ආකාරය දැක්වේ. දැන් අපි එකින් එක මේ සතර ආකාරය විමසා බලමු.
මින් පළමු කණ්ඩායම තමාටත් යහපතක් නැති අනුන්ටත් යහපතක් නැති ජීවිතය පිළිබද කිසිදු තේරුමක් නැති අයාලයේ යන මිනිසුන් වේ. අහේතුක ප්රතිසන්ධි ලාභීහුද මේ අතර වෙති. පෙර සසර අකුසල් කර අකටයුතුකම් කර සමාජ විෂම කටයුතු කර දුරාචාරය සිදුකළ අය හා දැන් කරන අයත් මේ ගණයට වැටේ. මොවුන්ගේ අධ්‍යාත්මික/ බාහිර කිසිම දියුණුවක් නැත. මොවුහු දෙමාපියන්ට, සත්පුරුෂයින්ට, ආර්ය පුද්ගලයින්ට මෙන්ම ධර්මයට පවා ද්වේශ කරමින් ජීවත් වෙති. ඇතැම් විට කාය ජවයද ලැබී තිබුණහොත් ඉන්ද උපරිම සමාජ විරෝධී ක්‍රියා සිදු කරති. බුදුන් වහන්සේ මොවුන්ගෙන් ඈත් වන්න යැයි දේශනා කළ සොහොනක ගිණි ඇවිළුණු දර කැබැල්ලක් එහි අපිරිසිදු බව නිසා කිසිවකු ප්‍රයෝජනයට නොගන්නා සේ දුරින් දුරුම කළ යුතු බැවිනි.
දෙවන කණ්ඩායම “පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතායි” එනම් අනුන්ට යහපතක් කළද තමාට නොකරගන්නායි. එනම් මොවුන් අනුන්ගේ අධ්‍යාත්මික/ බාහිර හැම කරුණකටම උපකාර කරති. දාන මාන හා සමිති සමාගම් ආදී සමාජීය කටයුතු වලදී ද අවශ්‍ය කටයුතු කර දෙති. අනුන්ට අවවාද අනුශාසනා ද කරති. එහෙත් සිත වංචා සහගතය. තමා ගොඩනගාගත් අධ්‍යාත්මික ගුණ වගාවක් නැත. ශීලාචාරද නැත. එසේ ඇති බව අනුන්ට පෙන්වති. සගවා ගත් රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් යුතුව ජීවිතය ගත කර අවසන් මොහොතේදී ප්රත්යවේක්ෂ කිරීමේදී දැඩි සේ බියට පත් වී අනිවාර්යයෙන්ම තමා දුගතිගාමී වන බව දැන දැඩි ශෝකී වෙයි. බුදුන්වහන්සේ භික්ෂූන්ට දේශනා කර ඇත්තේ “ඔබ වහන්සේලාගේ ජීවිතය පිළිබද සතුටු විය හැකි උත්තරීතර ගුණ ධර්ම තිබෙන අයුරින් ජීවත් වන්න….” යනුවෙනි. ඒ නිසා සිතට එකගව තම අධ්‍යාත්මික මානසික සුවය ගොඩනගා ගත යුතුයි.
තෙවැනි කණ්ඩායම “අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතායයි.” මොවුන් සමාජයේ පැහැදිලිව හදුනාගත හැක. තමාගේ ලෞකික ජීවිතය හා භෞතික සම්පත් දෙසම අරමුණු කරගෙන ඒවා වැඩිදියුණු කර ගැනීමේ අරභයාම ක්‍රියා කරමින් අනිකාට කොතරම් පීඩනයක් අසාධාරණයක් සිදු වුවත් රුපියල් සත පසු පසම හඹා යමින් ජීවත් වන කොටසයි. මොවුන්ට දෙමාපියන් පිළිබදවත් හාංකවිසියක් නැත. නෑ හිතවතුන් අඩුය. දැඩි සේ ආත්මාර්ථකාමී නොමැරෙන මිනිසුන් සේ වෙසෙති. “සියලුම දේ ලැබිය යුත්තේ මටම පමණකි” “අනිකාට නොවේ.”යන තේමාවට මතු කරමින් ලැජ්ජා බිය දෙකින්ද තොරව මවුපියන් වුවද මහලු මඩම් වල සිර කර තබති. ඇතැම් විට බැලූ බැල්මට සමාජයේ ආර්ථික දියුණුවක් නැත්තටම නැති බැවින් මරණ මංචකයේදී අපායේ ගිනිදැල් දකිමින් දහිමින් දැඩි වේදනාවෙන් කෑගසති.
සිව් වැනි කණ්ඩායම “අත්තහිතාය පටිපන්නෝ පරහිතාය පටිපන්නෝ” යන්නයි. සත්‍ය ලෙසම තමාට ආදරය කරන්නා තමන්ගේ අධ්‍යාත්මික බාහිර යහපතම දකින්නා අවංකවම අන් අයටද ආදරය කරුණාව දක්වයි. මා යමකින් පීඩා විදීද මේ තැනැත්තාටත් එසේමය. මා යමකට කැමතිද ඔහු/ ඇය ද කැමති වේ. මේ තත්වයට ගැටලුවට පත් තැනැත්තා මා/ මාගේ මව/ පියා/ සොයුරා වූවා නම් යනුවෙන් ඒ ප්‍රශ්නයට මැදි වූ තැනැත්තා දෙස සානුකම්පිත වේ. එබැවින් ලොව්තුරා බුදුදහම ප්‍රතිෂ්ඨාපනය වී ඇත්තේ මෙතැනය. “බුද්ධෝහං බෝධයිස්සාමි” මම පළමුව බුදු වී අන් අයද නිවන් දක්වමි යන්න මෙහිදී ඉස්මතු වේ. ඉගෙන ගන්නා ශිෂ්‍යයෙකු පළමුව තම අධ්‍යාපනය සාර්ථක කරගත යුතුය. පසුව යහපත් පුරවැසියෙකු ලෙස ජීවත් වීමට හොද රැකියාවක් කළ යුතුය. ඒ තුළින් තමාගෙන් යුතුකම් අපේක්ෂිත අයට යුතුකම් ඉටුකළ යුතුය. අධ්‍යාත්මික ජීවිතය පෝෂණය වන්නේ ද එවිටය. එසේ නොමැතිව ජීවිතයේ අගදී කළ යුතු දේවල් මුලදී / මැදදී කරන්නට ගොස් දිවිය අවුල් කරගන්නාගෙන් තමාටත් අනුන්ටත් පලක් නැත. සිගාලෝවාද සූත්‍රයට අනුව බලන විට සදිසා නමස්කාරය ලෙසින් බුදුන්වහන්සේ දේශනා කළේ එකිනෙකාට යුතුකම් ඉටුකිරීමටය. එයින් සමාජ සහජීවනයද මිත්‍රත්වය සදාචාරය සුරැකෙන අන්දමින් දෙලොව සුගතිය උදාකරගන්නා නියම සමාජ හිතවාදියා බවට පත් විය හැකිය. එසේ නම් ඔබ ජීවත් වන්නේ කොතැනද තමා වැරදි මීටරයකට හසුව සිටීනම් මින් පසුව හෝ සත්පුරුෂ ඇසුර තුළින් සද්ධර්ම ශ්‍රවණය තුළින් පතිරූපදේස වාසය තුළින් හෝ දෙලොව සුගතිය ඇතිකර ගැන්මට සියලු පිංවතුන්ගේ නැණ පහන් දැල්වේවා.
බී. එම්. පියලතා