සිද්ධාර්ථ තාපස තෙමේ කෘෂ වී ගොස් ය. රන්වන් පැහැති සම දුර්වර්ණ වී ගොස් ය. ලේ සිදී ගොස් ය. මස් දිය වී නහර මතු වී ගොස් ය. දැරිය හැකි සීමාව ඉක්මවා ගොස් පණ ඇති ඇට සැකිල්ලක් බදුව ශක්තියෙන් හීනව සිටින බෝසතුන් අභියස “මාරයා” පෙනී සිටියේය. පියෙකු නොකා නොබී සිටින රෝගී දරුවෙකුට ආමන්ත්‍රණය කරන්නා සේ “මාරයා” බෝසතුන් අමතන්නට විය.
“ශේෂ්ඨ පිංවතාණෙනි…. ඔබගේ වටිනා ජීවිතය අපතේ නොහරින්නට. ආහාර ගෙන ශරීරය නැවත් ප්‍රකෘතිමත් කරගන්න ඔබ ජීවත්ව සිටියොත් අන් අයටත්, ඔබටත් සෙතක්ම වන්නෙහිය. බලන්න ඔබගේ ශරීරයේ ස්වභාවය ඇවිදින ඇට සැකිල්ලක් වී හමරය. ගිනි දෙවියන් පුදන්න. බ්රහ්මචාරීව හැසිරෙන්න. පදන් වීර්යය ඔබව නැති කරනවා නොපෙනේද? ජීවිතයේ පණ අන්තිම අංශුව තුළයි ඔබ සිටින්නේ එබැවින් “දරුව” ඔය කාලය කා දමන වීර්යය අත් හරින්න”
බෝසත් සිද්ධාර්ථ තාපසතුමාට මුව විවර කරගන්නට හෝ බැරි තරමට වෙහෙසය.එහෙත් කෙසේ හෝ “මාරයා” ට පිළිතුරු දිය යුතුමය.
“පාපි මාරය” මා “තා”ව හොදින් දන්නෙමි.”තා” ප්රමාදීන්ගේ හිතවතාය, ඥාතියාය. මා හට අනුකම්පා දක්වන මුවාවෙන් “තා” “තට” වැඩ සදාගන්නට පැමිණ ඇති සැටිය.”පින්” මට උවමනා දෙයක් නොවන බව සිහි තබා ගනුව. පින් අවශ්‍ය අයට “තා” ගොස් ඒ ගැන කියා දෙනු. මා හට ශ්‍රද්ධාව, ආත්ම දමනය, වීර්යය, ප්‍රඥාව තියන තාක්කල් තාගේ බසට නොරැවටෙමි. එබැවින් මාගේ විර්යය මා පිණිසම වන බව සිහි කර ගනුව.එබැවින් මෙයද සිතා ගනුව. සුළගින්, උණුසුමින්, ගංගා සිදී යනවා නුඹ දකිනවා නේද? මගේ ශරීරයත් ඒ වගේ මහා ගංගාවක් සිදෙන්නේ නම් මගේ නහර ගංගා තුළ “ලේ” සිදී යාම අරුමයක්ද? ලේ වියළෙන විට පිත වියළෙන එක අරුමයක්ද? පිත වියළෙන විට මස් වියළෙන එක අරුමයක්ද? “මාරය” හොදින් සිහි කරගනුව. ලේ, මස්, ඇට, නහර වියළී ගියත් මාගේ සිතෙහි එඩිය සිදී නොයන්නේය. ප්‍රසන්න වන්නේය. සිහිය, සමාධිය, ප්‍රඥාව වැඩෙන්නේය. කය බලවත් ලෙස වේදනා දුන්නත් සිත ප්රභාෂ්වරමය. එබැවින් මාරය,
- කාමය නැමති නුඹගේ පළමු මාර සේනාවත්
- අරතිය නැමති බ්‍රහ්මචර්යාවට ඇලෙන්නට නොදෙන දෙවන සේනාවත්
- බුප්පිපාස නැමති කුස ගින්න, පිපාසා දනවන තුන්වන මාරසේනාවත්
- තණ්හා නැමති තෘෂ්ණාවෙහි සිත අලවන සතර වන මාර සේනාවත්
- ථීන මිද්ධය නැමති අලස බව ඇති කරන පස් වන මාර සේනාවත්
- භීරු නැමති භය උපදවන්නා වූ සයවන මාර සේනාවත්
- විචිකිච්ඡා නැමති සැකය උපදවන සත්වන මාර සේනාවත්
- ථම්භ නැමති දරදඩු බව, ගුණමකු බව ඇති කරවන අටවන මාර සේනාවත්
- ලාභ, ශිලෝක, සත්කාර, යස නැමති වැරදි ලෙස ලබන ලාභ, ප්‍රශංසා, සත්කාර, කීර්තිය නැමති නවවන මාරසේනාවත්
- පරවම්භන නැමති තමා උසස් කොට අනුන් පහත් කොට සිතන ගතිය ඇති කරවන දසවන මාර සේනාවත් රැගෙන මෙතනින් වහා පිටවෙව…….
මෙවැනි බිය ගුල්ලන් සේනාවක් කොට ගනිමින් මා පෙලන්නට උත්සාහ කර “තට” දිනන්නට නොහැකිය. නුඹගේ ඔය සේනාවට බිය ගුල්ලන් නම් අසුවේ. සිල්වතුන් ගමන් කළ යුතු මග නොදත් මහා බමුණන් ඒ මාර සේනාව ඉදිරියේ දණ නැමුවත් මා දණ නොනමණු ඇත.
මාරය තා ඇතු පිට නැගී මාර සේනාවෙන් වට කර සිටියත් මා ඉදිරියටම යමි. හැලි වලං පොඩි කරන අයුරින් මා නුඹගේ මාර සේනාව පොඩි පට්ටම් කර හරිමි.මම ප්රඥාවෙන්ම එය කරමි. නැණවත්ව එය කරමි. මාගේ මේ මග අනුගමනය කරන්නේ කවුද? ඒ හැමෝම මා මෙන්ම දිනුම් කණුව පසු කරන්නේය.
අවසානයේ මාරයා බෝසතුන්ව නම්වා ගැනීමට නොහැකිව පසු බසින්නට විය. කොතරම් කය පීඩා දුන්නත් සිත තුළ ඇති වූ ප්‍රභාෂ්වර බව නොබිදෙන බව අවබෝධ කරගත් සිද්ධාර්ථ බෝසතුන් “කය” මදක් රැක ගන්නට අධිෂ්ඨාන කරගත්තේය. ඒ සදහා සිදු කළ යුතු කාරකාදී ධර්මයන් විනිශ්චය කරන්නට නැවතත් සිහිය පිහිටුවාගත් බෝසතුන් උදාරතර “මගක්” තම මෝක්ෂය ලගා කර ගැනීමේ මග ලෙස ප්රඥාවෙන්ම අවධි කරගත්තේය.