බෝසතාණෝ පරම සත්‍ය තමන් විසින්ම සොයා දුෂ්කර ක්‍රියාවක…

පරම සත්‍ය තමන් විසින්ම සොයා දුෂ්කර ක්‍රියාවක

ගෙහිගෙයින් නික්මී මාස කිහිපයක්ම ඉක්ම ගියත් තමන් බලාපොරොත්තු වූ සත්‍ය සොයා ගැනීම සිදුහත් බෝසතුන්ට නොහැකිවීමේ බලාපොරොත්තු සුන් වීම පීඩාවක් කරනොගත් බෝසතුන් බෝසතුන් මගද දේශයෙන් උරුවෙල් දනව්වට පැමිණ “සේනානි” නම් ග්‍රාමයට පැමිණියහ. එහි භාවනාවට යෝග්‍ය ගංගාවක් අසබඩ සුදු වැලි තලාවක ගිමන් හැරි බෝසතුන්, අසල “ගම” තමන්ගේ ගොදුරු ගම කරගනිමින් බවුන් වැඩීමට අවශ්‍ය පහසුව ලබා ගත්තේය. මේ අතර තමා කුඩා කල නම් තැබීමේ මංගල්‍යයට පැමිණි කොණ්ඩඤ්ඤ තවුසාත් අනික් බමුණන්ගෙන් සතර දෙනෙකුගේ පුතුන්ද සමගින් පස් දෙනෙක් සිදුහත් බෝසතුන්ගේ ව්‍යායාමයට එක් විය. කොණ්ඩඤ්ඤ තවුස්වරයා නම් තැබීමේ උළෙලේ සිටි ලාබාලම තවුස්වරයා වූයෙන් ඔහු ජීවතුන් අතර සිටියේය. අන් අය මිය ගියේය.ඔවුන් මිය යන විට තම පුත්වරුන්ට සිද්ධාර්ථ ගිහි ගෙය අත හැර ගියොත් කොණ්ඩඤ්ඤ සමග ගමන් කර එයට එකතු වන ලෙස සැලකල තිබිණි. ඒ අනුව භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන සතර දෙනාද එකතු විය.

කෙසේ වෙතත් දැඩි උග්‍ර තපස් දිවියක් ගත කරමින් සිදුහත් බෝසතුන් තම ප්‍රතාපවත් ශරීරය ඇට නහර මතු වන තෙක්ම දුෂ්කර ක්‍රියාවක නියැලිණි. ඇවිදින ඇට සැකිල්ලක් බවට පත් වන තෙක් බෝසතුන් තපස් ව්‍රත රකිද්දී තම මග ගත් මිතුරන් පස් හැකි සහයෝගයක් ලබා දුනි. වරක් බෝසතුන්ට එක් අදහසක් පහළ විය. ඒ කුසල් සිතිවිලි ඇති කර ගනිමින් අකුසල් සිතිවිලි මැඩ ගැනීමේ උත්සාහයකි. ඒ අනුව දතින් දත සපාගෙන දිව උඩු තල්ලට තබා තද කරගනිමින් කුසල් හෝ අකුසල් සිතිවිලි නොයන ලෙස සිටින්නට උත්සාහ ගත්තේය.එසේ සිටින විට කිහිලිවලින් දහඩිය නැගෙමින් කාය ශක්තිය හීන වෙද්දී, ශක්තිමත් පුරුෂයෙකු දුර්වල පුද්ගලයෙක්ව අල්ලා දෙවුර තද කර බිම අනින්නා සේ සිත නිරුද්ධ කිරීමට වෑයම් කළේය. බෝසතුන්ගේ පදන් වීර්යය අතිශය දුෂ්කර මෙන්ම අධිෂ්ඨාන වීර්යයකින් ක්‍රියාත්මක විය. ස්මෘතිය එකාලෝක වුනත් කාය ශක්තිය හීන වී ගියේය. එහෙත් බෝසතුන්ගේ සිත පීඩාවට පත් නොවූවේය. කයට කොතරම් අපහසුතාව දැනුනත් අධිෂ්ඨාන ශක්තිය හමුවේ එය නොදැනී ගියේය. එසේ කාලය ගෙවෙත්ම, සිද්ධාර්ථ බෝසතුන්ට සිතිවිල්ලක් පහළ විය. අප්‍ර්‍රාණක භාවනාව වැඩීමේ සිතක් පහළ වීමෙන් පසු නාසයෙන් හෝ මුඛයෙන් හුස්ම නොගෙන සිටින්නට විය. එසේ සිටින විට කන්පෙති දෙක තුළින් විශාල ශබ්දයක් නැගී හුස්ම පිටවන්නට විය. එය හරියට කම්මල්කරුවෙකු මයිනහම අදින්නාක් බදු විය. එම අවස්ථාවේද භාවනාවට නැමුණු සිත ඒකාග්‍රාම විය. චිත්ත ඒකාග්‍රතාව වෙනුවෙන් බාධක නොවීය. කයට දැඩි පීඩාවක් වුවත් කය දැඩි ලෙස නොසන්සුන් වුවත් එය චිත්ත ඒකාග්‍රතාවට බාධාවක් නොවීය.එවිට තවත් සිතිවිල්ලක් බෝසතුන්ට පහළ විය. එවිට නාසයෙන්, මුඛයෙන් මෙන්ම කන්වලින්ද පිටවෙන වායුව නවතාලීය. තියුණු ආයුධයකින් හිස්කබල විදින්නාක් බදුව දැඩි වේදනාවක් ද දැනෙයි. එහෙත් චිත්ත ඒකාග්‍රතාවට බාධාවක් නොවීය. එබැවින් නැවත නැවතත් අප්‍රාණක ධ්‍යානයම වඩන්නට බෝසතුන් සිත් පහළ විය. එවිට සියලුම හුස්ම වැටීමේ මං අහුරාලීය. එවිට උදරය තුළ වායුව තෙරපී උදරය පුපුරවන්නට තරම් තෙරපීමක් ඇති කරලීය.මස් කපන්නෙකු මස් කපන ආකාරයකින් උදරය වායු සිරවී කැපි කැපී යන ආකාරය දැනිනි, නැවතද බෝසතුන් අප්‍රාණක ධ්‍යානයම වඩන්නට සිතා ගත්තේය. එවිට මුළු ඇගම ගිනිගත්තාක් මෙන් දැනෙන්නට විය. හැඩි දැඩි පුරුෂයන් දෙදෙනෙකු දෙවුරෙන් අල්ලා ගිනි අගුරු ගොඩක ඔබ ඔබා ගන්නා ලෙස දැනෙන්නට විය.ඒ හැම අවස්ථාවකදීම සිද්ධාර්ථ බෝසතුන්ට ලැබුණු කායික පීඩාවන් තුළ චිත්ත ඒකාග්‍රතාවයන්ට නම් කිසිදු බාධාවක් නම් නොවීය.

මේ අවස්ථාවේදී විශේෂ සිද්ධියක් නොපෙනෙන ලෝකය තුළ සිදුවෙන්නට විය. ඒ … ගුවනෙහි සිටි දේවතාවන් වෙතිනි.දෙවියෝ කොටස් තුනකට බෙදී සාකච්ඡාවක… එක් කොටසක් ගෞතම තාපස තුමා මිය ගිහින්… අනික් කොටස, ගෞතම තාපස තුමා මිය ගොස් නැත එහෙත් මිය යමින් සිටිනවා… තුන්වෙනි කොටස ගෞතම තාපස තුමා මිය යන්නේ හෝ මියදී නැත.ඒ උන් වහන්සේ රහත් වී ඇත, රහත්වරුන්ගේ ස්වරූපය  ඒ අකාරයැයි කියමින් බලා සිටින්නට විය.

අනතුරුව සිද්ධාර්ථ තවුස් තුමාට මෙසේ සිත් පහළ විය. මෙතෙක් ලබාගත් සුළු ආහාර පවා සම්පූර්ණයෙන් නවතාලමි. දේවතාවුන්ගෙන් එවිට ද ගැළවීමක් නොවන තැනට පත්විය. ගෞතමයාණෙනි ආහාර වර්ජනය නොකරන්න.එසේ කළහොත් අප ඔබගේ රෝම කූප හරහා දිව්‍යමය ඕජස් එවන්නෙමු.

එසේ වන්නට ඉඩ හැරියහොත් සිද්ධාර්ථ තාපසතුමා සිදුකරන්නේ ආත්ම වංචාවක් බව අවබෝධ වීමෙන් දෙවියන්ට ඒ ගැන කරදර නොවන ලෙස පවසා මුං යුෂ, කඩල ආදී සුළු ඝන ආහාර මෙන්ම දියර ආහාර ප්‍රමාණයකින් යැපෙන්නට තීරණය කළේය. මෙසේ සිදුකරමින් තවදුරටත් බවුන් වැඩීමේ උපක්‍රම අනුගමනය කළේය. ආහාර මදිවීම නිසාම ශරීරයේ කොටස් වැල් පුරුක් මෙන් දිස්වන්නට විය. තට්ටම් යුගළ ඔටුකුර මෙන් පෑදෙන්නට විය. කොදු ඇට පෙළ ඇටවැලක් මෙන් පෑදී වකුටු වී ගියේය. ඉලඇට කොටස් කඩා වැටුණු ගෙයක පරාල මෙන් දිස්වන්නට විය. ඇස් යුගල ඇස් කුහර තුළම ගිලී ළිං පතුලෙන්  දිස්වන තරු මෙන් පෙනෙන්නට විය. තිත්ත ලබු ගෙඩියක් ළපටි කළ කඩා අව්වේ තැබුවාම වියළෙන ආකාරයෙන් හිසද රැළි වී වියළී යන්නට විය. කුස අතගාන්නේ නම් යෙහෙකැයි සිතා කුස අතගාන විට පිකොන්ද අත ගෑවෙන්නට විය.පිට කොන්ද අතගානවිට කුස අතගෑවෙන්නට විය. මල මුත්‍රා පහ කරන්නට යන විට පණ නැති වී පා පැකිලී ඇද වැටෙන්නට විය.දකින් මිනිසුන් මා කලුවෙලා, නිල්වෙලා, දුඹුරු වෙලා ආදී ලෙස ජවි වර්ණය ගැන කියන්නට විය.

ඒ අවස්ථාව වන විට සිදුහත් බෝසතුන්ට මෙසේ සිතිණි. අතීතයේ දී යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් කිසියම් කටුක දුකක් වින්දා නම් එය මීට වඩා කිසිසේත් වැඩිවිය නොහැක. අනාගතයේ යම් අයෙක් එසේ කටුක දුකක් විදිනවා නම් මීට වඩා කිසිසේත් වැඩිවිය නොහැක. එසේ වෙතත් මේ තරම් කටුක දුකක් විද අධිගමය සාක්ෂ්‍යාත් කරමින් මේ වනවිටත් මනුෂ්‍යත්වය ඉක්මවූ විශිෂ්ඨ ඥාන දර්ශනයක් මට පහළ නොවීය.එසේ හෙයින් මෙයට වෙන මගක් පැවතිය යුතු යැයි බෝසතුන් කල්පනා කරන්නට විය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *