අප නුදුටු අපේ තද නින්ද

අප නුදුටු අපේ තද නින්ද

සෑම සත්වයෙකුට ම පාහේ නින්ද අවශ්‍යය. නිදා ගැනීම යනු වෙහෙසකට පත් වූ පසිදුරන් ට විවේක ලබා දීමයි. සත්ව කොටස්වල නිදා ගැනීම විවිධාකාරය. මෙහිදී අප සාකච්ඡා කරන්නේ මනුසතා නොහොත් මනුෂ්‍යාගේ නින්ද පිළිබදවයි. සාමාන්‍යයෙන් මනුෂ්‍යා නිදා ගන්නේ රාත්‍රී කාලයේ ය.රාත්‍රී මුර සේවයේ හෝ රාත්‍රියේ විවිධ සේවාවල යෙදෙන අය දහවල් කාලයේ නිදා ගනිති. සලායතන මෙහෙයවීම නිසා ඒවා වෙහෙසට පත් වේ. අවිවේකී ඉදුරන්ට විවේකය අවශ්‍යය ය. ඒවාට ලබා දෙන ඉසුඹුව නින්දයි. එසේ සලායතන වලට විවේක ලබා නොදීමෙන් ඒවා දුර්වල වේ. මෙයයි ප්‍රතෘග්ජනයාගේ නින්දේ ස්වභාවය. අඩනින්දේ සිහින පෙනෙන බවත් තද නින්දේදී සිහින නොපෙනෙන බවත් පිළිගැනීමයි. සලායතන උපාදානය කිරීමෙන් නැතහොත් පඤ්ච උපාදානස්කන්ධය නිසාම වෙහෙසට පත් වන පීඩාවට පත්වන පඤ්ච ඉන්ද්‍රයන්ට ලැබෙන විවේකය නින්දයි. අප ව්‍යවහාර කරන අන්දමට නින්දෙන් උදේට පිබිදීම අප අවදිවීම ලෙස සැලකීමට පුරුදුව ඇත. ඉන් අනතුරුව පඤ්ච ඉන්ද්‍රයන් ක්‍රියාත්මක වේ. එය අප සලකන නින්දෙන් අවදි වී පංච ඉන්ද්‍රියන් ඒ අයට අයත් කාර්යයන් වල යෙදවීමයි.

එහෙත් අප නොදුටු තද නින්දක් ඇත. එය විග්‍රහ කිරීමයි මෙහි අරමුණ. නිදසුනකින් පැහැදිලි කර ගනිමු. ගුරුවරයෙකු තම පංතියේ ළමුන් ක්‍රීඩා භූමියේ කෙළවරක වූ ගස මුලට රැගෙන ගොස් පාඩමක් කර ඇත. අසළ තුඹසකට ඇතුළු වන තලගොයෙකු දෙස එක ළමයකු බලා සිටියි.අහම්බෙන් ගුරුවරයා ඒ ළමයාගෙන් ඇසූ ප්‍රශ්ණයකට උත්තර දුන්නේ තලගොයාගේ වලිගය පමණක් තුඹසට ඇතුළු වීමට ඇති බවයි. මෙවැනි අත්දැකීම් ගුරුවෘත්තියේ සිටි ගුරුවරුන්ට ලැබී ඇති වාට සැකයක් නැත. ධර්ම ශ්‍රවණය කරන බොහෝ උවසූ උවැසියන්ගෙන් එම ධර්මය ගැන දේශකතුමා ප්‍රශ්ණ කළොත් දේශකතුමා කී දෑ ඒ අන්දමට ඉදිරිපත් කිරීමට කිසිවෙකුට නොහැක. මීට හේතුව කිම? ධූරංගමං ඒකචාරං අසරීරං… නාම රූප දෙකින් රූප කොටස එතැන පවතිද්දී නාම කොටස විවිධ පැති කරා ගමන් කොට තිබූ හෙයිනි. එවැනි විටක පඤ්ච ඉන්ද්‍රියන් යම් තැනක වුවත් කය තුළ වූ සිත සම්බන්ධ වූ මනස එතැන නැත.කය නිසලය. එනම් කය නිදිය. එතැන නිදාගෙන පැවතුන නිසයි. එවැනි අවස්ථාවක අප එතැන වුවත් අයගෙන අසන්නේ කුමක්ද කීවේ, කවුද මෙතනින් ගියේ කියාය. ඇසිලත් නැත. පෙනිලත් නැත. අප යම් තැනක සිටින විට එතැනදී යමෙකු කරන කතාව ඇසුනෙත් නැත්නම් එතැනින් යන අය පෙනුනෙත් නැත්නම් අප අවධියෙන් සිට නැත. එසේ නම් අප නින්දේය. පුද්ගලයාගේ පඤ්ච ඉන්ද්‍රියන් සක්‍රී වූ  හෙයින් සිහින පෙනීමක් නැත. සිහින නොපෙනෙන නින්දක පසු වූයේ එය තද නින්දයි. අවදියෙන් සිටිනවා යනු පංච ඉන්ද්‍රියන්ට ගෝචරවන දේ ක්ෂණය තුළ ප්‍රඥා ඇසින් දැකීමයි.

අප අවධියෙන් නම් අපගේ පඤ්ච ඉන්ද්‍රියන්ට ගොදුරුවන සැම දෙයක්ම ඒ අන්දමින් ඒ ක්ෂණය තුළ ප්‍රඥාවෙන් දැක ග්‍රහණය වී තිබිය යුතුය. එවැනි අවධියෙන් සිටින අවස්ථා වල ඒ සියල්ල මතකයේ පැවැතිය යුතුය. කරන, කියන සිතන සෑම දෙයක් පිළිබදව පමණක් සිත යොදවා කරන්නේ නම් එතැන අවධියෙන් අප සිටි බවට නිගමනය කළ හැක. භාවනාවෙන් හුරු පුරුදු කරන්න උත්සාහ කරන්නේ සිත එක අරමුණක පැවැත්වීමට සිත හැඩ ගැස්වීමයි.

මේ සදහා අප පහසු අන්දමට අපගේ කය තබා ගෙන යම් අරමුණක් කමටහනක් වශයෙන් තබා ගෙන ඒ ඔස්සේ සිත පැවැත්වීමට යත්න දැරීමය. අපගේ පඤ්ච ඉන්ද්‍රියන් යම් වේලාවකට කීකරු කරගත හැකිය. එහෙත් අපගේ සිත ඒ අන්දමට කීකරු කරගත නොහැක. සිතේම කොටසක් වූ විඤ්ඤාණය, සලායතන වල ගොදුරු සොයමින් අපව රවටා අපගේ ප්‍රඥා ඇසට සොරා විවිධ පැති ඔස්සේ ගන් කරමින් සිටී. එය සිදුවන්නේ සිතිවිලිවල ගලායාමක් නිසා නොහොත් සිත ක්ෂණයක් පාසා කැඩී කැඩී එන නිසාය. යෝගී ව්‍යායාම්වල යෙදී සිටින ක්‍රීඩකයකුට දිනපතා ජිම්නාස්ටික් කරන්නෙකුට, කම්බියක් මත ඇවිදින්නෙකුට, කම්බි මත පාපැදි නොවැටී පදවන්නෙකුට එවැනි සර්කස් වලට හුරුපුරුදු කරන මනුෂ්‍යයින් පමණක් නොව යම් යම් සතුන්ද එකම ඉරියව්වක දීර්ඝ කාලයක් තම ඉරියව් පැවැත්වීමට හැකි බව අප කවුරුත් දැක ඇත. භාවනාවකදී යමෙකු එකම ඉරියව්වක දිගු වේලාවක් රැදී සිටි අයෙකු දුටු අප කියන්නේ හොදට භාවනා කරන්න පුළුවන් කෙනෙක්.භාවනාව හොදට දියුණු වෙලා අප එම පුද්ගලයාගේ කය දුටුවාට සිත දැක නැත. අප මුලා වී ඇත. නාම රූප දෙක අනිත්‍ය බව නැතහොත් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස අපගේ සිරුර ක්‍රමයෙන් වෙනස් වන බව අපට ප්‍රත්‍යක්ෂය. අප කියන්නේ වයස් ගත වන බවය. වයසට යන බවය. වයසට අනුව සිතිවිලිද වෙනස් වී ඇති බව අපට ප්‍රත්‍යක්ෂ වනු ඇත. ළමයෙකුගේ සිතිවිලි අන්දමට නොව තරුණයෙකුගේ සිතිවිලි. තරුණයකුගේ සිතිවිලි වාගේ නොව මහළු අයකුගේ සිතිවිලි. වයසට අනුව සිතිවිලිද වෙනස් වී ඇත. එය අනිත්‍යභාවය යි.මෙහිදී අපට වටහා ගත යුතු දෙයක් ඇත. රූප කලාපයක් වෙනස් වන විට චිතත්ක්ෂණ 17ක් වෙනස් වී ඇති බව ධර්ම තුළින් අප දන්නා කරුණක් බව. ඊටත් වඩා වැදගත් දෙයක් අවබෝධ කරගත යුතුව ඇත. රූප කලාපයක් ඇති වී ක්ෂණයේම නිරුද්ධ වේ.ඊලගට (එන) රූප කලාපය නිරුද්ධ වූ රූප කළාපයට මුලුමනින්ම වෙනස් වූ රූප කලාපයකි. ඊලගට එන්නේ චිත්ත කලාප වල ස්වභාවය ද එයමය. ක්ෂණයක් පාසා ඇති නැති වී යන (උප්පාදවය,උප්පජ්ජිත්වා නිරුද්ධන්ති) නාම කලාපයක් ද ක්ෂණයක් පාසා වෙනස් වේ.රූප කලාපයේ වෙනස් වීමට අප කියන්නේ වයස්ගත වනවා කියායි. සිතේ වෙනස් වීමට අප කියන්නේ ගති පැවතුම් වෙනස් වන බවයි. එයයි අනිත්‍ය භාවය මේ සියල්ල අවබෝධයෙන් දැකීම අවධියයි. මේවා අවබෝධ නොවීම අවධියෙන් තොර වීමයි. එයයි තද නින්ද. අපට එය නොදැනීම, නොපෙනීම, තද නින්දයි. බුදුන්වහන්සේගේ ධර්ම ගුණයේදී “ඒහි පස්සික” වශයෙන් හැදින්වූයේ එයයි. මෙම තත්වය ප්‍රඥා ඇසින් දැකීම අවධියයි.අප කරන දේ පිළිබදව අපගේ සිතිවිලි පිළිබදව ප්‍රඥාවෙන් දැකීම අවධියයි.අවධියෙන් සිටින පුද්ගලයා ඇලීමෙන් ගැටීමෙන් (ලෝභයෙන් ද්වේශයෙන්) මිදුනු අයෙකු බවට පත් වේ. මේ තත්වයට පුද්ගලයා අවධියෙන් ය එසේ නොවන පුද්ගලයා තද නින්දේය.අප කරන සෑම ක්‍රියාවක්ම, කියන සෑම වචනයක්ම, සිතන සෑම සිතිවිල්ලක්ම, ඒවා ප්‍රඥාවෙන් දකිමින් අවධියෙන් කරන විටෙක ක්‍රමයෙන් උපාදානයෙන් තොර වීමට මාර්ගය සැලසේ.මෙයයි “දිට්ඨේ දිට්ඨ මත්තං සුතේ සුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං “ වශයෙන් බාහ්හ දාරුතියට බුදුන් වහන්සේ ලබා දුන් කමටහන මේ යයි සිත එක අරමුණක පවත්වන භාවනාවක් යැයි ඔබම නිගමනය කල යුතුය. අවධිය ජීවිත කාලය තුළම සෑම මොහොතකම පැවැත්විය යුත්තකි. එයයි තද නින්දෙන් අවදිවී සිටීම (මෙහි පුද්ගලයා “අප” වශයෙන් භාවිතා කළේ සම්මත වශයෙන්ය. සත්ව පුද්ගල සඤ්ඤාවක් බුදු දහමේ නැත. දහමින් දකින විට ප්‍රත්‍යක්ෂ වේ.)

සම්මත‍යෙන් බැහැරව පරමාර්ථ වශයෙන් දැකිය යුතුය. මේ අනුව සෑම පෘතග්ජනයෙක්ම තද නින්දේය. මාර්ගඵල ලාභී උතුමන් වහන්සේලා අවධියෙන්‍ ය. තද නින්ද අන්ධකාරයි. අවධිය අලෝකයයි. මේ සියල්ල අත්හැර ප්‍රඥාව තුළින් දකින්න. එවිට ඔබේ තද නින්ද දැකිය හැකිය. එයයි ධර්මය දැකීම. සිත යම් අරමුණක පැවැත්විය නොහැක්කේ ක්ෂණයක් ක්ෂණයක් පාසා කැඩි කැඩී එන චිත්ත ක්ෂණ එකම අන්දමේ සමාන සිතිවිලි නොවන නිසාය. මෙය ගැඹුරින් විග්‍රහකර බලන්න. මෙය අවබෝධ කරගත් බුදුන් වහන්සේ උන්වහන්සේ වසර තිස් පහක් තුළ සිදුකළ සියලු ක්‍රියා (29ක් කාමසුඛල්ලිකානු යෝගයත්, සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා යෝගත්) අතහැර මධ්‍යම ප්‍රතිපදාවෙන් දකින්න කීවේ. එය  ප්‍රඥාව යොදවා විදර්ශනාවෙන් දැකීමයි. එනම් විනිවිද දැකීමයි. එය සලායතන වලින් පරිභාහිරව ,සලායතන ඉක්මවා දැකීමයි. අන්ධකාරයක් නැත. ආලෝකයක් තුළ දකින්නේ ආලෝකෝ උදපාදී ලෙස හැදින්වූයේ එය මහා ප්‍රඥාව තුළින් දකින්නේ. ඒ නිසාමය තිස්පස් අවුරුද්දක් තුළ දැකීමට නොහැකි වූ ආලෝකය එක් රැයක් තුළ දැකීමට හැකි වූයේ. එය ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයයි බුදුන්වහන්සේ විවෘත කළ එම ධර්ම මාර්ගය අනුගමනය කොට ප්‍රබුද්ධත්වයට පත් සියළු දෙනාම අන්දකාරයෙන් මිදී ආලෝකය තුළට පත්වූයේ. ඒ නිසා බීණක්ෂරයන් වහන්සේලා අවධියෙන්‍ ය. පෘතග්ජනයෝ තද නින්දේය.(අන්ධකාරයේය) නුදුටු නින්දෙන් අවධිවන්න. ඒ සදහා බුදුන් වහන්සේ දේශණා කොට වදාළ විදර්ශනාව අනුගමනය කොට චතුරාර්ය සත්‍යය නිවැරදිව හදුනා ගැනීමට ආර්යය අෂ්ඨංගික මාර්ගයේ ගමන් කරන්න. එවිට අප තද නින්දෙන් අවධි වේ. ධර්මය දකින්න.

බී.සුමිත් අමරසිරි

බදුල්ල.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *