තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ පිළිවෙත් ගරුක තුසිත නොවූ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරඹයා මෙම ජාතක කතාව දේශනා කළ සේක.
සැවැත්නුවර විසූ එක්තරා කුල පුත්‍රයෙක් බුදු සසුනෙහි පැහැදි මහණ වූ දින සිට, භික්ෂුවක විසින් පිරිය යුතු මහණ දම් පුරමින්, වත්පිළිවෙත් සම්පූර්ණ කරමින් එසේම ආරාමය, මළු, පෙත්මං, ධර්මශාලා හා සංඝාරාම ආදිය පිරිසිදු කොට ඇමදීම, පින් පැන් තැබීම, සුදුසු තැන් වල සෙවණ හා ඵල ගෙන දෙන යෝග්‍ය ගස් සිටුවීම හා ගහ කොළ වලට සාත්තු කිරීම ආදිය නිරන්තරයෙන්ම සිදු කරන ලදී. ඒ දකින බොහෝ දෙනා උන්වහන්සේගේ යහපත් ක්‍රියා ගැන පැහැදී ප්‍රශංසා මුඛයෙන් කතා කළහ. වරක් එසේ උපාසකවරු උන්වහන්සේට අගනා පාත්‍ර 500ක් පූජා කළෝය. උන්වහන්සේගේ එම පාත්‍ර ඒවායේ අවශ්‍යතාවය තිබූ සෙසු භික්ෂූන් වහන්සේලාට බෙදා දුන්හ. දම් සභා මණ්ඩපයට රැස්ව වුන් භික්ෂූන් වහන්සේලා යට කී භික්ෂූන් වහන්සේගේ මනා ඇවතුම් පැවතුම් නිසා අනෙක් භික්ෂූන් වහන්සේලාටත් මහත් ප්‍රයෝජනයක් අත් වී යැයි කතා කරමින් වුන්හ. එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඔවුන් එතෙක් කරමින් සිටි කතාව කුමක්දැයි දැන, “මහණෙනි, පෙරත් උතුම් ගති තිබූ එම භික්ෂුව නිසා බොහෝ දෙනාට ලාභ සත්කාර ලැබුණි”යැයි ප්‍රකාශ කොට, භික්ෂූන් ඇරයුමින් අතීත කතාව දක්වා වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ කෙනෙක් රජකම් කරන සමයෙහි බෝසතාණෝ ප්‍රසිද්ධ බමුණු කුලයක ඉපිද පංචකාමයෙහි ආදීනව දැක 500ක් තාපසවරුන් පිරිවර කොට ඇතිව හිමාලය වනයෙහි වාසය කළහ.
එසේ වාසය කරන අතර හිමාල වනාන්තර පෙදෙස මහා නියගයක් ඇතිවිය. වැසි නොලැබීම නිසා විල් පොකුණු බොහෝමයක ජලය සිදී ගියහ. සිවුපා වර්ග සහ පක්ෂි වර්ග බීමට පැන් නැතිව මහත් පීඩාවට පත් වුවහ. මේ තාපස පිරිසෙන් කෙනෙක් ඒ සතුන් කෙරෙහි මහත් කරුණාව උපදවා ගසක් කපා ඔරුවක් සාදා සතුන් ගැවසෙන තැනක තබා ආරාමය අසල තිබූ ගැඹුරු ලිදකින් පැන් ඇද නිතිපතා ඒ ඔරුව පිරවූවේය. එහි අප්‍රමාණ සිවුපා හා පක්ෂි වර්ග පවස නිවාගෙන ඔවුන් අතරේම මෙබදු කතාවක් කළහ.
“මිතුරනි, මේ ගුණවත් තාපස තුමා අපට කරන්නේ මහත් උපකාරයකි. එය කිරීමට උන්වහන්සේගේ බොහෝ කාලයක් කැපවන බැවින් ආහාර සදහා ඵලාපල සොයා යන්නට වේලාවක් නොලබති. අප මීට කුමක් කළ යුතුද?”
“අප මේ වනයෙහි ආහාර සොයා යනවිට අපට හමුවන වැල, වරකා, අඹ, දඹ ආදී අප්‍රමාණ පළතුරු වර්ග ගෙනවිත් තාපසයන්ට පූජා කරමු.”
සිවුපා හා පක්ෂි වර්ග එසේ දිනපතා ආරාමයට ගෙනා අතිවිශාල ප්‍රමාණයක් වූ පළතුරු සියල්ල එම තවුසා විසින් තම ප්‍රධාන තවුසා ඇතුළු හැමට බෙදා දෙන ලදී. එසේ නිරායාසයෙන් ආහාර ලැබීම නිසා භාවනාව ආදීයේ යෙදීමට ඒ හැමට බෙහෙවින් කාලය ඉතුරුවිණි.
දිනක් ප්‍රධාන තාපසතුමා සෙසු තවුසන් අමතා “බලනු මැනවි මේ තාපසයන්ගේ උතුම් පැවතුම්, කාරුණිකභාවය හා වීර්යය නිසා අප හැම දෙන ආහාර සොයා වනයට නොගොස් මොතනම හිද මිහිරි ඵල රස විදින්නෙමු. තවුස්දම් පිරීමට අවශ්‍ය කාලය ලබන්නෙමු”යි ස්තූති පූර්වකව පැවසීය.
බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, කෙනෙකු ගිහිව සිටියත් පැවිදිව සිටියත් වීර්යය කළ යුතුමය. ලෝකයාට සේවය කළ යුතු”යි වදාළා ඒ සමයෙහි සතුන්ට පැන් ඇද වත්කළ තාපයෝ දැන් මේ වතාව නොපිරී හෙලූ භික්ෂූන් වහන්සේ ය. තාපසවරුන්ගේ නායකයාට සිටියේ දැන් බුද්ධත්වයට පත්ව සිටින මම වේදැ”යි අතීත කාථාව සහ වර්තමාන කාථාව ගළපා වදාළ සේක.
උපදේශය:- යහපත් කටයුතු වල වීර්යයවන්ත වීම තමන්ටත්, අනුන්ටත් යහපත ගෙනේ.
කල්ප ලොකුවිතාන