” සබ්බේ පුථුජ්ජනා උම්මන්තකා” ප්‍රථග්ජන භාවයෙන් නොමිදුණු හැම දෙනාම උම්මන්තකයන් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. අප අරමුණු කොට නොවේදැයි ඔබ මොහොතකට සිතුවෙහිද, සමහර විට මා සිතන්නේ මා තරම් පණ්ඩිතයකු නැති ලෙසය. මට අන් හැමත්, ඔවුන්ගේ කටයුතුත් පෙනෙන්නේ මෝඩයන් මහ මෝඩකම් ලෙසිනි. ඔබත් එසේ සිතන්නට පෙළඹුණේ නැද්ද? විටෙක පිරිසක් රැස්ව අපි සියල්ල දන්නෙමු. අන් අය අප මෙන් හැම දෙයම නොදනිති සමාජය බෙදා කොටස් කොට සළකති. බෙදීම මැනීමේ ප්‍රතිඵලයකි. එවන් බෙදීමක් සාධාරණද? බෙදීමෙන් අසමගිය වැඩෙයි. අඩ දබර වැඩිවෙයි. එකෙක් පෙළා අනිකා නැගී සිටීමට උත්සාහ කරයි. භයින් සන්ත්‍රාසයෙන් කල් යැවීමට සිදුවෙයි. දුකින් පරිපීඩිතව, ඇඩූ කදුළින් දවස හරින ළමා ළපටි, තරුණ මහළු කොපමණ අය අප නිවෙස් වල සිටිත්ද? “තණ්හාය ජායතී සෝකෝ” ශෝක භය සන්ත්‍රාස හැම අතවරයකටම අපට මුහුණපාන්නට වන්නේ කරන කියන කටයුතු ආශාව පදනම් කොට සිදු කරන බැවිනි. බැදීම, කැමැත්ත, ආශාව, ආලය, ලෝභය, ප්‍රේමය, තණ්හා, ඉච්ඡා, රාග, නන්දි ආදී විවිධ වචනයන්ගෙන් හදුන්වනු ලබන ධර්මය සියලු අයහපත් වූද, අයහපත් විපාක දෙන්නා වූද ක්‍රියාවන්හි මූලික බල ශක්තියකි. එය සිත් සතන්හි පහළ වී විද්‍යාමාන වන ධර්මයකි. සුදුසු වාතාවරණය එළඹුණු කල්හි එහි පහළ වීම වැලැක්විය නොහැකිය. ඒ ඒ මොහොතෙහි උපදින මෙම ඇලීම අප කරා ගෙන එන්නේ අසීමිත ආශ්වාදයකි. ඒ ඒ අවස්ථාවන්හි මිහිරක් විනෝදයක්, සතුටක්, සැනසීමක් ලබන අපට තැන නොතැන නොපෙනේ, වේලාව අවේලාව නොදැනේ, යහපත අයහපත නොවැටහෙයි. මිහිරෙන් මිහිර පතන විනෝදයෙන්, වීනෝදයම අපේක්ෂා කරන පුහුදුන් අප හැම විටම මෙම සැනසීම නොසොයන්නේද? ආශාවන් සපුරමින් අප යන මේ ගමන ” සංසාරය” යන නාමයෙන් බණ පොතෙහි උගන්වයි. එය උපමා කොට ඇත්තේ පරක් තෙරක් නොපෙනෙන ගැඹුරක් නොදැකිය මහා සාගරයටය. වාතයෙන් කැළඹුණු සාගර ජලය මහ රළ ගෙඩි නංවමින් වෙරළ දක්වා පැමිණි ආපසු මුහුදටම ඇදී යන්නා සේ හැගීමක් ඇති වන්නට ඇති. සසර සැරිසරණ පුහුදුන් සත්වයා එහිම ලගිමින් නොදුටු, නොඇසූ, නොවිදි සැප විදින්නට සදාකල්හි මහදුත්සහායක යෙදෙන්නේ භවයෙන් භවයට අවසන් නොවන ගමනක යෑමෙනි. මම සසර තුළ ගිලී සිටින්නෙමියි. යන හැගුමෙන් ඇති වුණු අවස්ථාවක ඔබට මතකද? බලාපොරොත්තු නොවුණු දුකකට කණගාටුවකට, ශෝකයට පත් වූ දිනයක මේ අමිහිරි කටුක ජීවන ගමන ගැන ඔබටත් එය කොතෙක් වේලා පැවතුනේද? එදා විදි ඒ දුක දැන් නොමැති හෙයින් කුමට බිය වෙම්ද? අපි සැම එලෙස සිතන්නෙමු. සසර බියජනක යැයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඇයිද යන්න පුහුදුන් අපට තවම සිහිනයක් නොවේද? අප රෑ දාවල් දෙකෙහි සැරිසරන්නේ සිහින ලොවකය. තෙදැති හිරු රැසින් සිහිල් සදරැසින් ඒ සිහින ලොවට වැඩක් නැති. එය සදා අදුරෙහි පවත්නේය. අප අදුරෙන් එළියට යන්නේ කවදාද?
” කොනුහාසො කිමානන්දො නච්චං පජ්ජලිතෙ සති අන්ධකාරෙන ඕනද්ධා පදීපං න ගවෙස්සමි”