කව්ද මේ වැඩිහිටියෝ බුදුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
අභිවාදන සීලිස්ස – නිච්චං වද්ධා පචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති – ආයු වණ්ණෝ සුඛං බලං
ගුණ වෘද්ධයන්ට නිතර වැදුම් පිදුම් කරන අයට ආයුෂය, වර්ණය, සැපය, බලය යන කරුණු හතරක් වර්ධනය වෙති.
අපි හැදුණේ වැඩුණේ වැඩිහිටියන් නිසා රැකුනේ වැඩිහිටියන් නිසා. අපි එදා පොඩිහිටියො. අද අපි වැඩිහිටියන් උනාම (ටිකක් උස්මහත් වෙලා අපිට වැඩිය පොඩි අය ඉන්න නිසා) කලින් හිටි වැඩිහිටියෝ පැත්තකට දාන්න උත්සාහ කරන එක මිනිස් කමට නිගාවක්.
“වැඩිහිටියන්”කියන්නේ වයසින් වැඩි අය විතරමද? නැහැ. කොහෙත්ම එහෙම හිතන්න එපා. වැඩිහිටියෝ වර්ග හතරක් ඉන්නවා.
- ගුණ වෘද්ධ – ගුණයෙන් උතුම්
- වයෝ වෘද්ධ – වයසින් වැඩියි
- තපෝ වෘද්ධ – කෙලෙස් බරින් අඩුයි
- සීල වෘද්ධ – සිල්වත් බවින් පූර්ණයි
ඉතින් මෙවැනි උත්තමයන් ළග අපි අපේ ලොකුකම, බලය, පණ්ඩිතකම, නිලය තුළින් පුහුමානයක් නොගෙන නිසි ගරු බුහුමන් දිය යුතුමයි. එවන් අයට විශ්වයේ මහා ආදරයක් කරුණාවක් හිමි වෙනවාමයි. කොහොමද ඒවා ලැබෙන්නේ කියලාත් බලමු. ඉහත ගාථාවේ සදහන් කාරණා හතර තමයි ලැබෙන්නේ. ඒ ගැනත් විමසා බලමු.
ආයුෂ :- දෙමාපිය, වැඩිහිටියන් වදින, පුදන, රැක බලා ගන්න කෙනාට දෙවි දේවතාවනුත් ආදරෙයි. “යමෙක් ගිලනුන්ට උපස්ථනා කරයිද? හේ මට උපස්ථාන කළා හා සමානය”යැයි බුදුන් වහන්සේ දේශනා කළා. අපිට ඇතිවන බොහෝ හදිසි විපත්, හදිසි මරණ, සසර ප්‍රාණඝාත ආදී පාපකර්මයන් නිසා ලැබෙන දේ. ඉතින් වැඩිහිටියන්ට නිසි පුද පූජා කරන අයට එවැනි කර්ම බොහොමයක් ක්ෂය කරගන්නට හැකියාව ලැබෙමින් ආයුෂ වැඩිවීම නිරායාසයෙන් සිදු වෙනවා.
සැප :- “සැපය” හොදම “සැපය සිතේ සතුට” හොදම “ධනය සිතේ සතුට” ඉතින් යමෙක් දෙමාපිය වැඩිහිටියන් රැක බලාගන්නේ නම් ගරු බුහුමන් කරන්නේ නම් නිරායාසයෙන් අනෙත් අයගේ පැසසුමට කරුණාවාට පාත්‍ර වනවාමය. යහපත් චිත්තාවේග අප කරා යහපත්ව ලැබෙනවාමය. අවසානයේ වෙනස් නොවන එකම “සැපය” වන නිවන් සැපයටද අප හිමිකම් කියනවාමය.
බල :- එවැනි යහපත් කෙනෙකුට සමාජය තුළ ලැබෙන නිල බලය, කාය බලය, ආර්ථික බලය මෙන්ම ප්‍රඥා බලය නිතැතින්ම ලැබෙන්නේය. දෙමාපියන්ට ගරු කරන වැඩිහිටියන්ට ගරු කරන ගුරුවරුන්ට ගරු කරන හැම දරුවාම ප්‍රඥාවෙන් අගතැන්පත් වීමට හේතුව එයමය.
වර්ණ :- ලස්සන පාටක්, හමක්, රූපයක් පමණක් නොවේ… වැඩිහිටියන් පුදන කෙනා හැම අතින්ම පොහොසත් ය. මනුසත් ලොව සැපයෙන් සිටින සතුටින් සිටින, නිරායාසයෙන් හැමදේම ලැබෙන, හැමදේම සාර්ථක වන පුද්ගලයා වනු නිසැකය.