විශ්වය තුල ජීවිතය

විශ්වය තුල ජීවිතය

අපගේ පසිදුරන් යනු ඇස, කන, නාසය, දිව හා ශරීරයයි. මේ සියල්ල හුදෙක් පදාර්ථයන්ගෙන් සෑදී ඇති බව අපට මතුපිටින් හැගෙන කරුණයි.

මේ සියල්ල මාගේ යැයි හැගෙන්නේ එයින් දැනෙන අරමුණු අප සිත විසින් නිතරම අල්ලාගන්නා බැවිනි. යමෙක් පසිදුරගෙන් ලැබෙන අරමුණු නැවතූ විට සිතෙහිම පමණක් හටගත් අරමුණු පමණක් ඉතිරි වනු ඇත. ඇසෙන්, කනෙන්, ආදී වශයෙන් ඉදුරකින් ලබා ගත් අරමුණකින් පසු තව එකකින්ද ඉන්පසු තව එකකින්ද ලෙස විවිධ අරමුණු ලබා ගැනීම සිතෙන් යම් අවබෝධයක් ලබාගැනීමට නිතරම බාධාවක් ලෙස පවතී. මෙයින් මිදී සිතෙහි අරමුණු පමණක් ඉතිරි කරගැනීම යම් සමාධියක් මුල පිරීමක් වනු ඇත.

මෙම සියළු අරමුණු තුළ ඉන්පසු හටගන්නා වේදනාවන් වර්ග තුනකි.

  1. සැප වේදනා
  2. දුක වේදනා
  3. මැදහත් වේදනා

තවදුරටත් විශ්ලේෂණය කොට ගැඹුරු ලෙස මෙසේ ද දැක්විය හැක.

  1. සිත විදීමට බලාපොරොත්තු වන වේදනා
  2. සිත නොවිද සිටීම බලාපොරොත්තු වලින් තොර වේදනා
  3. සිතෙහි බලාපොරොත්තු වලින් තොර වේදනා

මෙහි තෙවන අවස්ථාවේදී හැර, පළමු හා දෙවන අවස්ථාවලදී දැනෙන වේදනා තුළින් පෙර සිට පවතින බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමට අවස්ථාවක් පෑදේ. එය විදීමට හෝ නොවිද සිටීමට බලාපොරොත්තුවක් විය හැක. නමුත් මුලින් මුලින් හටගන්නා අරමුණ හා ඉන්පසුව දැනෙන වේදනාව තුළින් කිසිදු ආශාවක් ඉටුකරගත නොහැක. මන්දයත් කාලයේ වේගයෙන්, සැමවිටම ඕනෑම අරමුණක් වෙනස්වන බැවිනි. ඕනෑම වේදනාවක් දැනීමට ආරම්භවන විට පෙර ලබාගත් අරමුණ වෙනස් වී අවසානය. එය මෙලෙස සත්‍ය ලෙසම පවතින බැවින් බලාපොරොත්තුවක් හෝ ආශාවක් ඉටුකර ගැනීම වෙනුවට එය ඉටුකරගැනීම වෙනුවෙන් පවතින ඉටුනොවූ බලාපොරොත්තුවක් පමණක් උරුම කරගනී. එනම් සැප වේදනා හා දුක වේදනා විදීමට උත්සාහ කිරීම තුළින් ලැබෙන්නේ ඉටුකරගත නොහැකි ආශාවක් පමණි. යම් එක් මොහොතක් තුළ මෙලෙස බලාපොරොත්තු හා ආශාවන් ඉටුකරගැනීමට උත්සාහ දැරීමේ ආරම්භය. උත්සාහ දැරීමේ ආරම්භය, උත්සාහ දරමින් සිටීම හා එය ඉටු නොවුනු බව දැක එය අවසන් වීම යනාදී ලෙස අවසන් නොවන ගින්නක සිත යාන්ත්‍රිකව පවතී.

සෑම කුඩා උත්සාහයක් සිත විසින් මා යන සංකල්පය වෙනුවෙන්ම දරයි. එය මාගේ ජීවිතයේ ආරම්භයයි. සෑම කුඩා උත්සාහයේ යෙදීමක් ම සිත තුළ මා යන සංකල්පය වෙනුවෙන්ම දරයි. එය මාගේ ජීවිතයේ පැවතීමයි. සෑම උත්සාහයේ යෙදීමේ අවසානය සිත විසින් මා යන සංකල්පය වෙනුවෙන්ම දරයි. එය මාගේ ජීවිතයේ අවසානයයි.

ඉතා සීඝ්‍රයෙන්, එක් සිතක්, පවතින කුඩාම කාලපරාසයක් තුළදී මෙම ඉපදීම, පැවතීම, නැතිවීම යන අවස්ථා සෑම විදීමක් තුළින්ම ලබයි. මෙය එක් චිත්තක්ෂණ භවයක් ලෙස දැක්විය හැක. එක් චිත්තක්ෂණ භවයක් අවසානයේ ඊළගට තවත් ආශාවක් ඉටුකරගැනීමේ උත්සාහයේ යෙදීමට නම් ඒ සදහා කලින් ඉටුකර නොගත් ආශාවන් තිබිය යුතුමය. මෙලෙස මෙම මොහොතේත්, මින් ඉහත සියළු කාලවලදීත් යම් සිතක් විදීම දරන ලද උත්සාහයක් හේතු කාරනාකොටගෙන තවත් අරමුණක් පාදක කරගත් චිත්තක්ෂණ ඇති වනු ඇත. මෙලෙස සියළු භවයන් තුළ පවතින්නෙ ඉටුකරනොගත් යම් ආශාවක් ඉටුකර ගැනීමට සිත දරන ලද යම් උත්සාහයක් පමණි. මෙහි බලය තවත් ඉටු කර නොගත් ආශාවක් පමණි. එනම් එය තවත් භවයකට හේතුවක් වනු ඇත. මෙලෙස යම් විදීමකට බලාපොරොත්තුවෙන් සිටීම කාම තණ්හාවයි. මෙලෙස එම විදීම තුළ පැවතිය හැකියැයි අදහසින් පැවතීමට ඇති වුවමනාව බව තණ්හාවයි. මෙලෙස යම් විදීමක් තුළ නොපැවතී පැවතිය හැකි යැයි අදහසින් නොපැවතීමට ඇති උවමනාව විභව තණ්හාවයි.

මෙලෙසම යම් විදීමක් විදීමට උත්සාහයේදී, කාම තණ්හාව තුළ භවයක් උපදී. එම විදීම නොනැවතී පැවතිය හැකි යැයි අදහසින්ෙය විදීමට දරන උත්සාහය දී භාව තණ්හාව තුළ, භවයන් පවතී. උත්සාහ කළ විදීම් නොලැබෙන විට හා නොලැබෙන බැවින් එම උත්සාහයෙන් මිදීමට දරන උත්සාහය තුළ, විභව තණ්හාව තුළ භවය නවතී. මෙලෙස එක් මොහොතක් එක් විදීමක් තුළ භවය නවතී. මෙලෙස එක් මොහොතක්, එක් විදීමක් තුළ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුළ, දරණ උත්සාහය තුළ හෙවත් උපාදානය තුළ භවයක් ඉපදී පැවතී නැතිවී යයි. යම් භවයක් අවසාන වී තවත් භවයක් හටගැනීම, පවතින භවය පිළිබදව විභව තණ්හාවක්ද, ඊළග අරමුණ තුළ කාම තණ්හාවක්ද, හේතු කාරණා කොට ගෙන සිදුවේ.

මෙසේ පවතින් සත්වයාගේ සම්මුති මරණයේදී අවසාන චිත්තක්ෂණ භවයෙන් පසුව, ඉටු කර ගැනීමට ආශා කරන සියළු බලාපොරොත්තු තුළින්, විශ්වයේ යම් තැනක විදීමට හෝ නොවිදී සිටීමට (බ්‍රහ්ම ලෝක තුළ) අවශ්‍ය කරන යම් ස්ථානයක් මීළග චිත්තක්ෂණය හට ගනී. සියළුම බලාපොරොත්තු කලින් ඉටු කර ගැනීමට අවශ්‍ය අවධි වූ බලාපොරොත්තුද, විශ්වයේ යම් තැනක සුදුසු තත්වයක නිර්මාණයද, පවතින කය තුළින් මිදී සිටීමේ විභව තණ්හාවද, යන කරුණු කාරණා හෙවත් ප්‍රතිසන්ධි විඤ්ඤාණය නව සම්මුති උපතක් ඇති කරයි. එම උපත තුළ නොවිසදුණු විදීමේ ආශාවන් වෙනුවෙන් අවශ්‍ය කරන අංග උපාංග හෙවත් පසිදුරන් නිර්මාණය වේ. එසේ වන්නේ සිතෙහි පවතින මම යන සංකල්පය තුළ පවතින බලාපොරොත්තු සදහා අවශ්‍ය කරා රූපය/පදාර්ථය වෙනස් වීමෙන්. එය සිතෙන් යම් පදාර්ථයක් හැඩගස්ව ගත හැකි කුඩාම ඒකකය තුළින් සිදු වේ. එය රූප කලාප ලෙස දැක්විය හැක. මෙලෙස රූප කලාප වර්ග විසි අටකින් පසිදුරන් සහිත කයක් විඤ්ඤාණය විසින් නිර්මාණය කරයි. ඒ පසිදුරන් හා සිතෙන් ලබා ගත් යම් අරමුණක් තුළින් වේදනාව තුළින් භවයක් හටගනී. එම භවය අවසානයේ මීළග බලාපො‍රොත්තුව වෙනුවෙන් විඤ්ඤාණය තුළින් රූප කලාප වෙනස් කරමින් සකස් කරන්නේ නව නිර්මාණය තුළින් මීළග බලාපොරොත්තුව ඉටු කර ගැනීමටය. එහිද අරමුණු තුළින්, වේදනාව තුළින්, තණ්හාව තුළින් තවත් භවයක් හටගනී.

මෙය ඕනෑම සත්වයෙකු භවයෙන් භවයට මෙනම ජාතියෙන් ජාතියට ප්‍රතිසන්ධියට පමුණුවන පඨිච්ඡසමුප්පාද ධර්මයයි. මෙලෙස කිසිත් තේරුමක් නොමැතිව , ගමනක ගමන් කරන බව නොදත් නිසා, සියළු බිදීම තුළ හටගන්නා තණ්හාව හේතු කාරණා කොට ගෙන නොවිසදුනු බලාපොරොත්තු හෙවත් සංස්කාර හටගනී. මෙම නොදත්කම අවිද්‍යාවයි. එයින් සංස්කාර හටගනී. ඉන් විඤ්ඤාණය හටගනී. ඉන් නාමය හා රූපය හෙවත් කය හා සිත හටගනී. කය හා සිත නිතරම විශ්වයේ ස්පර්ශ වන විට, දැනෙන අරමුණ තුළ හටගන්නා වේදනාව තුළ තණ්හාවෙන් විදීමට දරන උත්සාහය භවයක් ඇති කරයි. මෙම සියල්ල අවබෝධ කරගෙන ඉන් මිදීම නිවනයි…..

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *