අද මිනිස් මනස විකෘති වී විනාශ වී ඇත්තේ කෙළවරක් නැති බරපතල ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වී ඇති නිසාය. ඒඩ්ස් වසංගතය, න්‍යෂ්ටික අවි ත්‍රස්තවාදය , භයානක වෙනත් රෝගාබාධ තොරතෝංචියක් නැතිව මනස අවුල් කරන අතර අද බොහෝමයක් තරුණ තරුණියන් තමන්ට අවු. 20කට 30කට ආයුෂ නැතැයි යන බියකින් පසුවන තරමට ලෝකය දියුණු වී තිබේ. මේ ප්‍රකාශය බ්‍රයන් ලෙස්ලි වයිස් නැමැති මහාචාර්‍යවරයා විසින් රචිත “ඒබහ බසඩැ ඒබහ ඒඑරි” නම් කෘතියේ එන්නකි. එම කෘතිය ජයසිරි විජේසේකර මහතා විසින් “සසර කතරක පියසටහන්” නමින් සිංහලයට පරිවර්තනය වී ඇත. මේ ප්‍රකාශයෙන් මතු කෙරෙන අභියෝගය මීට කලකට පෙර බටහිර ලෝකයට සීමා වූ ගැටලුවක් වූ නමුත් දැන් එය පෙරදිගට ද පැතිරී ගිය ගැටලුවකි. දැනට ලෝකයේ පවතින අවිනිශ්චිත ස්වභාවය මේ හැගීමට පදනම් වී තිබේ. නූතන යුගයේ දියුණුව නම් පැවැත්ම පිළිබද මේ අවිනිශ්චිතාවයට ඇදවැටීමයි.
- උදාසීන බවක්
ඇතැම්විට වැඩිහිටි සමාජය ” අනේ අපේ කාලෙ නම් ඔය මොන ප්‍රශ්නයක් වත් තිබුණේ නැහැ. ඒකට දැන් නේ, දැන් උපදින අය හරිම අවසනාවන්තයෝ” යනුවෙන් පවසන අවස්ථා දක්නට ලැබේ. එවන් ප්‍රකාශ වල පවත්නා අභියෝග ගැන විසදුමට වඩා ඇත්තේ උදාසීන මගහැරයාමක් යැයි සිතේ. කෙසේ නමුත් යොවුන් වියේ වූවන්ට තම ජීවිතය කොයි මොහොතේ කෙළවර වේදැයි නොදැන ජීවත් වන්නට සිදුවීම සමාජ සංවිධානයේ විශාල බිදවැටීමකි. මේ ගැන වැඩිහිටි අවධානය යොමුවන ප්‍රමාණය ගැන සතුටු විය හැකි නොවේ.
ත්‍රස්තවාදී ක්‍රියාදාමය ලෝකයේම ව්‍යාප්ත ව්‍යසනයකි. මත් උවදුරද එබදුය. මනුෂ්‍යාගේ ශාරීරික ඇසුර ප්‍රතිකාර නැති රෝගී තත්වය ව්‍යාප්ත වීමට සාධක වී තිබේ. ලෝක සම්මත සදාචාර සීමාව තුළදීද එවන් රෝග බියක් ඇති වුවහොත් එය මනුෂ්‍යය වර්ගයාගේම නිමාව වීමට ඉඩ තිබේ. මෙබදු විනාශකාරී අවස්ථා පිළියෙල වන්නේ කවර සාධක නිසාද යන්න බෞද්ධ චින්තනය තුළින් විමසා තේරුම් ගත යුතුව තිබේ. අංගුත්තර නිකායේ මහාසාල සූත්‍රයෙහි සමාජයක් විනාශයට පත්වන විට උත්සන්න වන කරුණු තුනක් විශේෂයෙන් අවධාරණය කර තිබේ. යම් ජනාකීර්ණ, සමෘද්ධිමත් ගම් නියම් ගම් රාජධානියක් වේනම් එවැන්නක් විනාශය කරා යන්නේ අධම්ම රාගයත්, මිථ්‍යා ධර්මයත්, විසම ලෝභයක් උත්සන්න වීමෙන් බව එහි කියැවේ.
- අධම්ම රාගය
මින් අදහස් කරන්නේ මනුෂ්‍යාගේ මෛථුන රාගය අයුතු ලෙස සමාජ විරෝධී ලෙස ක්‍රියාත්මක වීමයි. එය වර්තමාන යුගයේ උත්සන්න වෙමින් තිබේ. දිගු කලක් ආ සමාජ සම්මතයන්ගෙන් බැහැරව වැරදි ක්‍රම වලට නීතිමය පදනමක් ඇතැම් රටවල ලැබී තිබේ. මේ අතර දිළිදු බව නිසා ගණිකා ක්‍රමයද ව්‍යාප්ත වී තිබේ. කෙසේ නමුත් එහි අවසානය ප්‍රතිඵලය මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය නැති කරන රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීමයි. මිනිසා තුළ ඇති අධම්ම රාගයට ස්වභාව ධර්මයේ දඩුවමක් ලෙසද මෙය කල්පනා කල හැකිය. මෙවන් රෝගී තත්වයකට ජීවිතය කොයි වේලේ පත්වේද යන අවිනිශ්චිතතාවය අද පවතී. ඇතැම් විට මව් ගැබේදී මෙය උරුම විය හැකියි. මෛථුන ඇසුරෙන්ම නොව වෙනත් ක්‍රමයකින් වුව රුධිර හුවමාරුවකින් මෙය වැළදෙන්නට පුළුවන. නූතන දියුණුව විසින් මිනිසාගේ රාග උස්සන්න කර තිබේ. එහිදී ලෝක සම්මතය යෑම සිදුවේ. මෙබදු සමාජයක තරුණ සිතට පරමායුෂ වින්දනය පිළිබද අවිනිශ්චිත බවක් ඇතිවිය හැකියි. එබැවින් සරාගී සංකල්පනා උත්සන්න කරවන දේ පිළිබද වගකිව යුතු අවධානයක් අවශ්‍යව තිබේ.
- විසම ලෝභය
මෙයින් අදහස් කරනුයේ පුද්ගලයා තුළ පවත්නා ලෝභය නැමැති මනෝධර්මය විසම වීමයි. එනම් ලෝභය සමාජයට විපත් සලසන තරමට උත්සන්න වීමයි. නූතනයේ වස්තුකාමය අරගලයට පදනමක් වී තිබේ. ඒ අරගලය කුරිරු යුද්ධය ඉක්මවා ත්‍රස්තවාදයක් වී තිබේ. “මස් කැටියක් ගත් උකුසෙකු අහසේ මස් නොදැමුව උකුසන්ගෙන නැසේ” යන ලෝවැඩ සගරා කවි දෙපදයෙන් පෙනෙන්නේ කාම ලෝකයේ ක්‍රියාත්මක වන කාම තරගයයි. සියලු සටන් අරගලවල පදනම මෙයයි. මේ පදනම ඇති තැන යුද්ධය ම්ලෙච්ඡත්වයට ගිය ත්‍රස්තවාදයක් බවට පරිවර්තනය වේ.මේ නිසා හදිසි පිපිරීම් වලද මෙයින් යුධ බිමේදී තරුණ ජීවිත විනාශ වේ. අංගවිකල වේ. ආබාධිත වේ. මේ පසුබිම නිසා නූතන යුගයේ තරුණ තරුණියන්ට තම ජීවිතය පිළිබද අවිනිශ්චිත කල්පනා ඇතිවීම ස්වභාවිකයි. ප්‍රජාවකගේ අභිවෘද්ධිය ගැන සිතන විට මේ තත්වය කොතරම් අනර්ථකාරීද යන්න වගකිව යුතු වැඩිහිටි සමාජය තේරුම් ගත යුතුය.
- මිච්ඡාධම්ම පරෙතා
මිථ්‍යා ධර්මයෙන් යුතු බව මින් කියවේ. මිථ්‍යා ධර්මය නම් ලෝකයේ සැබෑ හේතුඵල රටාව නොදැකීමයි. එහිදී ලොව ඇති සැටිය නොදකී. යම් ගැටලු වලට සැබෑ හේතු නොව වැරදි හේතු දැකීමෙන් නිවැරදි පිළිතුරු සැපයීමක් සිදු නොවේ. එයින් සිදුවන්නේ ගැටලු තව තවත් වැඩි වීම පමණි.
මේ සදහන් කළ සාධක තුන ඇති තැන ඕනෑම ආඩ්‍ය ජනාකීර්ණ ජනපදයක් විනාශ වීම නොවැළැක්විය හැකිය. ඒ සාධක නිසා තියුණු අවිගෙන එකිනෙකාගේ ජීවිත හානිකර ගනිති. අද ඇත්තේ මේ අර්බුධය නොවේද? මෙවන් පරිසරයක යොවුන් සමාජයට අනාගත අපේක්ෂා නැතිවෙයි.
තව දුරටත් සාකච්ඡා කරන මහාසාල සූත්‍ර්‍ය වැසි නොලැබීම, දුර්භික්ෂ ඇතිවීම, ශස්‍ය හානි, සූදු ක්‍රීඩා උවදුරු වැනි දේ නිසාද ජනයා ශූන්‍ය වීමට පටන්ගන්නා බව දක්වයි.
යොවුන් සමාජයට ජීවිත සුරක්ෂිතතාවයක් දෙන්නට නම් වගකිව යුතු වැඩිහිටි සමාජය, උවදුරු වලට පදනම වන අධම්ම රාගය ත, විසම ලෝභය ත්, මිථ්‍යා ධර්මයත් නැති කිරීමට වගබලා ගත යුතුය.
වෛද්‍ය සමන් කංකානම්ගේ.