තෘෂ්ණාව බැදීම ඇලීම ආශාව නැති කිරීම දානයේ පරමාර්ථයයි…

තෘෂ්ණාව බැදීම ඇලීම ආශාව නැති කිරීම දානයේ පරමාර්ථයයි...

දානයක් යනුවෙන් අප කවුරුත් අදහස් කරන්නේ නොමිලේ දෙන දේය. කොයි ආගමේත් දානය දීමක් තිබේ. බෞද්ධයන් වූ අප දානය දෙන පිළිවලට වඩා වෙනස් වූ පිළිවලක් අන්‍යාගමිකයන් අනුගමනය කරති. ඔවුන් දෙන්නේ ඔවුන්ගේ දෙවියන් සතුටු කිරීමටය. බෞද්ධයන් වූ අප දෙන්නේ පින් රැස් කර ගැනීමටය. ඒ පරලොව සදහාය. අන්‍යාගමිකයන් දානය දී දෙවියන් සතුටු කරන්නට හදන්නේ පරලොව සදහාය. දානය යනුවෙන් බොහෝ විට බෞද්ධයන් අදහස් කරන්නේ බත් මාළු සහිත ආහාර දීමය. ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආදී ආගම්කාරයෝද බත් මාළු සහිත ආහාර දීමනාවක් දානය දීම යන්නෙන් අදහස් කරති.

බුදුරජාණන් වහන්සේ දානය හැටියට ඉඩකඩම්, ගහකොළ, හරකාබාන, අලි ඇතුන්, යානවාහන, මුදල් හදල්, රෙදිපිළි, ගේ දොර පමණක් නොව අඹු දරුවන්ද අදහස් කළ සේක. තමන්ට පරිබාහිරව ඒ දේවල් වලට අමතරව ශරීරයේ ඇස්, ඉස්, මස්, ලේ ආදී අංගෝපාංගයන්ද අවශ්‍ය කෙනෙකුට දානමය චේතනාවකින් දීම සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ සසර සැරි සරද්දී බොහෝ විට කර ඇත. අප කා තුළත් මේ කොයි දේ පිළිබදවත් ඇත්තේ එක හා සමාන තෘෂ්ණාවකි. බැදීමකි, ඇලීමකි.

දානය දීමෙන් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ තෘෂ්ණාව, බැදීම, ඇලීම තණ්හාව නැතහොත් ආශාව යන වචන වලින් අදහස් කරන පෘතග්ජන පුද්ගලයන්ට පහළ විය හැකි ගතිය පහකරවීම ට පෙළඹවීමය. මේ තෘෂ්ණාව මේ බැදීම නැති කිරීම දානයේ පරමාර්ථයයි. දන් දෙන්නට, දෙන්නටම බැදීම ඇලීම තුනීවෙයි.

වෙස්සන්තර ජාතකයේ වෙසතුරු රජ දරුවන් දන් දෙන්නේ මෙළොව මනුෂ්‍යත්වය ඉක්ම වන තරම් වූ ශ්‍රේෂ්ඨත්වයකිනි. ඉච්චාවට, බොරුවට දන් දුන්නයි කියා ලොව රවටන්නට ආ මේ දරු දෙදෙනා අරන් පලයල්ලා යි කියා දුන්නා නොව අවශ්‍යතාවය උඩ ඉල්ලා ගෙන ආ ජූජක බමුණා ට පරාර්ථය සදහාම දුන්නේය. දරුවන් දෙන්නට පුළුවන් වුණ කෙනෙකුට තව දිය නොහැක්කේ මොනවාද? සිය දේවියද? ඉල්ලාගෙන ආ කෙනෙකුට ඇයද දන් දී සියළු තෘෂ්ණාවන්ගෙන් මෙළොව සියළු බැදීම් වලින් ඉවත් වීය හැකි බව පෙන්වා දුන්නේද බෝසත්තුමාය.

පුද්ගලයෙකුට හෝ පුද්ගල සමූහයකට හෝ දානය දිය හැකිය. ඒ දෙන දානය යන වචනයෙන් හෝ ත්‍යාගය යන වචනයෙන් දැක්විය හැකිය. දෙන්නේ බත් මාළු ප්‍රධාන කොට ඇති ආහාර වේලක් හෝ වේල් කිහිපයක් විය හැකිය. නැතිනම් පාසලක්, රෝහලක්, වැනි පොදු ස්ථානයක් විය හැකිය. දානය කීවත් තෑග්ගකින් කීවත් දෙකෙන්ම අදහස් කරන්නේ එකම විදිහේ පරමාර්ථ ඇති දීමකි.

දානයක් දීමේ දී පළමුවෙන්ම පරාර්ථය පෙරදැරි කරගත යුතුය. තමන් දෙන දෙයින් ඒ දෙය ලබන තැනැත්තාට ප්‍රයෝජනයක් ඇති වීමෙන් යහපතක් සිදුවන්නේ නම් දානයේ කුසල පක්ෂය වැඩිවෙයි. ලබන දානයෙන් එය ලැබූ තැනැත්තාට ප්‍රයෝජනයක් යහපතක් සිදු නොවේ නම් දානය දුන් තැනැත්තාගේ කුසල පක්ෂය වර්ධනය වන්නට ඉඩක් නැත. හේතුව දානය ලැබූ තැනැත්තා ට එයින් ප්‍රයෝජනයක් අත් නොවුනු නිසාය.ඒ ගැන කෘතඥතා පූර්වකය සිහි කරන්නට පෙළඹවීමක් ඇති නොවන හෙයිනි. ඒ නිසා දානය දෙන තැනැත්තා හෝ තැනැත්තිය දීමෙහි යෙදිය යුත්තේ පරාර්ථකාමී චේතනා ඇති කරගෙන ප්‍රයෝජනයක් අත්වන අන්දමටය.

බුදු, පසේ බුදු, මහරහත් ආදී සිල්වත් උතුමන්ට දෙන දානයෙහි ආනිසංස වැඩියයි විපාක වැඩි යයි බුද්ධ ධර්මයේ උගන්වති. මේ සදහා බොහෝ උදාහරණ උපුටා දැක්විය හැකිය. උන්වහන්සේලා ලබන දානය මෛත්‍රී පූර්වකව ම ලබන නිසාත් පිරිසිදු සිතින්ම පිළිගන්නා නිසාත් දානය දෙන අය කෙරේ කරුණාවෙන්ම එය ලබන නිසාත් මහත්ඵල මහානිසංස ලැබෙයි.

ලෝක මානයට දෙන දානය මගින් ආනිසංස ලැබිය නොහැකිය. තෘෂ්ණාව ප්‍රහීන කිරීමක් එයින් අපේක්ෂා නොකරන හෙයිනි. එහි පරමාර්ථය අන්‍යයකුගේ හිත සුව සැලසීම යහපත් කරන හෙයිනි. එහි පරමාර්ථය තමන් දානයක් දුන්නේ යැයි යන ප්‍රශංසාව ලැබීමය. ඒ ආකාර දානයක් දෙන්නකු කරගන්නේ ලාභයක් නොව පාඩුවකි. ඒ සදහා අතිශය වෙහෙස මහන්සියක් දැරීම අනික් පාඩුවය. මෙවැනි දානයක් දීමෙන් කුසල් වෙනුවට අකුසල්ම රැස් වන්නට ඉඩ තිබේ.

නොකළොත් දොස් අහන්නට වේද යන ලෝකාපවාදයට බයේ දන් දෙන්නෝද සිටිති. මිය පරලොව ගිය මව්පියාදීන් ඇතුළු අය වෙනුවෙන් දානමාන කටයුතු වල සමහර දූ දරුවන් වටපිටා අයගේ දෝෂාරෝපණ වලට බයේ දානමාන කටයුතු කරති. එතැන ඇත්තේද ආශාව, තෘෂ්ණාව, ඇලීම, දෙදරවාහරින චිත්තා කල්පයක් ඇති කරවන දීමනාවක් නොවේ. කිසියම් වංචා සහගත ආකල්පයකි.

තෝර තෝරා දානය දෙන උදවියද අනන්තවත් අප අතර සිටිති. දන් දෙන්නට තෝරන්නේ දන් ලැබීමට සුදුස්සන් නොවේ. කිසියම් ආකාර සම්බන්ධකමක් තමන් සමග ඇති කෙනෙකුට දානයක් දෙනු මිස තමන් සමග කිට්ටු සම්බන්ධකම් නැති අයට දන් දෙන්නට සමහරු කැමති නැත. මෙවැනි අය තමන්ගේ කුලයේ නොවන අයට දන් දීමට මැලිවෙති. තමන්ගේ ජාතියේ නොවේ නම් දානයක් දීමට අදිමදි කරති. වැඩි හිතවත්කමක් නොතිබේනම් එවැනි කෙනෙකුට දීමෙන්ද වැළකෙති. මේ ආකාරයට දානය දෙන්නේ අගතියෙන් පිරුණු සිතකිනි. අගතියෙන් බර හිතක ඇති තෘෂ්ණාව බැදීම ඇලීම ප්‍රහීන කිරීමේ ශක්තිය මෙවැනි දීමකින් කළ නොහැකිය.

හොදට කන්නට බොන්නට තියෙන කෙනෙකුට කන්න දීමෙන්වත්, ඇදුම් පැළදුම් දීමෙන්වත්, මුදල් හදල් ඇති කෙනෙකුට ඒවා පරිත්‍යාග කිරීමෙන්වත් කුසල් ලැබීමට බැරිය. ඇති අයෙකුට දෙන කෙනෙක් වෙතොත් ඒ අන්‍ය ප්‍රතිලාභයක් අපේක්ෂාවෙනි.

ඕනෑම දෙයක් දානමය චේතනාවෙන් හෝ පරිත්‍යාග චේතනාවෙන් දෙන විට ඒ දෙන ඕනෑම දෙය කෙරේ එතෙක් තමන් තුළ තිබුණු සියලු අයිතිවාසිකම් අහෝසි කොට ඒ පිළිබද ආධිපත්‍යයෙන් ඉවත් විය යුතුය. ආශා නැමැති බැම්ම ලිහා හැරිය යුතුය. පරලොව සදහා පින් රැස් වන්නේ එවිටයි.

 

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *