දළදා පුරාවත

දළදා පුරාවත

ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට සමස්ථ ලෝ වැසි බෞද්ධ අබෞද්ධ ජනයා ගෞරව දක්වන්නේ අනුපමේය බැතියෙනි. ඒ උන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය කෙරේ නැඹුරුවත්ම දෘෂ්‍යාමාන වන ගැඹුර නිසාය. එලෙසටම ගරු සැලකිලි වල කිසිම අඩුවක් නොමැතිව ඉහළ ගෞරවාදරයට පත්වන වස්තුවකි. දළදා වහන්සේ බුදු රජාණන් වහන්සේගේ මුඛයෙන් දේශනා කළ වදාළ ඉමහත් ගැඹුරු දර්ශනයකින් යුත් සුවාසූදහසක් ධර්මස්කන්ධය ස්පර්ශ වූ නිසා මෙකී දළදා වහන්සේ ජීවන බුදු රජාණන් වහන්සේ හා සමානව සැලකීමට බෞද්ධයෝ පුරුදුව සිටිති.

ක්‍රි.ව. 362 දී මේ දළදා වහන්සේ ලංකාවට වැඩම කළ පසු මෙරට තුළ බුදු දහම තව තවත් ප්‍රභාවිත වන්නට විය. ඒ හේතුවෙන් දළදා වහන්සේ මුල් කරගෙන විශාල සංස්කෘතියක් ගොඩනැගෙන්නට වූයේ ඉතා ඉහළ අන්දිමිනි. දළදා වහන්සේ මුල් වූ මෙරට ඉතිහාසයට වඩා ඉපැරණි ඉතිහාසයක් දඹදිව සදහන්ව ඇත.

එදා බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව මල්ල රජ දරුවන්ගේ උයනේදී ආදාහන උත්සවය සිදු විය. ඊට පසු දින මෙකී රජවරුන් හා ද්‍රෝන නම් බමුණා  ආදාහනයෙන් අනතුරුව ශේෂ වූ සම්බුද්ධ ධාතූන් වහන්සේලා එක් එක් අයට බෙදූ බව කියවේ. එහිදී එක් දළදාවක් ශක්‍රයා විසින්ද තවත් එක් දළදාවක් ගන්ධාර දේශයේ රජු විසින්ද ලබා ගෙන පූජා සත්කාර කර ඇත. වාම දන්ත ධාතූන් වහන්සේ ලබා ගත් ඛේම නම් රහතන් වහන්සේ ක්‍රි.පූ. 483 දී කළිගු රට බ්‍රහ්ම දත්ත රජු වෙත එය පිරිනැමුවේය. අනතුරුව එකී ධාතූන් වහන්සේ ගුහසීම රජු සමයේ රාජ්‍ය පුද සත්කාර දන්ත කුමරු නැමැත්තා විසින් වෙසෙසින් සිදු කර රැක බලාගෙන ඇත.

රජුට එල්ල වුණු සතුරු උවදුරු නිසා දළදා හිමියෝ ආරක්ෂාව පතා ගුහසීව රජු දන්ත කුමරුට හා සිය දියණිය වූ හේමමාලා කුමරියට දළදාව සිරිලකට ගෙන යන ලෙසට උපදෙස් දී තිබේ. රාජකීය ස්වරූපය වෙනස් කර වෙස් වලා ගත් මේ දෙදෙනා හේමමාලා කුමරියගේ සුනිල කේශ කලාපයෙහි දන්ත ධාතුව සගවා ගෙන ලංකාව බලා නැව් නැග ඇත.

මහ මුහුද මැදදී ශ්‍රී දළදා වහන්සේ අහසට පැන නැගී ප්‍රාතිහාර්‍ය පෑ බව දළදා වංශය ගැන කියවෙන උසස් සාහිත්‍ය ග්‍රන්ථයක් වන දාඨා වංශයේ විස්තර වෙයි. මෙබදු වූ දළදා වහන්සේ රැගත් මේ පිරිස අනුරාධපුරයට පැමිණ මේඝගිරි විහාරයට ගොස් එහි විසූ මහ තෙරුන්ට සියලු පුවත් සැලකළේය. ඉන්පසු එවකට ලංකාද්වීපය රජ කරවූ කිත්සිරි මෙවන් රජුට දළදා හිමි භාර කරන ලදී. ධම්මචක්ක ධාතු මන්දිරයෙහි දළදා හිමි තැන්පත් කර රජතුමා එදා සිට මහත් සත්කාර කළේය.

අනතුරුව මෙරට රජ පැමිණි සියලු රජවරුන් විසින් පිළිවෙත් නොසිද ඉමහත් ගෞරවාදරයෙන් දළදා වහන්සේට පුද පුජා පවත්වා ඇත. මේ අතර ක්‍රි.ව. 640 දී සිදු වූ තවත් සුවිශේෂ සිදුවීමක් සදහනි. එය උපතිස්ස රජු දවසය. දළදා වහන්සේ සරසවා කරඩුවක තබා ඇතු පිටින් නගරය පුරා පෙරහරින් වැඩමවද්දී කාලයක් තිස්සේ පැවති මහ නියගය හමාර කොට මහ වැසි ඇද හැළුණු බව කියවූ. චූල වංශය මේ සිදු වීම ඉතා මැනවින් විස්තර කරයි. කිත්සිරි මෙවන් රජු දවස සිට සිව්වන මිහිදු හිමි දක්වා මෙපරිද්දෙන් වසර 701ක් අපමණ ගෞරව පුදහාර ලබමින් දළදා හිමි අනුරාධපුර රාජධානියෙහි වැඩ වාසය කළහ.

රටේ ආරක්ෂා තත්වය අයහපත් වීමත් සමග අගනුවර අනුරාධපුරයෙන් පොළොන්නරුවට සංක්‍රමණය විය. මේ හේතුව නිසා දළදා සමිදුට පොළොන්නරුව රාජධානිය ආරක්ෂිත ස්ථානය බවට පත් වූයේය. වසර 150ක් පමණ පොළොන්නරුවේ වැඩ වාසය කළ දළදා හිමිට කාලිංග මාගගේ ආක්‍රමණය එල්ල වත්ම යළි ආරක්ෂාවට තර්ජන එල්ල විය. එවිට වාචිසසර නම් වූ හිමි නමක් රැකවරණය සදහා දළදා හිමිද රැගෙන කොත්මලේ ප්‍රදේශයට පලා ගොස් අප්‍රකට අයුරින් එහි සගවා තිබුණි. මේ පරිද්දෙන් දශක දෙකක කාලයක් පුරා කිසිම තොරතුරක් නොමැතිව අප්‍රසිද්ධව විසූ දළදා වහන්සේ ක්‍රි.ව.1220 දී රජ පැමිණි වත් හිමි විජයභා බෙලිගල නම් ස්ථානයෙහි දළදා මැදුරක් කරවා එයට වැඩමවා එහි වඩා හිදවා ඇත. මෙපරිද්දෙන් සතුරු උවදුරු නිසා රාජධානි යාපහුව, කුරුණෑගල, කෝට්ටේ යන ස්ථාන කරා ගමන් කරද්දී දළදා වහන්සේද ඒ අනුව වැඩ වාසය කොට දෙල්ගමුවටද පැමිණියේය. අවසානයේ අදත් වැඩ සිටින රාජධානියට වැඩම කොට ඇත.

එදා ලංකාවේ රාජ්‍යත්වයට උරුම කියන විට දළදා වහන්සේගේ ආරක්ෂකයා වීම සුවිශේෂී සුදුසුකම් විය. මේ නිසා ඉතා මැනවින් දළදා හිමි ඍඅක ගනිමින් පුද සත්කාර නොපිරි හෙළා ඉටුකරමින් ආරක්ෂා කළ බව ධාඨාවංශය නම් ග්‍රන්ථයෙන් පැහැදිලි වේ.

මහනුවර රාජධානියේ ආරම්භකයා වූ පළමුවන විමලධර්මසූරිය රජු අද පවතින දළදා මැදුර අසල ඉදි කළ මැදුරක දළදාව තැන්පත් කළේය, ඉන් අනතුරුව දෙවැනි විමලධර්මසූරිය, නරේන්ද්‍රසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ නරපතියන් විවිධ අවස්ථාවල දළදා මැදුරේ නව ප්‍රතිසංස්කරණ රාශියක් අද තිබෙන ගෞරවනීය ශ්‍රද්ධාසම්පන්න ආකාරයෙන් දළදා මැදුර ලෙසට නිම වී තිබේ. දළදා වහන්සේ මෙතරම් චිරාත්කාලයක් කිසිම අනතුරක් නොමැතිව අප රටේ වැඩ වාසය කරන්නේ එදා සිටි සිංහල නරපතියන්ගේ දුර දක්නා නුවණ හා අප්‍රතිහත ධෛර්යය නිසාය. ඉතා බැරෑරුම් අවස්ථා කිහිපයකදී සතුරු ආක්‍රමණ එල්ල වුවද ඒ සියල්ල යටපත් වූයේ සිරි දළදා හිමිගේ හාස්කමකට විය යුතුය. මේ සා උතුම් වූ දළදා හිමියන් වටා ගොඩනැගුණු ඓතිහාසික වටිනාකම, සාහිත්‍ය වංශය, පුද පූජා විධි, භාරකාර නිළධාරී මණ්ඩල ශ්‍රේෂ්ඨත්වයෙන් අනූනව අද දක්වාම පවතී. හෙටත් එලෙසම පවතිනු ඇත.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *