” අනේ බෝසත්තුමණි, මට මේ භවයේම නිවන් දකින්නට ඇත්නම්… මගේ මේ ලෙඩ ටික සුව වුණානම්….. බණ භාවනාවක් කරගෙන මේ දහ දුකින් මිදෙන්න….”
ඒ උපාසක උපාසිකාවෝ දොඩන පුරසාරමයි. හදිසියේ පන්සලට, අසපුවට ගමන් කරන සිතේ සමාධියක් තියා එක ඉරියව්වකින් විනඩි දහයක්වත් හිද ගෙන අරමුණක සිත පිහිටුවා ගන්නටවත් නොහැකි තරමේ කඩි කුලප්පුවක පැටලී සිටින්නන් කෙසේ නම් මෛත්‍රියේ ආනුභාවය ලබන්නද? බුද්ධ ශක්තියක විශ්වමය බලය කෙසේනම් අවදි කරමින් තම ජීවිතයේ ශක්තියක් කරගන්නේද? පාද දෙකෙහි දැඩි තුවාලයකින් පීඩා විදි “සුප්‍රියාට” දිනක් බුදුන් වහන්සේ අතරමගදී මුණ ගැසීමේදී ඇති වූ මහා ගෞරවය මුසු වූ භක්තිය, මුසු වූ ශ්‍රද්ධාව, මුසු වූ මෛත්‍රී සිත තුළට බුදුන් වහන්සේගේ මෛත්‍රියෙහි බලය නිරායාසයෙන් ඇද ගන්නා ලදී. එකෙනෙහිම සුප්රියාගේ තුවාලය සුව වී ඇය කර්ම දෝෂයෙන්ද මිදී ඇත. ඒ මෛත්‍රියේ බලයෙනි. එහෙත් අද මෛත්‍රිය යන්න වඩන්නේ කොයිතරම් නම් වැරදි ක්‍රමවේදයක් ලෙසද? සංවර ශීලයෙන් හික්මී නිස්සරනද්යාසයෙන්ම රහත් බෝධිය ප්‍රාර්ථනා කරමින් කසාවත දරන භික්ෂූන් වහන්සේලාට අප ඉහතින් සදහන් කළ මෛත්‍රිය තිබුණානම්… අද ද ධ්‍යානලාභී, මාර්ගඵලලාභී නියම සංඝ පරපුරක් අපට හිමිවනවාමයි. ඒ සියල්ලෝගේම කර්මයයි.
පල් හොරුන්, ඔබගේ අත් පා ඉරණ කියතකින් කපා කොටා දැමුවොත් ඔබ තුළ වෛරයක් ජනිත වේන් ඔබ මගේ සසුනේ නියම භික්ෂුවක් නොවේ. ඒ බුදුන් වහන්සේ තම සසුනේ පැවිදි වන අයගෙන් ඉල්ලූ මෛත්‍රියේ ප්‍රමාණයයි. සිතන්න, ඒ මෛත්‍රිය ඇති කීප දෙනෙකුවත් සොයා ගන්නට හැකිදැයි කියා…
තෙත පොළව කැපෙන විට පසේ සිටින පණුවන් පවා කැපී කෙටී යා හැකි බැවින් පොළව කැනීමේ දී පවා ආරක්ෂා වීම භික්ෂූන්ගෙන් අපේක්ෂා කරන මෛත්‍රියේ අංගයකි. එවන් ආකාරයක බරපතල ඉවසීමේ, මෙල්ල වීමේ සිතක් ඇති කර ගැනීම දුෂ්කර වුවත් එසේ ඇති කර ගැනීමට නොහැකි නම්… නිවන ලබා ගැනීම, පිං සිත අවධි කර ගැනීම තවත් දුෂ්කර කටයුත්තකි. “යුධ බිමට වන් හස්ථියෙකු දුනු හී තළ පහර කා ගෙන ඉදිරියට ඇදෙන්නා පරිද්දෙන් මාද ආශීලාචාර සමාජය හමුවේ නින්දා අපහාස ඉවසමින් ඇදෙන්නෙමි.” ඒ බුදුන් වහන්සේගේ වචනයයි. සියළු බෝසත්වරුද ඒ වචනයම අනුගමනය කරයි. රහත් මග පතන සියල්ලන්ද අනුගමනය කළ යුත්තේද එයයි.
මෙත් සිත් ඇති උතුම් පිරිසක් මුළු ලොවම සිටියා නම්, කොතරම් සුන්දරද? මුළු ලොව තුළ එවැනි උදාරතර ගුණයන් බලාපොරොත්තු වනවාට වඩා අප අප තුළම ඒ උදාරතර ගුණය කැටි කර ගතහොත් කොතරම් අගේද? අප උත්සාහ කළ යුත්තේද එයයි.