මිනිසා වූ කළී විශ්වයේ අපූරුම නිර්මාණයකි. එසේත් නැත්නම් විශ්වයේ මුළු රහසම සැගවී ඇති දත්ත ගබඩාවම මිනිසා වන්නේය. විටෙක භයංකාර කැළයක් පරිද්දෙන් තවත් විටක හුදකලා වූ ගස් සෙවණක පවතින සුලලිත බවද කැටි කරගත් මනසකින් යුතු මිනිසාගේ මේ ද්විත්ව සංකලනය එක්කෝ සමාජමය කාබාසිනියා කර දමන්නට තරම් ප්‍රබල බලවේගයක් වීම හෝ සමාජ උන්නතියේ ප්‍රබල සාධකයක් විය හැකිය. සංකීර්ණ කයක් හා ඊටත් වඩා සංකීර්ණ වූ සිතක් සමග බද්ධව සදාචාරය වූ අවිචාරය සමග මුසු වූ යන්ත්‍රයක් පරිද්දෙන් සියල්ලෙහි නිර්මාණකරුවා වී තිබෙන්නේ අපූර්ව ආකාරයකිනි. පළමුව තමන් තුළ ස්වභාව දහම නිර්මාණය කරගත් මිනිසා අධ්‍යාත්මය තුළ විශ්වය නිර්මාණය කරගෙන තිබෙන්නේ ඉතා සුවිශේෂී හැකියාවකිනි. මිනිසා වනාහි ස්වභාව දහමේ පදාර්ථමය ගුණය වෙනස් කරමින් නිර්මාණයේ හිනිපෙත්තට නගින්නට සමර්ථ කරුවෙක් මෙන්ම මිනිසා වනාහි අධ්‍යාත්මය තුළ මනුෂ්‍යයන්, දෙවියන්, බ්‍රහ්මයන් නිර්මාණය කිරීමේ උතුම් කාර්යයේද විශ්ව කාර්මිකයාම වන්නේය. එමෙන්ම මේ මිනිසාටම සත්වයෙකු, නිරිසත්වයෙකු, අපාසත්වයකු නිර්මාණය කර ගැනීමටද හැකියාව ඇත්තේය. යම් හෙයකින් සත්වයකු, අපාසත්වයකු, නිරිසත්වයකු නිර්මාණය කර ගැනීමේ දුර්ගුණයෙන් මිදී මිනිසාට, මිනිසා තුළ දෙවියෙකු, බ්‍රහ්මයෙකු නිර්මාණය කරගත හැකිනම් එය සාධුචර්යාවයි. මේ සාධුචර්යාව නොහොදින් “හොද” මතු කරවන, අවැඩින් “වැඩ”දායක බව මතුවන වෛරයෙන් අවෛරය මතුවන ප්‍රබල ක්‍රියාකාරිත්වයකි.
මැණික් පතළක පස්, මඩ, බොරදිය ඉවත් කරමින් මැණික් සොයන්නා, තමන් ඉවත් කරන්නා වූ පස් ප්‍රමාණය ගැන කිසිදා නොසොයන්නේය. මැණික් පිහිටන ඉල්ලම නැමැති පස සොයාගන්නා තෙක් ඔහුගේ ක්‍රියාව පස්, මඩ ඉවත් කිරීම පමණකි.ඉල්ලම සෝදා පවිත්‍ර කරගත් පසු ඉතිරි වන්නේද ගල්, බොරළු, වැලි වලින් සමන්විත මිශ්‍රණයකි. එයට ඔවුන් “නාම්බුව” යැයි කියති. මේ නාම්බුවද හොදින් පිරික්සා නුවමනා ගල් බොරළු ඉවත් කර ඉතා සීරුවෙන් මැණික් සොයයි. ඒ අතර පුංචි පුංචි වටිනාකම් ඇති ගල් වර්ගද එකතු කරගනියි. ඒ අයුරින්ම මිනිසා නැමති මේ සත්වයාද තමන් ළග ඒ වටිනා සම්පත අවදි කරගන්නට නම් තමන් ලග ඇති වැඩකට නැති පස්,මඩ සෝදා හැරිය යුතුමය. සාධුචර්යාව නම් වූයේ එයයි.මඩ සෝදන්නට පිරිසිදු ජලය තිබිය යුතුය. රොඩු, කුණු පාකර හැරිය යුතුය.මේ ඉල්ලම සෝදද්දී ලොකු පලක් නොවන ගල් බොරළු ඉවත් කර හැරිය යුතුය. ඒ සදහා මනා සංයමයක් තිබිය යුතුය. එවිට ගැරුම් වට්ටියේ වටිනා දේ තැන්පත් වේ. ඒ අකාරයෙන්ම මිනිස් සිත තුළ පවතින නුවමනා දේ ඉවත් කරන විට වටිනා මැණික් මතු වේ.ඒ සදහා සාධුචර්යාව ප්‍රගුණ කළ යුතුය.
කුමක්ද මේ සාධු චර්යාව…
ද්වේශයෙන් ඉවත් වීම නැමති සත් ගුණය වූ මෙත්තාවත් පාපීත්වයෙන් ඉවත් වීම නැමති සත් ගුණය වූ කරුණාවත් ඊර්ෂ්‍යාවෙන් ඉවත් වීම නැමති සත් ගුණය වූ මුදිතාවත් සමබරතාවයෙන් මිදී ප්‍රිය හෝ අප්‍රිය දේ සමග ව්‍යාපාදයේ ගැලීමෙන් ඉවත් වීම නැමති සත්ගුණය වූ උපේක්ෂාවත් මේ සාධු චර්යාවයි.
මේ උතුම් ගුණාංගයන් සිත තුළ වඩන්නට තරම් අධිෂ්ඨානයක්, වීර්යයක් ඇත්තා සත්‍ය ලෙසම උත්තමයෙකි.දුප්පත්, පොහොසත් භේදයකින් තොරව ගොඩනැගිය හැකි මෙන්ම එක් තැනකට සීමා නොවී මුළු මහත් විශ්වය තුළම පැතිරිය හැකි මහා ගුණාංග සමුදායකි. කෙලෙස් වලින් බර වූ සිත පිං සිතක් බවට පත් කරගන්නට පළමුව සේදිය යුතු දියරය මෛත්‍රියයි. එනම් මෙත්තාවයි. පුද්ගලයා නැමති කෙලෙස් මළකඩ, කසල කුණු ගොඩ සෝදන්නට මෙත්තාවත්, කරුණාව තුළින් බර කැට කැබලිති ඉවත් කර ගැනීමටත් මුදිතාව තුළින් නුවමනා ගල් බොරළු ඉවත් කර ගැනීමටත් උපේක්ෂාව තුළින් විනිවිද බැලීමටත් හැකිනම් වටිනා ලස්සන මැණිකක් නම් වූ පිං සිත මිනිසා ළග මතු වන්නේමය.