බෝසත් පාරමිතාවක ඇතුලත පිටත

බෝසත් පාරමිතාවක ඇතුලත පිටත

බුද්ධොහං බොධයිස්සාමි

මුත්තෝහං මෝචයේ පරේ

තිණ්ණෝහං තාරයිස්සාමි

සංසාරෝගා මහබ්භයා

මම ධර්මය අවබෝධ කොට ලෝකයාටත් ඒ ධර්මය අවබෝධ කරවන්නෙමි. මම සංසාරික දුකින් මිදී ලෝක සත්වයා ද සංසාරික දුකින් මුදවන්නෙමි. මේ භයානක සංසාර සාගරය තරණය කොට ලෝක සත්වයාද සසර සයුරින් තරණය කරවන්නෙමි.

ආත්ම භාවයෙන් ආත්ම භාවය 31 තලයක ඉපදිය හැකි භූමි හඹා යමින් සසර පුරා නොයෙක් දුක්ඛ දෝමනස්ස තම සිත මත දරාගනිමින් පුරනා පාරමී ගොන්න පුරන්නට මහ පොළොව දෙබෑ කරගනිමින් මේ කොනේ සිට අනික් කොනට යන්නට තරම් අධිෂ්ඨාන හිතක් ඇති උත්තමයෙකුට හැර කා හට කරන්නට හැකි වේවිද?

ඒ උතුම් වූ මග මහා වීර්යයක ප්‍රතිඵලය, දිනක ලොවට බුදුවරයෙකු බිහි කරන්නේ පාරමී මග තුළ තමන් වටා සිටි නොවෙනස්ව දුක සැප බෙදාගත් දහමෙහි අරුත අවබෝධ කරගත් ප්‍රමාණයෙන්, බෝසත් හු දෙසනා විට ලබාගත් ඥාණයෙන් පිරිපුන් කළණ මිතුරන් හා පාරමී මග වල කැපූ, පීඩා ලබාදුන්නා වූ, අපහාස, අගරු කළා වූ දුෂ්ඨගාමියෝද එක්‍ රැස් වන ලෝකයක මය. එදින ඇසූ දහමින් පිල්ලකින්, අකුරකින්, වචනයකින්, පේලියකින්, ගාථාවකින්, සූත්‍රයකින් දහම තේරුම් ගන්නා කළණ මිතුරෝ සියලු කෙලෙස් මතු කරමින් ප්‍රාර්ථනා බෝධිය සඵල කරගන්නවා මෙන්ම වල කැපුවෝ, බාධා කරවූවෝ, අපහාස, අගරු කළාවූවෝ. දෙව්දත්තලා, චිංචිමානවිකාවලා, සුප්ප බුද්ධලා මෙන් අපාගත වන්නේද? කියන වචනයකින්, පේලියකින්, වාක්‍යයකින් හෝ  සසර පින නිමවන තෙක්ම සිදුකරන අපහාස රචනාවකින් මය.

දාන, ශීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්යය, ක්ෂාන්තිය, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා, පාරමිතාංගයන් තුන් අයුරකින් තිස් ආකාරයකට පුරාගත් මහා සංසාර උරුමක්කාරකමක් තුළ බුදු පසේ බුදු මහ රහතුන්ගේ ජීවමාන දහම් පහස තුළ කැටිකරගත් නොනිවෙන ඒකාත්මිකතාව බෝසත්වරුයෙකුගේ ගමන් මග මහා අන්ධකාරයෙන් පිරුණත් ප්‍රඥාවේ ආලෝකය විහිදා තම මග එලිය කරගන්නට සමත් වන්නේ වළාවකින් වැසුනු චන්ද්‍රයා මොහොතකින් ලොව එළිය කරන්නාක් මෙනි.

නිවන් සුවය අතළග දකිමින් ලොව්තුරා සම්බෝධිය තම සිත තුළ නොවෙනස්වන ලෙස තැන්පත් කරගන්නා වූ ප්‍රාර්ථනාවෙන් බුදුරුවනක් ජීවමාන ව තමන්ගේ මහ විවරණ සම්පත්තියක් පූජාකරන අවස්ථාව දක්වා ගමන් කරන ප්‍රාර්ථනා ගමන් මග අනේක දුක්ඛ දෝමනස්සයන් විදිද්දී මහ පොළව කම්පා වන තරමට, අහස දෙබෑ වන තරමටම, සක්වල ගල සෙලවෙන තරමටම තම සිත තුළ ඇති කරගත් බුදු වනවාය යන හැගීම කිසිවිටක රහසිනුදු වෙනස් නොවන්නකි.තමන් වටා සිටින, තමන් එකතු කරගත් කළණ මිතුරු මිතුරියන් තමන් වෙනුවෙන් පීඩා ලබා දෙද්දී අනේ… මේ මිනිසුන් කවදාක හෝ මේ මෝහයෙන් මුදවන්නෙම් ය යන අධිෂ්ඨානයෙන් සියලු පීඩා ඉවසද්දී මහා කරුණාවකින් ඒ හැමකක්ම දකිද්දී එය එසේ නොවුනානම් පීඩා කරන්නවුන්, බාධා කරන්නවුන් එවෙලේ මහ පොළව දෙබෑ කරගන්නටම හේතු විය යුතුය.එය ඒ බැව් දනිමින්ම රෑ දිවා සියලු සත්වයින්ම දුකින් මිදවීමේ මහා උත්සාහයක්, ලොවෙහි සියලු සත්‍ය පමණක් නොව මුලු මහත් විශ්වයම දිනෙක තමන් මොලවා ගත් මිටට ගන්නේය යන අධිෂ්ඨානයක් මගින් සසර පාරමිතා ගොන්න නොපිරිහෙලා පුරන්නෙම් ය. යශෝධරාව, අනේපිඩු සිටාණන්ලා, ධම්මික උපාසකයන්, ඛේමලා, උත්පලවණ්ණලා මෙන්ම සැරියුත් මුගලන්ලා ආනන්දලා බුදු සබයට වැද ගත්තේ බෝසත් ගමන් මගේ ආනුභාවනීයමය කුසලයෙන්මය. ඒ අතර චිංචි මානවිකාවන්ලා, මාගන්ධියන්ලා, සුන්දරීලා බිහි වුනේද පාරමී පුරණ බෝසත් වරයන්ගේ ගමන් මග අවබෝධ කරගෙනම රාගයේ, මෝහයේ, තෘෂ්ණාවේ, ක්‍රෝධයේ ගිනිදැල් අව්ලුවාගත් නිසාමය. මෝහයෙන් මිදුනා නම්… ඇතැම්විට යශෝධරාවන් තරමටම පින් කන්දක් සසර පින තුළ එක් වන්නටද අවස්ථාව තිබුණේමය.මෝහයෙන් මිදුණානම් දේවදත්තටද අංගුලිමාල මෙන් සසර නිම කරන්නටද ඉඩ තිබිණි.එහෙත් මේ මෝහයේ කඩතුරාව… කවදා බෝසත් මග බුදු වරයෙක් දකින්නද?

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *