සිතූ දේ නොම වේ නොසිතූ දෙයක් වෙයි – කර්මය පලදෙනවා…

සිතූ දේ නොම වේ නොසිතූ දෙයක් වෙයි - කර්මය පලදෙනවා...

සිතේ ගොන්නක් අපේක්ෂාවෙන් පිරී ඇත. ඉටුකරගන්නට මහත් වෙර වෑයමක් දරන්නට ද සිදුවෙයි… විටෙක සිතිවිල්ලක …. මෙලොව වෘක්ෂයක් පරලොව වෘක්ෂයක් සමග ගැට ගසන්නට තරම්… කුමක් නිසාද? …. තණ්හාව… ආශාව…. පොදි බැදගත් බලාපොරොත්තු… නොදැන …. ඒත් නොසිතාම ඇද වැටෙන නරාවලක්… අවසානයේ අවීචියක සතර අපායක… කොහොමද පාර කපා ගත්තේ… පසිදුරන් පිනවීමට සිත මෙහෙයවීමෙන් ම බව ඔඅබටද හොදින් අවබෝධ වේවි… නිදහසේ කියවන්න. වරක් දෙවරක්ම.

පුංචි කුසලයකට අසීරුවෙන් ලබාගත් මනුෂ්‍ය භවය පසුපස මහා අකුසලයක් කර තබා ගෙන පැමිණි ඇති ගමන් මග දී ඒ අකුසල් පොදිය ලිහාගන්නට තරම් උත්සාහ කරන මිනිස් සිත්, ඒ තුළ තිබෙන්නේ කුමක්දැයි සිතන්නටත් පෙරම කුසලය නැමති අඩය ඉවත් කරගනිමින් අකුසලය නැමති පර්වතය ම තමන් මතට පෙරලා ගනී. නිමක් නැති සංසාර ගමන් මග තුළදී නොයෙක් නොයෙක් ප්‍රතිසන්ධී භවයන් හි ඇතිකරගත් අවේගයන්හි ඵලය මෙම ප්‍රතිසන්ධි භවය දක්වාම ගෙනැවිත් එය ලිහා ගැනීමට, එය අවධි කර ගැනීමට කෙසේ හෝ උත්සාහ ගනිද්දී ජීවිතයේ නියම යථාර්තය අවබෝධ කොට නොගනිමින් සැපය සොයා යන මිනිසා සොයා යන්නේ සෙවිය යුතු නියම සැපයද එසේත් නැතිනම් මෝහයට පත් වූ පුද්ගලයා තුළ ඇතිවන අපේක්ෂාවෙහි මිරිගුව ද යන්න සැලකීමෙන් ම සෙවිය යුතුය. කෙනෙක් රසමසුවුළු බුදින්නට පර පණ නසද්දී තවකෙක් තමන්ගේ කොටස තර කර ගැන්මට අන් සැපය බිල්ලට දෙයි… ඒ පසිදුරන් පිනවීමටය. කෙනෙක් මුලාවේ දමමින්, අපහාසයෙන්, අවනම්බුවෙන්, මුසාවෙන්, තමන්ගේ ව්‍යාජත්වය වසා ගැනීමට හෝ ආත්ම අභිමානත්වය වෙනුවෙන් ඕනෑම සිතිවිල්ලක් ඇති කර ගැනීමටත් ක්‍රියාත්මක කර ගැනීමටත් උත්සාහ කරයි. බුදුන්වහන්සේගේ උතුම් දහම් මග ඔබ විසින් කෙසේ අනුගමනය කලත්, කෙසේ පිළිපැද්දත්, සසර අකුසලය තුළ ඔබගේ සිතිවිලි දහරාව ගමන් කරන ආකාරය පාලනය කර ගැනීමට නොහැකිනම්…. ඔබ මුලාවේ ම වෙයි. එනිසයි උන්වහන්සේ සදහන් කලේ… “මාගේ දහම ප්‍රඥාවන්තයින්ට පමණක් ය” යනුවෙන්, දුක සමග පොදි බදින සිතිවිල්ල අවසානයේ දුක්ඛිත අයුරින්ම නිමාවන බව දැනෙන්නේ ඒ දුක ලැබුන විටදීය. ඒ වනවිට සියල්ල සිදු වී හමාරය. “මම” ය “මගේ” ය යන හැගීම තුළ “මා” වෙතම ගොනු කරන්නට අපේක්ෂා කරන සියළු ක්‍රියාදාමයන් තුළ තිබෙන්නේ කුමක්ද? ඒ සිතිවිලි තුළ සසර බැදීම් ඇවිස්සෙන්නේ කෙසේ ද? සොයා බලමු. ඊට පළමුව මේ ගැන අවබෝධයක් ඇති කරගන්න. සත්වයින් උපදින යෝනි දාහතර ලක්ෂ අටදහස් හයසියයක් පමණ වෙයි. මේ සෑම අවස්ථාවකම ඕනෑම අයෙකු ඉපදී  සිටිය හැකිය. මෙලොව ඉපදෙන කිසිදු සත්වයකු ඒ ඒ සෑම ප්‍රතිසන්ධියක් ම සෑම  ප්‍රතිසන්ධි යෝනියකම ඉපදී තිබේ.හූනෙක්, ගෙම්බෙක්, හරකෙක්, මිනිසෙක්, දෙවියෙක්, බඹුවෙක්, නොවුන කිසිදු සත්වයකු නැති තරම් ය.අප අවට සිටින මිනිසුන්   ගත්තත් මවකට පියකු නොවූ සහෝදරියකට සහෝදරයෙකු නොවුන කිසිදු සත්වයකු නැති තරම්‍ ය.අප අවට සිටින මිනිසුන් ගත්තත් මවකට පියකු නොවූ සහෝදරියකට සහෝදරයෙකු නොවූ මිනිසෙකුට ඇඹනියක් නොවූ කෙනෙකු සොයා ගැනීමට නොහැකි වනවා සේම සෑම සත්ව ප්‍රතිසන්ධියක්ම සෑම මිනිසකුටම උරුම වී ඇත්නම්… හා සෑම මිනිසකුම මරණින් මතු ඕනෑම සත්ව ප්‍රතිසන්ධියක් ගත හැකි බව ද සත්‍ය නම්… අවට සිටින මිනිස් සත්වයින් මෙන්ම සෑම සත්ව‍යකුම අප අපගේම සමීපතමයෝ ම වෙයි. නිවසේ සිටින බල්ලා  බළලා පවා අපගේම නෑ‍යෙකු විය හැකිය. ඇතැම් විට නිවසේ සිටින මිනිසා අවට තිරිසන් යෝනියක ඉපිද මිය ගොස් මිනිස් භවයක් ලබාගෙනද විය හැකිය. එසේ නම් පර පණ නසන්නේ මිනිසකුගේ හෝ වේවා ඒ පර ප්‍රතිසන්ධියේදී තමන්ගේම විය හැකිය.

එක් මස් මරන්නෙක් දිනක් තමාගේ අළුත ගෙනා මනමාලිය සමග රස මස් හොද්දක් කෑවේ තරුණ මුව නාම්බෙක් දඩයම් කර ගනිමිනි. එදා ඒ මස් හොද්දෙන් දවස ගෙවා සවස වැව් දියෙන් දිය නා ගෙට පැමිණි අළුත් අනංග දෙපල මසක් තුළ ප්‍රතිසන්ධියක් ලැබුවේය. දස මසක් ගත විය.පුතෙක් බිහි විය. දැන් මේ මස් වැද්දා පියෙකි. ඒත් දඩයම නම් අත් නොහැරියේය.කාලය ගත විය. දරුවාට දැන් අවුරුදු 10ක්  පමණ විය. දරුවා රෝගී විය.වෛද්‍ය මතය දරුවාට ලේ පිළිකාවක් බවය.එදා වෙඩි වැදි රුධිරය ගලමින් ජීවිතය බේර ගැනීමට කැලෑ රොදකට ඇදුනු මුව නාම්බා පරිද්දෙන්ම මේ දරුවාගේ ද සන්දි ඉදිමී ගොස්‍ ය. දිනෙන් දින රෝගය උත්සන්න විය. තමන්ගේ දෑත් මත අවසන් හුස්ම හෙළුවේ බාගෙට මරා කර තබා ගෙන ආ මුව නාම්බා පරිද්දෙන්මය. එදා වෙඩි තබා මස් කරගෙන කෑ සතාම තමාගේ බිරිදගේ කුස තුළ පිළිසිද ගනිමින් ඒ වේදනාව ම වෙඩික්කාරයාට ලැබෙන්නට සලස්වා තමන්ගේද අකුසලය ඒ මතම නිමා කළේ අපූරුවටය. පරපීඩාව, අන්සතු දේ ගැනීම, කාම මිච්ඡාචාරය, මුසාව කදිමට පෙන්වන බෞද්ධ කතාවක්ද එදා ජීවමාන බුදුන් වහන්සේ විසින් දේශනා කර තිබේ. කෙටියෙන් මෙසේය.

බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවෙසෙන අවස්ථාවේ සැවැත්නුවර මහා කාල නම් ශ්‍රද්ධාවන්ත සෝවාන් වූ උපාසක මහත්මයකු වාසය කලා. පොහොයක් ඇතුළත අටවතාවක් අටසිල් සමාදන් වී බුදුන් වහන්සේගෙන් එළිවන තුරු බණ ඇසීමට පුරුදුව සිටි මේ උපාසක තැන එසේ බණ අසා උදෑසනින්ම මුහුණ කට සේදීමට පොකුණට ගොස් මුහුණකට සෝදද්දී අසල ගෙයකින් සොරකම් කරන ලද භාණ්ඩ රැසක් රැගත් සොර මුලක් හිමිකරුවන් පසුපස පන්නද්දී පොකුණ දිශාවෙන් දිවූ සොරෙක් හොර බඩු උපාසක තැන ලගින් තබා දුවන්නට විය. හිමිකරුවන් පැමිණෙන විට භාණ්ඩ උපාසක ලග තිබෙනවා දැක සිල් ගන්නා ලෙස පැමිණ සොරකම් යනවාද කියා අසමින් ගල් මුල් වලින් ගසා මරණයට පත් කළේය. පසුව බුදුන්වහන්සේට මෙය සැලවිය. භික්ෂූන් වහන්සේලාට එය ප්‍රශ්නයක් විය. සෝවාන් වී  ඇති එවැනි අයකු ඒ වාගේම බණ දහම් පූර්ණ කරන සිල්වත් අයකු එලෙස පහර කා මරණයට පත්වන්නට හේතුව විමසන්නට විය. බුදුන් වහන්සේ එයට පිළිතුරු දෙන්නට විය.

අතීතයේ බරණැස් රජතුමාගේ රාජධානියේ එක්තරා කැලෑවක සොර මුලකින් ගම් වැසියන් ආරක්ෂා කර ගැනීමට රාජභටයින් යොදවා සිටියා.එක් ප්‍රධාන රාජ භටයෙක් එතනින් ගිය හැඩකාර කාන්තාවක් හා එම කාන්තාවගේ පුරුෂයා අශ්ව කරත්තය සමග බලෙන්ම නවත්වා ගත්තා.ඒ ආරක්ෂා දෙන මුවාවෙන්.හේතුව රෑ බෝ වී ඇති අවස්ථාවේ සොරමුලට අසු වේය කියා හගවමිනි.ඒත් රාජභටයාගේ සිත තුළ තිබුණේ වෙනත් අදහසකි.ඒ ලස්සන කාන්තාව අයිති කරගැනීමටය.එදා රාත්‍රියේ රාජ භටයාගේ නිවස දෙදෙනාගේ නවාතැන් පල විය.ගෙයි තිබූ මැණිකක් කරත්තයේ සගවා  ගෙයි තිබූ මැණිකක් සොරකම් කළා යැයි හගවා පුරුෂයා අත්ඩංගුවට ගත්තේය.රාජ භටයා ඒ පුරුෂයා මුලාදෑනියාට භාරදී  වදහිංසා කළේ ගැහැණියකට ඇතිකරගත් ආලය නිසයි.එහි විපාකය බුදුන් වහන්සේ මෙසේ විස්තර කළේය.ඒ රජ භටයා මරණින් මතු බොහෝ කාලයක් අවීචියේ දුක් විද ආත්ම භවයේදීද සෝවාන් වූවත් එසේම සිදු වූ බව ත් වදාළහ.

දැන් ඔබ සිතන්නේ කුමක්ද? ඔබට ඇතිවන දුක වේදනා සෑම ක්‍රියාදාමයකම ඔබම සිටී. ඔබගේ සියළු ක්‍රියාදාමයටම ඔබ හේතු වෙයි. දුක දුකින්ම කෙළවර වීමටත් සැපය සැපයකින්ම කෙළවර වීමටත් හේතු වන්නේ ඔබමය.එසේ නම් සිතන්න… ඔබගේ සිතීමේ කලාව වෙනස් වන තෙක් සසර කෙලෙස් යදමින් ඔබ බැදි බැදි වැලකිය නොහැකි බව.

මලක් පහනක් පූජා කළ පමණින් නිවන් දකින්නට උත්සාහ කරමින් සිත තුළ ඇතිකරගන්නා හැගීම් ජාලාව තුළ ඔබ පතන්නේ කුමක්ද? තවත් මිනිස් භවයක්ද? එය එසේම ලැබිය හැකි ය. ඒත්… කර්මයද ඒ පසුපසමය. පුංචි පුංචි පිං රැස් කර ගනිමින් ඉදහිට බණ පදයක් අසා එය කන වැකුණ පමණින් නිවන් දකින්නට තරම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඔබට තිබුණා නම් ඔබට මේ බණ එකක්වත් හෝ වුවමනා ද නැත.කළ යුතු එකම දෙයකි.ඒ පසුපස ම එලවන කර්මයට ඉඩ නොතබා නියම සැපය ලබා ගැනීමට වෙහෙසීමයි. දෙවියෙක් වුවත් බ්‍රහ්මයෙකු වුවත් කර්මය නිසි ලෙස නිසි වේලාවට ඉදිරියට එයි. කර්මයට හසුවන්නේ එක්කෝ “කය” යි. නැතිනම්  “සිත” යි. කයට දැනෙන්නේ සිතට දැනෙන නිසාවෙනි.බුද්ධත්වයට පත් වූවත් රහත් භාවයට පත් වූවත් “කය” කර්මයට හසුවෙයි.නමුත් ඒ උතුමන්ගේ සිත එයට වේදනා නොවිදියි. ඒ අල්ලා ගැනීමට සිත තුළ නිමිත්තක් නැති බැවිනි.

නමුත්… ඔබ තුළ… ගෙවනා විදිනා කර්මය තුළ ඇති වේදනාව…. තවත් කර්මයක් ම ලෙස ප්‍රතිසන්ධි සිතෙහි තැන්පත් වෙයි. ඒ උතුම් ආර්යය උත්තමයන් තුළ එවැනි ප්‍රතිසන්ධියට හේතු පාදක නැත්නම්….. නැවත විදීමක් ද නැත.එසේ නම් දුක් විදිමින් දුක් එකතු කරගන්නවාද? ….දුක් නොවිදිනා දුක් එකතු නොකරනා සදාකාලික සැපයක් ලබන්නට වෙර වෑයම් කරනවා ද?…

වෛද්‍ය සමන් කංකානම්ගෙ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *