සත්වයින්ට ඉපදිය හැකි තලයන් 31කි. මිනිස් ලෝක 1ක්, අපාය 4ක්, දිව්‍යලෝක 6ක්, රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් වෙයි. මින් දිව්‍ය ලෝක 6ක ඉපදිය හැකි දෙවියන් පිළිබදවයි මේ තොරතුරු.
උපතින්ම යස ඉසුරුද, සූක්ෂ්ම ශරීර වලින්ද මහා තේජසකින්ද, දිළිසෙන ශරීර වලින්ද, යුතුව පසිදුරන් සූක්ෂමව ක්‍රියාත්මක අවකාශයේ ආලෝක තරංග හා ශබ්ද තරංග සූක්ෂම ලෙස භාවිතා කරනා හෙයින්ද ඔවුන්ට දෙවියන් යැයි කියමු. ශරීර ස්වභාවයෙන් මිනිස් රුවට සමාන වුවත් සූක්ෂමය, තේජාන්විතය. පදාර්ථයෙහි(පඨවි,අපෝ,තේජෝ,වායු) ගුණය තද නැත. එබැවින් අල්ලා බැලිය නොහැකිය. ඔවුන් ඉපදෙන්නේද ඕපපාතිකවයි.
දෙවියෝ වර්ග දෙකකි. ආකාශයේ සිටින දෙවියන් හා භූමාටු දෙවියන් වශයෙනි. ආකාශස්ථ දෙවිවරු උසස් ගණයේ වෙයි. ඔවුන්ගේ වාසය දිව්‍ය තල 6න් 1ක් වෙයි. අධික රූපශ්‍රීයෙන් හා වස්තු ලාභයෙන් අග තැන්පත්ය. පරිවාර සේනා සහිතව යොදුන් ගණන් උස මහතින් සිටින්නෝය. බොහෝ කල් ආයුෂ ඇති මොවුන්ගේ එක දවසක් මනුෂ්‍ය ලෝකයේ අයට අවුරුදු 100ක් පමණ වෙයි.
භූම්‍යස්ථ දෙවිවරු පොළවට සමාන්තරව වාසය කරති. ගල්, ගස්, ලෙන්, ගේ දොර විමන් කරගෙන හැසිරෙන මොවුන්ට ආකාශ දෙවිවරුන්ට තරම් ආඪ්‍ය වූ සැපසම්පත් නැත. දිව්‍යමය ආයුෂ අඩුය. තේජස අඩුය. මිනිසුන් අතර සිටින ධනවත් අයට ඊර්ෂ්‍යා කරන දුප්පතුන් මෙන් ආකාශස්ථ දෙවිවරුන් සමග භූම්‍යස්ථ දෙවිවරු තෘෂ්ණා, ක්‍රෝධ ඇති කර ගනිති.
මෙම දෙවියන් අතර තවත් එක්තරා දේව කොටසක් සිටී. එනම් මිනිසත් ලෝකයේදී යම් ධර්මාවබෝධයක් ඇති වූ සමහරක් මිනිසුන් ජාති, ජරා, මරණ, දුක, දොම්නස සහිත මිනිසත් භවයක් සසරින් සසර මැරි මැරී ඉපදී ඇතැම් විට අපා ගත වීමෙන් අවබෝධ කර ගනිමින් දන්පිං කරමින් දුකින් ගැලවීමට අඩුම තරමේ බුදු බණ පදයක් ඇසීමට ප්‍රාර්ථනා කරමින් හිමාලාදී කැලෑබදව ගසක් විමනක් කරගෙන හෝ බුද්ධෝත්පාද කාලයක් පැමිණීම තෙක් සිටීමට ප්‍රාර්ථනා කර ගත් අයයි. මොවුන් කල්පාස්ථ දෙවිවරු වශයෙන් හදුන්වනු ලැබේ.
කෙසේ වෙතත් දේව වර්ගීකරණය තුළ වටිනාම වර්ගීකරණය ඔබ දන්නවාද? අපි ඇතැම් විට මිහිපිට සිටින දෙවිවරුන් ගැන, එනම් සැප සම්පත් ලබන අය දෙවිවරුන් ලෙස සලකමු. එහිද ඇත්තක් තිබේ.
මෙන්න වටිනාම වර්ගීකරණය:-
- උප්පත්ති දේව
- සම්මුති දේව
- විසුද්ධි දේව
- උප්පත්ති දේව නම් ඉහතින් සදහන් කළ ආකාශස්ථ, භූම්‍යස්ථ දෙවිවරුන් ය.
- සම්මුති දේව යනු මිනිස් ලොවදී දේවත්වයෙන් ගරු බුහුමන් ලබන මනුෂ්‍ය කොට්ඨාසයන් ය. රජවරු, යහපත් මව්පියවරු, වෛද්‍යවරු, අන් අයගේ ඇස් කන් පාදන ගුරුවරු හා කල්‍යාණ මිතුරන් ය.(යහළුවන් නොවේ.)
- විසුද්ධි දේව යනු සියලු කෙළෙසුන් නසා විසුද්ධියට හෝ අරහත් ඵලයට පත් බුදු, පසේ බුදු, මහ රහත් උතුමන් ය. සියලු දෙවියන්ට වඩා උතුම් වූ නිසා සර්වඥයන් වහන්සේලාට දේවාති දේව නමින් වෙයි.
කෙසේ වෙතත් හැම දෙවියෙකුටම තම දිව්‍ය ආයුෂ කෙළවර වීමෙන් නැවත සසර කොතැනක හෝ ඉපිද ත්‍රිලක්ෂණයකට අසු වන්නේමය. එබැවින් කොතෙක් සැප වින්දත් නිවන් සැපය විදින්නට නොහැකි නම් දිව්‍යමය සැපය මොන සැපක්ද?