ඇති වූ මොහොතෙම නැති කළ යුතුමය.
ගෙන ගියහොත් එය පෙරටම, ඇදෙනු නියතමය…
පෙර අකුසල් නිබදවම…!!!
“මම මේක හොදින් හෝ නරකින් හරි කරලා තමයි නවතින්නේ” යමක් කිරීමට උත්සාහ කිරීමේදී එයට යම් බාධා පැමිණෙයි නම්…..ඉන් අධෛර්යයට පත් නොවී දිගින් දිගටම ඒ කාර්යය තුළ නිරත වන බව, එහි අවසානය දක්වාම කරගෙන යාමට හිතට ගන්නා වේගය ඕනෑම අයෙක් ශබ්දාර්ථයක් ලෙසින් මුදාහරින්නේ මෙවැනි වදන් සමූහයක් නොවේද?…
හොද අධිෂ්ඨානයක්, දැඩි බලාපොරොත්තුවක්, නොනවතින උත්සාහයක් අවසාන ඵලය දක්වා නිතැතින්ම එය දැඩි අවශ්‍යතාවයක්. ඒත් ඒ අවශ්‍යතාවය කුමන හේතුවක් උදෙසාද? කුමන පසුබිමක් අරඹයාද? යැයි තීරණය කිරීම ඉතාමත් වැඩදායකය.
ලෞකික ජීවිතය තුළ ඇතිවන්නා දෛනික කටයුතු මුල්කර ගනිමින් සිදුවන්නා වූ බාධක හමුවේ මෙන්ම ආධ්‍යාත්මික ජීවිතය තුළ හැඩගැසෙමින් ඊට අනුවර්තනය වීමේදී ලෞකිකත්වය හරහා ලෝකෝත්තර මගටද හැඩගැසීමේදී විශ්වයෙන් හා ස්වභාව දහමෙන් ඔබට සිදුවන බලපෑම්, බාධාවන් හමුවේද මෙලෙස ඔබ නොසැලී සිටීමට සිතට ගන්නේ නම් කෙතරම් යහපත්ද?
පෘතග්ජනයන්ගෙන් ගහණ වූ මේ සමාජයේ තරගය අනිවාර්ය ලක්ෂණයකි. මෙය හොද හෝ නරක සදහා විය හැක. අධ්‍යාපනයට, ක්‍රීඩාවේදී, දේශපාලනයේදී, සමාජයට යහපතක් කිරීමට ගන්නා උත්සාහයන් තුළ, පොදු සාමූහික ක්රියාදාමයන්හි නොපසුබට ඒ උත්සාහය අතිසාර්ථකය.
නොවෙනස් සිතුවිල්ලක් අතරමග අඩපන නොවන ක්‍රියාවන් සදහා දිගින් දිගටම නොබිදා පවත්වා ගත යුතු සිතිවිල්ල එහි අවසාන ඵලය තෙක් අධිවේගී ජවයක් සදහා උපරිම සහය සපයනු ඇත.
එසේම බිම් අගලකට, කොස් ගෙඩියට, පොල් ගෙඩියට, වැට ඉන්නට මෙන්ම බලයට, කීර්තියටද මිනී මරා ගන්නා සංස්කෘතියක්ද මේ සමාජය තුළ නැතුවා නොවේ. එවන් පසුබිමක් සදහාද ඉහත අධිෂ්ඨානය යහපතක් සලසාවිද?…!
ඒ අධිෂ්ඨානය අවසාන වන්නේ තවත් කීප දෙනෙකු සතර රියනක් මිහිමඩල තුළ සතපවමිනි. පර පීඩනයේ සිට පරපණ නැසීම දක්වා වූ එවන් අධිෂ්ඨානයක් තුළ ක්‍රියාත්මක වන මේ මනුසත්වයා එහි විපාකය ගැන නොසිතන්නේ මන්ද?…!
මෙවන් සිතිවිල්ලක් ඇති වූ මොහොතේම එය වහාම සිත තුළින් ඉවත් කර ගැනීමට ඒ මිනිසා පුරුදු පුහුණු නොවන්නේ බොහෝ විට ඔවුන්ගේ සහජ සසර අනන්‍යතාවයේ ලක්ෂණයන් නිසාම විය හැකිය. එහෙත් ඇති වූ මොහොත තුළම නැති කර දැමිය යුතු අයහපත් අධිෂ්ඨානයක් සහිත සිතිවිල්ලකි ඒ…
යහපත් දෙයක් වෙනුවෙන් වූ අධිෂ්ඨානය, පින හා කුසලය දක්වා අයහපත් දෑ ඔබගේ සිත තුළ ඇති වන සිතිවිල්ල පව හා අකුසලය දක්වාත් මෙහෙය විය හැකි බව ඔබ හට වැටහෙනවා නොවේද?
පින හා කුසලයත්, පව හා අකුසලයත් යන දෙකම ඇති වන්නේ ඔබේ සිත තුළ හා එහි මෙත් සිතේ ප්‍රමාණයටම බව වැටහෙනවා නොවේද?… මේ හරහා අප නොදැනිම ප්‍රයෝගික කරගත් යමක් ඇත. බුදුන් වහන්සේ දේශනා කළ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය අප අවධි කරගන්නේ කුමක් අරඹයා ඇති කරගන්නා අධිෂ්ඨානයන් වෙනුවෙන්ද උපන් හා නූපන් කුසල, අකුසල සදහාම අප දොර හැරගන්නේ එකම යතුරු කටෙන් නොවෙද? එය නිවැරදිව පාවිච්චි කරන්නා සදාකාලික දිනුවා වැනිය.
එහෙත් අප ප්‍රායෝගික කර ගත යුත්තේ අපට වාසි සහගත න්‍යාය නොවේ. මේ විශ්වය තුළ යම් සත්‍යක් සනිටුහන් කරන්නා වූද උතුම් බුදුන් වහන්සේලා විසින් වදාළා වූද විශ්වමය යථාර්තයයි.
දහම ගැන අවබෝධයක් නැතිමුත් සාමාන්‍ය ජීවිතය දෛනික කටයුතු සිදු කරන විටදීත් අප අනුගමනය කළ යුතු යම් සාරධර්මයක් මේ ලොව තුළ ඇතුවා නොවේද? ඒවාට පටහැනි නොවූ කළ අප නොදැනීම අනුගත වී ඇත්තේ අනුගමනය කර ඇත්තේද ඒ උතුම් දහමයි. නොදැනීම වුවත් ප්‍රායෝගික කරගත් ඒ උතුම් සාරධර්ම නිරන්තර සසර පුරා අප තුළ වූ පුරුද්දයි. යහපත් දැඩි අධිෂ්ඨානය හමුවේ ඒවා අවදි කර ගත යුතුයි.
එහෙත් රාගය, ද්වේශය, මෝහ ගින්නේ දැවෙන මිනිසා තමාට ප්‍රායෝගික කරගන්නට උත්සාහ කරන්නේ යහපත් පැතිකඩ නොව අදුරු මාවතමය…
ගෞතම බෝධි සත්වයන් වහන්සේද සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා වැඩුවා වූ දැඩි අධිෂ්ඨානය උතුම් බුදු බව පතාම නොවේද? “බුදු වී මිස මම නොනැගිටිමි’යි” කෙතරම් යහපත් අධිටනක්ද? පාරමිතා මග නොසැලී මුලින් ඇති වූ සිතිවිල්ල දිගින් දිගටම අවසාන ඵලය තෙක් පවත්වා ගත් අයුරු ඒ උත්තමයාගේ තරුණ ජවය හැම විටම තම පාරමිතාව වෙනුවෙනි. එහෙත් අද තරුණ පරපුර සිත ඒකායන කරගන්නේ ඇති වූ මොහොතේම නැති කළ දැමිය යුතු සිතිවිලි තුළය. තම ජීවිතය අදුරු කරගන්නා, අධ්‍යාපනය අවුල් කරගනිමින් දෙමාපියන් නොතකා නොගැළපෙන පෙම් සබදකම් අරඹන්නේ කුමන ජවයකින්ද? එහෙත් එහි අවසානය එතරම් පියකරු නැත. හොදින් බැරිනම් නරකින් හෝ මම ඈ ගෙන යනවා. එහෙත් කෙමෙන් කෙමෙන් ජීවිතය ගෙවෙද්දී එහි තරම විපාකය දැනෙන විට ඔවුන්ට අවබෝධ වන්නේ පමා වී වැඩි බවය.
අඩ දබර, අග හිගකම්, දරුවන් අයාලේ. අවසානයේ දික්කසාදය හා සිය දිවි හානි කර ගැනීමය.
හොදින් බැරිනම් නරකින් කියා දිරිය ජවය ගත්තේ මෙවන් දුක්ඛදායක අවසානයකට බව ඔවුන්ට එදා නොදැනුනේ මන්ද?… හේතුව මෝහයයි.
එසේනම් ඉන් මිදී ගත හැක්කේ කෙසේද? උතුම් බුදු වදනම මිස වෙන අන්කවරක්ද?
යහපත් අධිෂ්ඨානය උතුම් පරමාර්ථයක් වෙනුවෙන් සිදු කිරීම තුළ ලෞකික ජීවිතයේ ඇති කරගන්නා යහපත් අධිෂ්ඨාන ලෝකෝත්තර මගට අඩිතාලමක් බදුය. ගෞතම බෝධි සත්වයන් වහන්සේ හැම මොහොතක්ම සසර පුරා අධිෂ්ඨානය බුදු බවට එසේනම් ඔබටත් යහපත් පරමාර්ථයක් වෙනුවෙන් යහපත් අධිෂ්ඨානයක් හැම විටම සිත තුළ රදවා ගන්න. අවසන් කළ නොහැකි කිසිවක්, අවසානයක් දැකිය නොහැකි යමක් මේ විශ්වය තුළ නැත. අනන්ත වූ සසර පුරා සැරි සරන මේ ජීවිතයට පවා නැවතීමක් ඇත. ඒ උතුම් නිවනයි. ඒ සදහායි අප දිරිගත යුත්තේ. අවසානයක් දැකිය යුත්තේ මේ නිවන හරහායි.
යම් වැඩ කටයුත්තක් ඇරඹීමට පළමුව අප සිතිවිලි පහළ කරයි. යම් ව්‍යාපාරයක්, ඉදිකිරීමක් වැනි දෑ සදහා ඔබ සැලසුම් කරයි. ඒත් ඒ සදහා ඔබට දැඩි අධිෂ්ඨානයක් නැතිනම් ඒ ක්‍රියාවන් සිදු කිරීම යහපත් අභිලාශයක් උදෙසා නොවේනම් අඩපණ වනු ඇත. ඔබ පීඩාවට පත්වනු ඇත. එබැවින් ඔබ ආරම්භ කරන කටයුත්ත ගැන හොදින් වැටහීමක් ඔබට ඇත. එය දූෂිත මගක් හා ක්‍රියාත්මක වන්නක් නම් ඒ සදහා තව තවත් සිතිවිලි ඇති කර ගැනීමෙන් වැලකී ඇති වූ මොහොතේම නැති කර දැමිය යුතුය. එවිට ඔබ පීඩාවෙන් තොරයි.
ඇති වූ මොහොතේම යම් සිතිවිල්ලක් නැති කර දැමීම ඉතාම පහසුය. එවිට ඔබ අකුසලයෙන්ම වහා ඉවත් වී ඇත.
නොඑසේනම් ඔබ මෙය මොහොතක් වින්දා නම්, ඒ සිතිවිල්ල අල්ලාගත්තා නම් පැණි මුට්ටියට වැටුණු ඇඹලයා මෙනි. ඒ සිතිවිල්ලේ මගහැර යාමට ඔබට ඉතා අපහසුය. ඒ තුළ අප පැටලී හමාරය.
අප යම් රසැති අහරක් දුටු විට ඒ කෙරෙහි ආසාවක් ඇති කර නොගත හොත් ඒ පිළිබද මතකය ගිලිහෙණු ඇත. එහෙත් “පොඩ්ඩක් රස බලන්න විතරයි” සිතා රස බැලූ විට ඒ රස නිතරම සිහි වනවා නොවේද? සමහර කෑම ගැන අප කියන්නේ “කාපු කාලයක් මතක නෑ” කියා ඒ පවතින මොහොත තුළ අප යමක් වින්ද නිසා සිතිවිල්ලක් අල්ලා ගත් බැවින් ඒ රස විටින් විට අප මතකයට ගන්නා සේ ඇල්ලූ සිතිවිල්ලද නිරන්තරයෙන් ම අප සිත තුළ ඇති වෙමින් පවතී. එය යහපත් අරමුණක් වෙනුවෙන් නම් නිරන්තරයෙන්ම අවදි වූවාට කම් නැත. නිතර සිහි කළාට, නිතර වින්දනය කළාට එහෙත් අය අයහපත් සිතිවිල්ලක් අරඹයා නම් ඇති වූ මොහොතේම නැති කර නොදැමූ හේතුවෙන් නිරන්තර සිහියට නැගේ. හරියට ඔබ රසවිදි ඔබේ ප්‍රියතම ආහාරයක් සේ නිතර සිහිවේ. එය මුලින් ඔබ සිතා මතා සිහිකළත් ටික දිනකින් තමන්ටත් නොදැනීම එය මතුවෙමින් පවතී. මේ හරහා ඔබ එක් කරගන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හා තණ්හාවයි. මේ තුළ ගොඩනැගෙන්නේ අකුසලයට අවැසි අඩිතාලමයි.
ඇති වූ මොහොතේ නැති නොකළ බැවින් දැන් එය වතුර යට ගිල් වූ රබර් බෝලයක් තෙරපා සිටින්නා සේ දැඩි ආයාසයක් ගෙන පාලනය කිරීමට සිදුවේ. ඒ තුළ මනස පීඩාවට පත්වේ. බොහෝවිට අපටත් නොදැනී අපගේ දුර්වල අවස්ථාවක් බලා සිත මතුපිටට එන්නේ සසරේ කොතරම් අකුසල ප්‍රමාණයක සමගින් දැයි නොදැනේ. එහි විපාකය තමාටය.
එසේ නම් මෙවන් සිතිවිලි කෙසේ හෝ හොදින් බැරි නම් නරකින් දැඩි ආයාසයක් දරා හෝ නැති කළ යුතුමය. ඇති වුණ මොහොතේ නැති කර දැමූ ලෙහෙසිය සේම මොහොතක් වින්දනය කළ සිතිවිල්ල ඉවත් කර ගැනීමට නම් දැඩි අපහසුතාවයක්, දුෂ්කරතාවයක් ඇති වනු ඇත.
එහෙත් මේ මැද මොහොතේ හෝ ඔබ එය ඉවත් කර ගැනීමට අධිටන් කර ගත යුතුමය.
නොඑසේනම් එය තව තවත් දිගින් දිගටම පවත්වා ගතහොත් අවසානයේදීත් ඒ සිතිවිලි නැති වූ තැනදී, ඒ ක්ෂණයේදීත් ඊළග ක්ෂණයේ ආරම්භ වන සිතිවිල්ලත් එයමයි.යහපත් සිතිවිල්ලක් නම් එහි කිසිදු අවැඩක් නැත. එහෙත් අයහපත් සිතිවිල්ලක් නම් එහි විපාකය ගැන නම් කාට පවසමුද?
එසේ නම් මේ සදහා ඔබ කළ යුත්තේ කුමක්දැයි ඔබ දැඩි ලෙස විමසිලිමත් විය යුතුය. ඔබේ සිත හා සිතිවිලි තුළ නිතර දෝලනය වන්නේ කුමන හැගීම්ද? කුමන කම්පනයක්ද? එහි ධාරිතාවය ඔබේ කුසල් සිත සදහාම මිස අන් විපාකයකට නොවිය යුතුමය. එබැවින් හැම විටම පවතින මොහොත තුළම සිහිය පිහිටුවා ගත යුතුය. පවතින මොහොතේ සිහිය පිහිටුවා ගැනීම යනු අතීතයත් වර්තමානයත් අනාගතයත් එකම මොහොතක සිතිවිල්ලක් ලෙසින් පවත්වා ගැනීමය.
එය මේ ලෞකික ලෝකයේ නවීන තාක්ෂණය නිසා වියවුල් වූ දියුණුවෙන් මනස වෙහෙසවා ගැනීම හෝ විකෘති කර ගැනීම නොව. නිරන්තරයෙන්ම සිත තුළ මෙත් සිතක් වැඩීමට අවැසි කරුණාව දයාව මෛත්‍රිය හරහා නිවරණයන්ගෙන් මුදා ගත යුතුමය.
ලෝභය, ද්වේශය, මෝහය ඉවත් කරගනිමින් ශීල, සමාධි, ප්‍රඥා ගොඩනගා ගැනීමට සිත මෙහෙයවීම තුළ විශ්වය දැකිය හැකිය. එයට ඔබ, ඔබ තුළින් ඉවත් කළ යුත්තේ මෝහය හා තෘෂ්ණාවය.
එය ඉවත් කර ගැනීමට නම් ඔබ හොදින් හෝ නරකින් සිතමට්ටු කර ගත යුතුමය. එවිට ඔබ නියතයෙන්ම ආධ්‍යාත්මික මග වෙත අවතීර්ණ වනු ඇත.
ඔබේ ගෙදර දොරේ යතුරු හිලෙන් එළිය බලන්නා සේ විශ්වය දැකිය නොහැකිය. විශ්වය ඇත්තේ සක්වල ගලෙන් එහා යැයි සිතා නවීන තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් සක්වල ගල සිදුරු කර විශ්වය බැලිය නොහැකි බව අවබෝධ කර ගත යුතුමය.
එසේනම් සිදුරු කර යුත්තේ කුමක්ද? ඔබගේ සිත වසාගත් මෝහයේ කඩතුරාවයි. එය නම් හොදින් හෝ නරකින් නම් ඔබ කළ යුතුමය. ඒ තුළ වදි වන්නා වූ ප්‍රඥාවේ ආලෝක දහරාවෙන් මේ විශ්වය දකින්නට ඔබේ සිතට ඉඩ හරින්න. නිවන ඔබ ලගම ඇති බව පෙනේවි.