ඈත අතීතයේ අද මෙන් යාන වාහන නොතිබූ කාලයක සියලු දෙනාම තමන්ට අවශ්‍ය ගමන් බිමන් ගියේ, එක්කෝ ගොන් බැදි කරත්තයකය, නැත්නම් අශ්ව කරත්තයකය, එසේත් නැත්නම් පා ගමනිනි. මේ කාලයේ එක් ගමකින් තව ගමකට ගමන් කරන්නට බොහෝ වෙහෙසක් ගැනීමට සිදු වූ නිසාම උදේ පටන් රෑ වන තුරු ඇවිද ගෙන යා හැකි දුරක් දුරක් පාසා අම්බලම් තනවා තිබුණි. මේ අම්බලම් වල එක දොරක් පමණක් සාදවා තිබුණේ ඇතුළත නවාතැන් ගන්නා අයගේ වැඩි ආරක්ෂාව සදහායි. පැන් කලයක් තබා තිබුණි. කා හට හෝ පැන් පොදකින් සංග්‍රහ කරන්නට කැමති පින්වතුන් දිනපතා එහි ජලය පුරවා තබන්නට අමතක නොකළෝය.
දිනක් මෙවැනි අම්බලමක් ඇති ජනපදයකට (ගමකට) පැමිණි වෙළෙන්දෙක් තමන් ගෙන ආ බඩු භාණ්ඩ විකුණමින් ඒ ගම පුරා ඇවිද ගෙන ගියේය. එදා කල් වේලා ඇතිව සියලු භාණ්ඩ විකුණා ගත් වෙළෙන්දා නැවත නගරයට යන්නට සූදානම් වී ආ මග ආපසු හැරිණි. නමුත් අතරමගදී දන්නා කියන තවත් අය හමු වූ නිසා ඒ අය සමග ආ ගිය තොරතුරු කතා කරන්නට සිදු විය. නොදැනීම රෑ බෝවුණි. එදා මේ වෙළෙන්දාට රාත්‍රිය පහන් කරන්නට සිදු වූයේ ඉහත සදහන් කළ අම්බලමකය. පසෙක තබා තිබූ ජල බදුනෙන් පැන් ටිකක් බිව් වෙළෙන්දා කෝටු කෑලි කිහිපයක් එකතු කර ගිණි දල්වා ගෙන ටික වේලාවක් අදුර නසා ගත්තා. ඒ ක්රියාකාරීත්වයේ තවත් පුංචි කාරණාවන් කිහිපයක් අම්බලමක ලැගුම් ගන්නා අය විසින් බලාපොරොත්තු වෙයි.ගින්නක් ඇවිලෙන නිසා ඈත සිටින කෙනෙකු පවා “අද” අම්බලමේ කවුරුන් හෝ සිටිනවා, යනුවෙන් දනී. සතුන් සර්පයින් අසලට පැමිණීම අඩු වේ. ඒ වෙළෙන්දාද ඒ මග අනුගමනය කර රාත්‍රිය වැඩි වන්නට වැඩි වන්නට, අම්බලම ඇතුළට ගමන් කර එළා ගන්නට ඇති රෙදි කඩක් එළා දොරද වසා නිදන්නට වුණි. නින්දක් අහලකවත් නැත. දහඩිය දමමින් සිටින වෙළෙන්දා නැවත නැගිට බිත්ති අතපත ගාන්නට විය. ඒ ඇර ගන්නට ජනේලයක් සොයන්නටයි. එක මුල්ලක ජනේලයක් හමුවිය. තවත් අතපත ගෑ ඔහුට එය වීදුරු බව දැනුණි. එය විවර කරන්නට උත්සාහ කළත් විවර කරන්නට නොහැකි විය. අවසානයේ ඔහු තීරණයකට ආවේය. තමන් ළග තිබූ පිහියා මිටෙන් වැරෙන් ගසා ජනෙල් වීදුරුව බිදින්න, උත්සාහ කළේය. උත්සාහයද සාර්ථකය. “සලාංංං” වීදුරු ජනේලය බිම පතිත විය. දැන් ඔහු නින්දට ඇලවුණි. හොදට සුළං හමා එයි. සුවපහසුවක් දැනුණි. ටික වේලාවකින් නින්දට වැටුණි. උදෑසන අවදි වූ වෙළෙන්දා ජනේලය ළගට ගියේය. එහෙත් ජනේලය නැත. වීදුරු කටු පෑගුණි. හොදින් බැලූ ඔහුට පෙනුණේ තමන් රාත්‍රී බිද දැමුවේ මුහුණ බලන්නට එල්වා තිබූ විශාල කැඩපතක් බවයි…
කොහොමද සුළං ආවේ… කොහොමද සුව පහසුවට නින්ද ගියේ… සිතන්නට විය…
දුවේ… පුතේ… ඔබත් සිතන්න…
One thought on “ඉටු වූ බලාපොරොත්තුව”
Written well and in a very relatable manner. You are touching more lives than you might be thinking or knowing. Proud of you as always. Nomi Win Ackerley